මෛථුන පාරාජිකාව විනිශ්චය කිරීම පහසු ය. සියුම් ලෙස අදින්නාදාන පාරාජිකාවට හසු වේ. සියුම් ලෙස ම එයට හසු නො වීම ද වේ. එබැවින් අදින්නාදානාපත්තිය පිළිබඳ අධිකරණයක් ඇති වූ කල්හි තීන්දු කිරීමට ඉක්මන් නො වී-
“වත්ථුං කාලඤ්ච දෙසඤ්ච - අග්ඝං පරිභොගපඤ්චමං
තුලයිත්වා පඤ්ච ඨානානි - ධාරෙය්යත්ථං විචක්ඛණො.”[1]
යනුවෙන් දැක්වෙන සොරකම් කළ වස්තුවය, සොරකම් කළ කාලයය, සොරකම් කළ දේශයය, බඩුවේ වටිනාකමය, පරිභෝග කළ නො කළ බවය යන මේ කරුණු පස ගැන මැනවින් බලා විනිශ්චය කළ යුතු ය.
විනිශ්චය කිරීමේදී වෝදිත භික්ෂුව “භාණ්ඩය සොරකම් කෙළෙමි”යි කියා නම් එය සස්වාමික වස්තුවක් ද අස්වාමික වස්තුවක් ද කියා විමසිය යුතුය. සස්වාමික වස්තූන් අතර ද හිමින්ට එපා වී “වෙන එකක් වේවා, වුවමනා කෙනෙක් ගනිත්වා”යි ආලය හැර දැමූ වස්තු ද ඇත්තේය. එබැවින් භාණ්ඩය ගත්තේ හිමියන්ගේ ආලය තුබූ කාලයේ ද හිමියන් ආලය හළ පසු ද යන වග විමසිය යුතුය. ඉදින් ඒ අවහාරය හිමියන්ගේ ආලය තුබූ කාලයේ කරන ලද්දක් නම් භාණ්ඩය වටිනාකම බලා විනිශ්චය කළ යුතුය. අවහාරය කළේ හිමියන් ආලය හැරියාට පසු කාලයේ නම් පාරාජිකාවෙන් විනිශ්චය නො කළ යුතු ය. එහෙත් ඒ භාණ්ඩය හිමියා ඉල්ලනවා නම් දිය යුතුය. මේ මෙහි සම්ප්රදාය ය.
මේ කාරණය දැක්වීම සඳහා සමන්තපාසාදිකාවේ[2] මේ කථාව දක්වා ඇත. භාතිය රාජ කාලයේ දී දකුණු පළාතේ එක් භික්ෂුවක් සත්රියන් පඬුවන් වතක් කරෙහි ලා රුවන්වැලිමහසෑය වඳිනු පිණිස මලුවට පිවිසීය. එකෙණෙහි ම රජ ද චෛත්යවන්දනාවට එහි පැමිණියේ ය. රජුට ඉඩ දීම පිණිස ජනයා තෙරපෙන්නට විය. ඒ අවහිරය නිසා සෑමලුවෙන් පිට වෙද්දී භික්ෂුවගේ කරේ තුබූ ඒ වස්ත්රය සෑමලුවේ වැටිණ. කලබලය නිසා ඒ බව භික්ෂුවට නො දැනිණ. පිට වූ පසු කරෙහි තුබූ වස්ත්රය නැති බව දැන “මෙබඳු තැනක වැටුණු දෙයක් කෙසේ ලැබේදැ”යි සිතා භික්ෂුව එහි ආලය හැර ගියේ ය. පසුව ආ භික්ෂුවක් ඒ වස්ත්රය දැක සොරසිතින් අවුලා ගත්තේ ය. පසු කාලයේ දී ඒ මහණ එයින් තමා අශ්රමණයකු වී යයි සිවුරු හැර යන්නට සිතා නැවත “විනයධරයන්ගෙන් අසා විනිශ්චයක් ලබා ගෙන ම යමි” යි නැවතිණ. එකල මහාවිහාරයෙහි සකලපර්ය්යාප්තිධර චූළසුමන නම් වූ විනයාචාර්ය්යවරයෙක් විසීය. වස්ත්රය ගත් භික්ෂුව උන්වහන්සේ වෙත ගොස් වැඳ අවසර ගෙන තමාගේ කුකුස ගැන විචාළේ ය. මහජනකාය තෙරපෙන තැනදී වස්ත්රය අවුලා ගත් බව ඇසූ තෙරුන් වහන්සේ “මෙහි මඳ අවකාශයක් පෙනේය”යි සිතා, “ඉදින් වස්ත්රයේ අයිතිකාර භික්ෂුව සොයා කැඳවා ගෙන ආව හොත් ඔබට පිහිට විය හැකි වේය”යි වදාළහ. “හිමියනි, ඒ භික්ෂුව කෙසේ සොයන්නෙම්දැයි”යි කීය. “ඒ ඒ තැන ඇවිද සොයව” යි තෙරණුවෝ කීහ. ඔහු අනුරාධපුරයේ මහාවිහාර පසෙහි ම සොයා ඒ භික්ෂුව නො දැක තෙරුන් වහන්සේට ඒ බව කීය. තෙරුන් වහන්සේ චෛත්යවන්දනාවට බොහෝ භික්ෂූන් එන්නේ කවර දිශාවකින් දැයි අසා දකුණුදිගිනැයි කී කල්හි එසේ නම් එහි ගොස් සොයවයි වදාළහ. ඔහු දකුණු පෙදෙසට ගොස් විහාරයෙන් විහාරයට ඇවිදින්නේ ඒ භික්ෂුව හමුවී චූළසුමන තෙරුන් වහන්සේ වෙත කැඳවා ගෙන ගියේ ය. තෙරුන් වහන්සේ “මේ කසාවත ආයුෂමතාගේදැ”යි ඇසූහ. භික්ෂුව ‘එසේය’ කීය. ‘මෙය කොහි වැටුණේදැ’යි ඇසූහ. භික්ෂුව විස්තරය කීය. මේ වස්ත්රය කොතැනකදී හමු වී ගත්තෙහි දැයි වස්ත්රය ගත් භික්ෂුවගෙන් ඇසීය. ඔහු ද සියලු විස්තරය කීය. ඉක්බිති තෙරුන් වහන්සේ කියන්නාහු හිමියා බලාපොරොත්තුව හැරදමා තුබූ මේ වස්ත්රය ඉදින් ශුද්ධ චිත්තයෙන් ගත්තේ නම් ඇවතක් නැත. අශුද්ධ චිත්තයෙන් ගත් නිසා ඔබට දුකුළා ඇවැත් වී ඇත. ඒ ඇවත දෙසා පිරිසිදු වී මේ වස්ත්රය ඔබගේ දෙයක් වශයෙන් මේ භික්ෂුවට දෙවයි කීය. වස්ත්රය ගත් භික්ෂුව අමෘතයෙන් අභිෂේක කරන කලෙක මෙන් අතිශයින් ප්රීතියට පත්විය. අධිකරණයක් ඇති වූ කල්හි මෙසේ අවහරණය කළ වස්ත්රය ගැන විමසා විනිශ්චය කළ යුතු ය.
සොරකම් කළ කාලය ගැන බැලිය යුත්තේ බඩුමිල කලින් කල වෙනස් වන හෙයිනි. බඩු සුලභ කාලවලදී ඒවායේ මිල අඩුය. බඩු හිඟ කාලවලදී මිල වැඩිය. කෙනකු විසින් මිල වැඩි කාලයේ වැඩිමිල ගෙවා ගෙන තුබූ බඩුව කෙනකු විසින් මිල බැස ඇති කාලයේ සොරකම් කරන ලද නම් ඒ කාලයේ පවත්නා මිල අනුව අධිකරණය විනිශ්චය කළ යුතුය. අඩුමිලට ගත් බඩුවක් බඩුමිල නැග ඇති කාලයේ සොරකම් කළ ද එකල පවත්නා මිල අනුව අධිකරණය විනිශ්චය කළයුතුය. දුර්භික්ෂ කාලයේ ආහාර මිල අධිකය. එබැවින් දුර්භික්ෂ කාලයේ සැවැත්නුවර වෙළෙන්දකුගේ සහල් මිටක් සොරකම් කළ භික්ෂුව පාරාජිකා වූයේය යි තථාගතයන් වහන්සේ වදාළ සේක.
දේශය බැලිය යුත්තේ දේශයෙන් දේශයට බඩු මිල වෙනස් බැවිනි. එක් දේශයක රුපියලක් වටිනා භාණ්ඩය තවත් දේශයක රුපියල් පහක් විය හැකිය. කෙනකු එක් දේශයකදී රුපියල් පහකට ගත් බඩුවක් වෙයි. ඒ බඩුව ම රුපියලකට ගත හැකි පෙදෙසකට ගෙන ගිය පසු එහිදී සොරකම් කළේ නම් අධිකරණය විනිශ්චය කළ යුත්තේ සොරකම් කළ දේශයේ මිලය වන රුපියල අනුවය. ඇවැත් වන්නේ මුලින් බඩුව ගත් දේශයේ මිල අනුව නො වේ.
දේශය අනුව විනිශ්චය කිරීම සම්බන්ධයෙන් විනය අටුවාවේ[3] දැක්වෙන කථාවක් මෙසේ ය. එක් භික්ෂුවක් මුහුදින් එතරදී හොඳ හැඩයක් ඇති පොල් ගෙඩියක් ලැබ එය ලියවා ලස්සන පැන් ගන්නා කැටයක් සාදා එය එහි ම තබා චේතියගිරියට ආයේ ය. මුහුදින් එතර ඒ විහාරයට ගිය අන් භික්ෂුවක් ඒ කැටය සොරසිතින් ගෙන චේතියගිරියට ම ආයේ ය. කැටය අයිති භික්ෂුව එය දැක “මෙය ඔබට කොයින් ලැබුණේදැ”යි අසා “මුහුදින් එතරින් ගෙන ආවෙමි”යි කී කල්හි “ඔබ මාගේ කැටය සොරාගෙන අවුත් ඇත” යයි ඒ භික්ෂුව සඟමැදටම කැඳවා ගෙන ගියේ ය. එහිදී විනිශ්චයක් නො ලබා ඔවුහු මහාවිහාරයට ගියහ. එහි ගොස් රැස්වීමට ගසන බෙරය ගස්වා මහසෑය සමීපයට සංඝයා රැස් කරවා විනිශ්චය ආරම්භ කළහ. විනයධර භික්ෂූහු අවහාරය දැක්වූහ. ඒ රැස්වීමෙහි සිටි ආභිධම්මික ගෝදත්ත තෙරුණුවෝ “මොහු මේ කැටය ගෙන ආයේ කොහින්දැ”යි අසා “මුහුදෙන් එතරිනැ”යි කී කල්හි “එහි මේ කැටය කොපමණ අගනේදැ”යි ඇසූ කල “එහි පොල්කැටවල වටිනාකමක් නැත, පලා මද කා කටු ඉවත ලන්නාහ. දරට හෝ ගන්නාහ”යි කීහ. “මේ භික්ෂුවගේ අත්කම කොපමණ අගීදැ”යි ඇසූ කල්හි මස්සක් හෝ එයටත් අඩු මිලක් හෝ වටීය යි කීහ. එකල්හි තෙරුන් වහ්නසේ මස්සකින් හෝ එයට අඩු ගණනකින් හෝ පාරාජිකාවක් පනවා ඇත්තේදැ යි විචාළහ. එසේ කී කල්හි අධිකරණය මැනවින් විනිශ්චය කරන ලද්දේය යි සාධුනාද පැවැත්වූහ. එකල්හි භාතිය රජතුමා චෛත්යවන්දනාවට යන්නේ සාධුනාදය අසා ඒ කිමෙක්දැයි විමසා සියලු පුවත් අසා ගෝදත්ත තෙරුන් වහන්සේගේ විනිශ්චයට පැහැදී “මා ජීවත් වන තාක් භික්ෂූන්ගේ ද භික්ෂුණීන්ගේ ද ගිහියන්ගේ ද අධිකරණයන් ගැන ගෝදත්ත ස්ථවිරයන් වහන්සේගේ විනිශ්චය සැමදෙන ම පිළිගත යුතු ය. උන්වහන්සේගේ විනිශ්චයෙහි නොපිහිටන්නවුන් රාජාඥාවෙන් එහි පිහිටුවමි”යි නගරයේ අණබෙර ලැවීය. ගෝදත්ත තෙරුන් විනිශ්චය කළාක් මෙන් දේශය ද බලා අධිකරණ විනිශ්චය කළ යුතු ය.
ආපත්ති විනිශ්චයේ දී අවස්ථාව අනුව අධිකරණයට ලක් වූ බඩුවේ අගය සොයා විනිශ්චය කළ යුතු ය. බඩුවල වටිනාකම සැමකල්හි සමානත්වයෙන් නො පවතී. අලුත් බඩුවේ වටිනාකම දිරීම, වියළීම, තෙත්වීම, මල බැඳීම, පැහැය වෙනස් වීම, ඉරි වැටීම, පැල්ලම් සෑදීම, සතුන් විසින් කෑම යනාදි කරුණුවලින් පිරිහේ. අලුත්පිට රුපියල් සියයක් වටිනා භාණ්ඩය කල් යාමෙන් රුපියලකුදු නො වටනා තත්ත්වයට පැමිණේ. සතුන්ගේ වනාහි වටිනාකම අඩු වැඩි වීම් දෙක ම ඇත. වැඩෙන සතාගේ වටිනාකම ශරීරය වැඩීම අනුව වැඩේ. ශරීරය පිරිහෙන සතාගේ වටිනාකම පිරිහීම අනුව පිරිහේ. බඩුවල වටිනාකම සෙවීම දුෂ්කර ය. එබැවින් අදින්නාදාන ආපත්ති විනිශ්චය ඉතා පරෙස්සමෙන් කළ යුත්තකි.
පරිභෝගයෙන් ද භාණ්ඩවල අගය පිරිහේ. පාදයකට ගත් වස්ත්රයක් එක වරකුදු පරිභෝග කිරීමට මත්තෙන් අලුත්පිට ම සොරකම් කළහොත් පාරාජිකාපත්තියෙන් විනිශ්චය කළ හැකි ය. එක් වරක් හෝ පරිභෝග කිරීමෙන් වස්ත්රයේ අගය බසින බැවින් පාදයකට ගත් වරක් පරිභෝග කළ වස්ත්රය සොරකම් කිරීමෙන් පරිජි වීය යි නො කිය හැකි ය.
ආපත්ති විනිශ්චය දුෂ්කර කරුණෙකි. ප්රාතිමෝක්ෂය පාඩම් කර ඇති පමණින් හෝ එයට අර්ථ අස්වා ඇති පමණින් හෝ ආපත්ති විනිශ්චයට නො යා යුතු ය. ප්රාතිමෝක්ෂය පවා නො දත් ඇතැම්හු අසවල් දෙය කළොත් මෙනම් ඇවතට පැමිණේ ය කියා අසා ඇති ආරංචි අනුවත් ආපත්ති විනිශ්චයට ඉදිරිපත් වෙති. එය බලවත් වරදෙකි. ආපත්ති විනිශ්චයට බසින්නහු විසින් බැලිය යුතු කරුණු සයක් විනය අටුවාවේ මෙසේ දක්වා ඇත.
“වත්ථුං ඔලොකෙතබ්බං මාතිකා ඔලොකෙතබ්බා, පදභාජනියං ඔලොකෙතබ්බං, තිකපරිච්ඡෙදො ඔලොකෙතබ්බො. අන්තරාපත්ති ඔලොකෙතබ්බා, අනාපත්ති ඔලොකෙතබ්බා.”