“යො පන භික්ඛු ඔතිණ්ණො විපරිණතෙන චිත්තෙන මාතුගාමෙන සද්ධිං කායසංසග්ගං සමාපජ්ජෙය්ය, හත්ථගාහං වා වෙණිගාහං වා අඤ්ඤතරස්ස වා අඤ්ඤතරස්ස වා අංගස්ස පරාමසනං සංඝාදිසෙසො.”[1]
යම් මහණෙක් රාගය විසින් බැස ගත් සිත් ඇත්තේ ඒ නිසා ම නො මනා අතට පෙරළී ගිය සිතින් මාගමක් හා කයින් කය ගැටීමට පැමිණියේ නම් අත ඇල්ලීම හෝ කෙස් කළඹ ඇල්ලීම හෝ අන් ශරීරාවයවයක් ස්පර්ශ කිරීම හෝ කළේ නම් සංඝාදිසේසාපත්ති වේ.
රාගය අනේකප්‍රකාර වේ. මේ සිකපදයෙහි දැක්වෙන රාගය නම් මාගමුන්ගේ සිනිඳු මොළොක් සිරුර ස්පර්ශ කිරීමේ ආශාව හා එයින් වන සුවය විඳීමේ ආශාව ය. එය ඇති වූ කල්හි සිතේ ප්‍රකෘතිය වෙනස් වී එය නො මනා ආකාරයකට හැඩ ගැසේ. එසේ වීමට සිත පෙරළීමය යි කියනු ලැබේ. “ඔතිණ්ණ විපරිණතචිත්ත” යන මේ පද දෙකින් ම කියැවෙන්නේ රාග සහිත සිතයි.
මනුෂ්‍ය ස්ත්‍රියක් වීමය, ස්ත්‍රියක් යන හැඟීමය, කායසංසර්ගරාගයය, ඒ රාගයෙන් උත්සාහ කිරීමය, ස්පර්ශ කිරීමය කියා මේ සිකපදයට අංග පසක් ඇත්තේ ය. ස්ත්‍රියක්ය යන හැඟීම ඇතිව කායසංසර්ගරාගයෙන් එදවස උපන් මිනිස් මාගමකගේ කය වුව ද ඇඟිලි අගින් හෝ ස්පර්ශ කළහොත් සංඝාදිසේසාපත්ති වේ. ස්ත්‍රියක්ය යන හැඟීම ඇතිව කායසංසර්ගරාගයෙන් ස්ත්‍රියගේ සිරුරෙහි මවිල් ගසක් වුවද ස්පර්ශ කළ හොත් මේ ඇවත වේ.
ස්ත්‍රීන් විසින් භික්ෂුවගේ අතට ආහාරපානාදිය පිළිගන්වන කල්හි සමහර විට ඔවුන්ගේ අත් භික්ෂුවගේ අත්හි ගැටේ. එබඳු අවස්ථාවල භික්ෂුවට කායසංසර්ගරාගය නැති බැවින් ද, ස්පර්ශ කිරීමේ ව්‍යායාමයක් භික්ෂුව විසින් නො කරන හෙයින් ද ඇවැත් නැත. කායසංසර්ගරාගයෙන් පිළිගන්වන ස්ත්‍රියගේ අතත් ස්පර්ශ කරමින් දෙන දෙය පිළිගත හොත් සංඝාදිසේසාපත්ති වේ.
අන්ධකාරාදි කරුණක් නිසා ස්ත්‍රියක් ද, පුරුෂයෙක් ද, පණ්ඩකයෙක් ද කියා නිශ්චයක් නැතිව රාගසිතින් ස්ත්‍රී ශරීරයක් ස්පර්ශ කළ හොත් ථුලැසි ඇවැත් වේ. එසේ ස්ත්‍රී ශරීරය හා සම්බන්ධ වී ඇති වස්ත්‍රාදිය ස්පර්ශ කළ ද ථුලැසි ඇවැත් වේ. පුරුෂයෙක පණ්ඩකයෙක තිරිසනෙක යන හැඟීමෙන් ස්ත්‍රී ශරීරය ස්පර්ශ කළ ද ථුලැසි ඇවැත් වේ.
ලස්සන පිරිමි ළමුන්ගේ සිනිඳු මොළොක් සිරුර ස්පර්ශ කිරීමේ ආශාව ද බොහෝ දෙනාට ඇති වේ. එය ද කායසංසර්ගරාගයමය. එයින් ඇතැම්හු ලස්සන පිරිමි ළමුන් දුටු විට ඔවුන්ගේ හිස් අත ගාති. කම්මුල් අත ගාති. අත් අල්ලති. එසේ කිරීමෙන් භික්ෂූන්ට දුකුළා ඇවැත් වේ. ස්ත්‍රී ශරීරයකැයි සිතා පුරුෂයකුගේ ශරීරය ස්පර්ශ කිරීමෙන් ද දුකුළා ඇවැත් වේ. ලස්සන තිරිසන් සතුන් අත ගෑමේ ආශාව ද කායසංසර්ගරාගය ම ය. එයින් තිරිසන් සතුන් අත ගෑමෙන් ද දුකුළා ඇවැත් වේ. ස්ත්‍රී ශරීරය අතින් ම ස්පර්ශ නො කොට යම්කිසි උපකරණයකින් ස්පර්ශ කිරීමෙන් ද ථුලැසි ඇවැත් වේ. යම්කිසි උපකරණයකින් ස්ත්‍රියගේ වස්ත්‍රාදිය ස්පර්ශ කිරීමෙන් දුකුළා ඇවැත් වේ. යම්කිසිවක් ස්ත්‍රී ශරීරයට විසි කිරීමෙන් ද දුකුළා ඇවැත් වේ.
ඇතැම් ස්ත්‍රීහු ද සමහර විට රාගයෙන් මුළා වී භික්ෂූන් වෙත පැමිණෙති. ඒ කරදරය සිදුවන්නේ හුදකලාව වෙසෙන භික්ෂූන්ට ය. භික්ෂුවක් වෙත ස්ත්‍රියක් පැමිණ අඟපසඟ ස්පර්ශ කරන කල්හි භික්ෂුව ද සේවනාභිප්‍රායයෙන් ඇගේ පහස පිළිගැනීමට තමා ගේ කය යොමු කළ හොත් පහස විඳිය හොත් ඒ තෙකරුණෙන් ම භික්ෂුවට සංඝාදිසේසාපත්තිය වේ. සේවනාභිප්‍රායයෙන් කයින් උත්සාහ කළ ද පහස නො දැනුණ හොත් දුකුළා ඇවැත් වේ. සේවනාභිප්‍රායයෙන් කයින් උත්සාහ නො කොට ස්ත්‍රියගේ උත්සාහය නිසා පහස දැනගත ද ඇවැත් නො වේ. ස්ත්‍රියක පැමිණ කය ස්පර්ශ කිරීමේදී සේවනාභිප්රාය ඇත ද කයින් උත්සාහයක් නො කොට පහස දැනගත්තේ ද වින්දේ ද සිතින් පමණක් ඇවතට නොපැමිණෙන බැවින් ඒ භික්ෂුවට ඇවැත් නො වේ.
රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගී භික්ෂූන්ට නොයෙක් විට හෙදියන්ගේ පහස ලබන්නට සිදු වේ. භික්ෂුව පහස ලැබීමේ ආශාවෙන් තමාගේ ශරීරයෙන් උත්සාහයක් නො කොට ඔවුන්ට කරන දෙයක් කිරීමට ඉඩ හැර නිශ්චලව සිටිය හොත් ඇවැත් නො වේ. පහස ලැබීමේ ආශාවෙන් තමාගේ ශරීරය එයට යොමු කළ හොත් ශරීරයෙන් මඳ ව්‍යායාමයක් වුවද කළ හොත් සංඝාදිසේසාපත්තිය වේ. ස්ත්‍රියක් පැමිණ බලහත්කාරයෙන් භික්ෂුවගේ ශරීරය වැලඳ ගත් විට ඇය පලවා හැරීම පිණිස ඇගෙන් මිදෙනු පිණිස තල්ලු කර දමන පහර දෙන ඒ භික්ෂුවට තමාගේ ශරීරයෙන් උපක්‍රම කිරීම හා පහස දැනීම නිසා ද ඇවැත් නො වේ. බලවත් මාගමක් විසින් වැළඳ ගත් දුබල භික්ෂුව තමාගේ නො කැමැත්ත දත් කල්හි ඇය යනු ඇතැයි නිශ්චලව සිටිය ද ඇවැත් නො වේ.
ස්ත්‍රී ශරීරය ස්පර්ශ කිරීමේ අදහස නැතිව පාත්‍ර පිළිගැනීම් ආදියෙහිදී හදිසියෙන් සිදුවන ගැටීම්වලින් ද නො සිහියෙන් අත්පා දිග හැරීම් ආදියෙහිදී සිදුවන ගැටීම්වලින් ද ස්ත්‍රියක් බව නො දැන ස්පර්ශ කිරීමෙන් ද බලෙන් ඇදගෙන යන කලක ඒ ස්පර්ශය නො ඉවසන්නාක් මෙන් ස්ත්‍රී ශරීරයේ නො ඉවසන කල්හි ද ඇවැත් නො වේ.
එසමයෙහි එක්තරා භික්ෂුවක් මාතෘප්‍රේමයෙන් මවගේ ශරීරය අත ගෑවේ ය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි එයින් සංඝාදිසේසාපත්තිය නො වන බවත් දුකුළා ඇවැත් වන බවත් වදාළ සේක. දුහිතෘ ප්‍රේමයෙන් දුවගේ ශරීරය අතගෑ භික්ෂුවකටත්, සහෝදර ප්‍රේමයෙන් සොහොයුරියක අත ගෑ භික්ෂුවකටත් එසේ ම දුකුළා ඇවැත් වන බව වදාළ සේක.
(මේ කථා පාරාජිකා පාළියෙනි.)
කිනම් ස්ත්‍රියකගේ වුව ද ශරීරය බ්‍රහ්මචර්‍ය්‍යාවට අන්තරායකර දෙයකි. එබැවින් විපතකදී වුව ද භික්ෂුවක් විසින් ස්ත්‍රි ශරීරයක් ස්පර්ශ නො කළ යුතුය. මව ගඟකට වැටී සැඩපහරට අසුවී පාවෙනු දුට ද නුවණැති ශික්ෂාකාමී භික්ෂුව විසින් ඇගේ ශරීරය නොඇල්ලිය යුතු ය. ඇය බේරා ගැනීම සඳහා ඔරුවක් හෝ ලී කොටයක් හෝ කෙසෙල් කඳක් හෝ එබඳු අනිකක් හෝ ළං කළ යුතු ය. එබන්දක් නැති කල්හි සිවුරෙන් කොණක් හෝ ළං කළ යුතුය. එය අල්ලන්නයයි නො කිය යුතුය. මව සිවුරේ කොන ගත් කල්හි සිවුරු අදිමිය යන අදහසින් ඇද මව බේරාගත යුතුය. ඉදින් මව බිය වී පුත්‍ර භික්ෂුවගේ කරේ හෝ අතෙහි හෝ එල්ලුණේ නම් ඇය ඉවත් නො කොට ගොඩට ගත යුතු ය. වළක හෝ මඩක මව වැටී සිටින අවස්ථාවක් පැමිණිය ද එසේ පිළිපැදිය යුතුය. විපතෙහිදී කිනම් ස්ත්‍රියක් වුව ද හැර දැමීම නුසුදුසු ය. එහෙත් විපතේදී අන්‍ය ස්ත්‍රීන් ගැන පිළිපැදිය යුතු ආකාරයක් දක්වා නැත. මේවා ගැන කල්පනා කළ යුතුය. ස්ත්‍රී ශරීරය පමණක් නොව ස්ත්රීන්ගේ වස්ත්රාභරණ ද නො ඇල්ලිය යුතු ය. ඒවා ගැන විස්තරයක් මතු අන් තැනක දක්වනු ලැබේ.
යකින්නෝය, පණ්ඩකයෝය, මළ ස්ත්‍රීහුය යන මොවුන් හා කායසංස්ර්ගයට පැමිණීමෙන් ථුලැසි ඇවැත් වන බව වදාරා ඇත්තේය. ස්ත්‍රීන් අත ඇති දඬු ඇදීමෙන් හා වැල් ඇදීමෙන් ද පාත්‍රයෙන් ස්ත්‍රිය තල්ලු කිරීමෙන් ද ථුලැසි ඇවැත් වන බව වදාරා ඇත්තේ ය. තිරිසන් ස්ත්‍රීන් සමග කාය සංසර්ගයට පැමිණීමෙන් දුකුළා ඇවැත් වන බව වදාරා ඇත්තේ ය. ලස්සන තිරශ්චීන ස්ත්‍රී සත්ත්වයන් ඇතැම් භික්ෂූහු අත ගාති. වැලඳ ගනිති. එය නොමැනවි. එයින් දුකුළා ඇවැත් වේ.
ස්ත්‍රී රූප ස්පර්ශ කිරීමෙන් ද, ස්ත්‍රිය නැඟ සිටි ඔරුව රාගසිතින් සෙලවීමෙන් ද ස්ත්‍රිය නැඟ සිටි ගස සෙලවීමෙන් ද දුකුළා ඇවැත් වන බව වදාරා ඇත්තේය.
එක්තරා භික්ෂුවක් රාග සිතින් පෙරමග එන ස්ත්‍රියකට තමාගේ උරහිසින් ගැසීය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි ඒ භික්ෂුවට සංඝාදිසේසාපත්තිය වූ බව වදාළහ.
එක්තරා භික්ෂුවක් ස්ත්‍රියක් වඳිනා කල්හි ඇයට ස්පර්ශ කිරීම සඳහා රාගයෙන් තමාගේ පය එසවීය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි එයින් සංඝාදිසේසාපත්තිය වූ බව වදාළ සේක.
(මේ කථා පාරාජිකාපාළියෙනි.)
ස්ත්‍රියක් පා අතගා වඳින්නට තැත් කරනවා නම් වැළැක්විය යුතු ය. පය හෝ වසාගත යුතු ය. පය නිශ්චලව හෝ තබා ගත යුතුය. පය නිශ්චල කොට තබා ගන්නා භික්ෂුවට සිතින් ස්පර්ශය ඉවසීම පමණින් ඇවැත් නො වේ.
-
පාරා - 139 පි. ↑