“යො පන භික්ඛු ඔතිණ්ණො විපරිණතෙන චිත්තෙන මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසෙය්ය යථා තං යුවා යුවතිං මෙථුනූපසංහිතාහි සංඝාදිසෙසො.”[1]
යම් මහණෙක් දුට්ඨුල්ලාරෝචනරාගය විසින් බැස ගත් සිත් ඇත්තේ ඒ නිසා ම පෙරළී ගිය සිතින් තරුණයකු තරුණියකට කියන්නාක් මෙන් වර්චස් මාර්ග මුත්රාමාර්ග හා මෛථුනය පිළිබඳ වූ අසභ්‍ය වචන මාගමකට කියා නම් ඒ මහණහට සංඝාදිසේසාපත්තිය වේ.
වර්චස් මාර්ග මුත්‍ර මාර්ග හා මෛථුනය පිළිබඳව කරන අසභ්‍ය කථා සංවරයක් ඇති ගිහි පැවිදි අයට අමිහිරි වුව ද ඇතැමුන්ට ඉතා මිහිරිය. ඒ රසය විඳිනු කැමැත්තෙන් ඇතැම්හු ඉමහත් සතුටින් හඬ නඟා සිනාසෙමින් ඒ අසභ්‍ය කථා කියති. ඒවා ඇසීමට ද ඇතැම්හු ඉතා කැමැත්තෝ ය. ඔවුහු ඉමහත් සතුටකින් මහහඬින් සිනාසෙමින් ඒවා අසති. අසභ්‍ය කථා කරන කෙනකු ඇති කල්හි ඒවා කියවීමට ද උත්සාහ කරති. ඔවුනට ඒ කථාවල යම්කිසි රසයක් මිහිරක් ඇත. ඒ රසය විඳීමේ ආශාව දුට්ඨුල්ලවාචාරාග නමි.
වර්චස්මාර්ග මුත්රමාර්ග මෛථුන යන මේවායේ ගුණ වර්ණනා කිරීම, අගුණ කියා ඒවාට ගැරහීම, ඒවා ඉල්ලීම, ඒවා ගැන ප්‍රශ්න කිරීම, ඒවා ගෙන ආක්‍රෝශ කිරීම මේ සිකපදයට අයත් අසභ්‍ය වචන කීමය.
යම් භික්ෂුවක් අසභ්‍ය කථා කිරීමේ මිහිර විඳීමේ ආශාවෙන් මනුෂ්‍ය ස්ත්‍රියකට ඇයට තේරෙන බසකින් හෝ හස්තවිකාරාදියෙන් හෝ අසභ්‍ය කථාව කෙළේ නම් සංඝාදිසේසාපත්ති වේ.
මනුෂ්‍යජාතික ස්ත්‍රියක වීමය, ස්ත්‍රියක් යන හැඟීමය, අසභ්‍ය කථා කිරීමේ ආශාවය, ඒ ආශාවෙන් කීමය, ස්ත්‍රිය විසින් එකෙණෙහි ම තේරුම් ගැනීමය කියා මේ සිකපදයට අංග පසක් ඇත්තේ ය.
ස්ත්‍රියකට අසභ්‍ය කථා කී කල්හි ඇයට නො තේරුණේ නම් ථුලැසි ඇවැත් වේ. පණ්ඩකයකුට කීව ද ථුලැසි ඇවැත් වේ. මලමුත්රාමාර්ග හැර අකුඇටයෙන් යට දණින් උඩ ස්ත්‍රී ශරීරයේ ඒ ඒ කොටස්වල ගුණාගුණ කීමෙන් ද ථුලැසි ඇවැත් වේ. පණ්ඩකයකුට කීමෙන් දුකුළා ඇවැත් වේ. අකුඇටයෙන් උඩත් දණින් පහළත් කොටස්වල ගුණාගුණ කීමෙන් හා ස්ත්‍රී වස්ත්‍රාභරණවල ගුණාගුණ කීමෙන් ද දුකුළා ඇවැත් වේ. අසභ්‍ය වචන එක් ස්ත්‍රියකට කියන කල්හි වචන ගණනින් ඇවැත් වේ. බොහෝ ස්ත්රීන්ට කියන කල්හි ස්ත්‍රී ගණනින් හා වචන ගණනින් ඇවැත් වේ.
-
පාරා - 150 පි. ↑