“යො පන භික්ඛු ඔතිණ්ණො විපරිණතෙන විත්තෙන මාතුගාමස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසෙය්‍ය එතදග්ගං භගිනිපාරිචරියානං යා මාදිසං සීලවන්තං කල්‍යාණධම්මං බ්‍රහ්මචාරිං එතෙන ධම්මෙන පරිචරෙය්‍යා ති මෙථුනූපසංහිතෙන සංඝාදිසෙසො.”
යම් මහණෙක් රාගය බැසගත් සිත් ඇත්තේ පෙරළී ගිය සිතින් මාගමක් සමීපයෙහි “නැගණියෙනි, යම් කතක් මා වැනි සිල් ඇතියකුට යහපත් පැවතුම් ඇතියකුට උසස් පැවතුම් ඇතියකුට ඒ මෛථුන ධර්මයෙන් උපස්ථාන කෙරේ නම් එය උපස්ථානයන් අතුරෙන් අග්‍ර උපස්ථානය වන්නේය” යි තමාට කාමයේන උපස්ථාන කිරීමේ ගුණ මෛථුනය පිළිබඳ වචන වලින් පවසා නම් ඒ මහණහට සංඝාදිසේසාපත්ති වේ.
මනුෂ්‍යස්ත්‍රියක්ය යන දැනුම ඇතිව කාමයෙන් උපස්ථාන කරවා ගැනීමේ ආශාව ඇතිව මනුෂ්‍යස්ත්‍රියක සමීපයේ එහි ගුණ කීයේ නම් ස්ත්‍රිය ද කී දේ එකෙණෙහි තේරුම් ගත්තී නම් සංඝාදිසේසාපත්ති වේ. කී දෙය ස්ත්‍රියට නො තේරුණි නම් ථුලැසි ඇවැත් වේ. පණ්ඩකයකුට කිව ද ථුලැසි ඇවැත් වේ.
මනුෂ්‍යස්ත්‍රියක වීමය, ස්ත්‍රියක බව දැනීමය, කාමයෙන් උපස්ථාන කරවා ගැනීමේ ආශාවය, ඒ රාගයෙන් එහි ගුණ කීමය, එකෙණෙහි ම කී දෙය ස්ත්‍රියට වැටහීමය කියා මේ සිකපදයේ අංග පසෙකි.
විනීත වස්තු:
එසමයෙහි එක්තරා වඳ මාගමක් “ස්වාමීනි, දරුවන් ලබන්නට කුමක් කළ යුතු දැ”යි ඇසුරු කරන භික්ෂුවකගෙන් ඇසීය. එසේ නම් අග්‍රදානය දෙව”යි භික්ෂුව කීය. “ස්වාමීනි, අග්‍රදානය කුමක්දැයි” මාගම ඇසීය. “මෛථුනය” යි භික්ෂුව කීය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි එයින් භික්ෂුව සංඝාදිසේසාපත්තියට පැමිණියේ ය යි වදාළහ.
(පාරාජිකා පාළි)
එක්තරා භික්ෂුවක් පිරිමි දරුවන් ලැබීමට ක්‍රමයක් විචාළ මාගමකට ද, එක්තරා භික්ෂුවක් සැමියාට ප්‍රියවීමේ උපායයක් විචාළ ස්ත්‍රියකට ද, එක්තරා භික්ෂුවක් සම්පත් ලැබීමට ක්‍රමයක් විචාළ කතකකට ද, එක්තරා භික්ෂුවක් දෙන්නට දෙයක් විචාළ කතකට ද, එක්තරා භික්ෂුවක් සුගතියට යාමේ උපාය විචාළ කතකට ද මේ අග්‍රදාන කථාව කීය. ඒ සැමදෙන ම සංඝාදිසේසාපත්තියට පැමිණි බව භාග්‍යවතුන් වහන්සේ වදාළහ.