ආපත්‍යාරෝචන විධියක් විනයෙහි පැහැදිලි ලෙස දක්වා නැත. ඇවැත් දෙසීමේ ආකාරය වදාරා ඇත්තේ භික්ෂුවක් කරා එළඹ සිවුර ඒකාංස කොට පෙරවා උක්කුටිකව හිඳ ඇඳිලි බැඳ කළ යුතුය කියාය. ආපත්‍යාරෝචන විධිය ද ඒ අනුව සැලකිය යුතුය. ගරුකාපත්තියට පැමිණි භික්ෂුව සභාග භික්ෂුවක් වෙත ගොස් සිවුර ඒකාංස කොට පොරවා උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ආරෝචනය කළ යුතුය. එසේ හිඳ ඇඳිලි බැඳ සිදු වී ඇත්තේ එක් ඇවතක් නම් ආරෝචනය කරනු ලබන භික්ෂුව වැඩිමහල්ලෙක් නම් “අහං භන්තේ එකං සංඝාදිසෙසාපත්තිං තුය්හං සන්තිකෙ ආවිකරොමි” කියා හෝ “ආචික්ඛාමි” කියා හෝ ‘ආරොචෙමි’ කියා හෝ ආරෝචනය කළ යුතුය. ඇවැත් බොහෝ නම් ‘සම්බහුලා ආපත්තියො’ කියා ආරෝචනය කළ යුතුය. ‘සබ්බාපත්තියො ආවිකරොමි’ කියා හෝ ආරෝචනය කළ යුතුය. ගරුකාපත්ති නොයෙක් විට සිදුවිය හැකි බැවින් වර්තමාන භික්ෂූහු ඇවැත් දෙසන සැම වාරයකදී ම “අහං භන්තෙ සබ්බාපත්තියො ආවිකරොමි” යි සියලු ඇවැත් ආරෝචනය කෙරෙති. එසේ කළ ද ගරුකාපත්ති සිදුවී ඇති නම් ඒවා පටිච්ඡන්න නො වේ. ඇවැත් දෙසීමේ විධිය විනය කර්මපොතින්[1] දත හැකි බැවින් මෙහි නො දක්වමු.
-
විනය - 82 පි. (පස්වන මුද්‍රණය - 65 පි.) ↑