“පිණ්ඩියාලොපභොජනං නිස්සාය පබ්බජ්ජා”[1] යි වදාරා ඇති පරිදි පැවිද්ද ගෙදොරක් පාසා සිඟා ගොස් ලබන පිණ්ඩපාතභෝජනය නිසා එය ප්‍රධාන කොට පවත්නා දෙයකි. එබැවින්, ලොවුතුරා බුදුවරු ද ගෙදොරක් පාසා වැඩම කොට පිඬු සිඟා වැළඳූහ. පසේබුදුවරු ද, රහත්හු ද එසේ ම කළහ. බොහෝ භික්ෂූහු අද දක්වා ද එසේ කරති. අනාගතයෙහි එසේ කරන්නාහ. ඒ පිණ්ඩපාත භෝජනයට ඉතා ම සුදුසු භාජනය පාත්‍රය ය. එබැවින් සෑම භික්ෂුවකට ම පාත්‍රයක් තිබිය යුතුය. එබැවින් “න භික්ඛවෙ අපත්තකො උපසම්පාදෙතබ්බො, යො උපසම්පාදෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[2] යි පාත්‍රයක් නැතියකු උපසම්පදා නො කරන ලෙස සිකපදයක් ද පනවා ඇත්තේය. භික්ෂුවකට පාත්‍රයක් තිබිය යුතුය යි කී පමණින් “භික්ෂුව පිණ්ඩපාත භෝජනය ම වැළඳිය යුතුය, පාත්‍රයේ ම වැළඳිය යුතුය” යි වරදවා තේරුම් නො ගත යුතුය. අන් ක්‍රමවලින් ලැබෙන භෝජනයත් පාත්‍රය හැර අන් භාජනත් භික්ෂුවට කැප බව දත යුතුය. යම් භික්ෂුවක් ලෝකය රැවටීමේ අදහසින් තොරව අල්පේච්ඡතා ගුණයෙහි පිහිටා අන් බොජුනක් නො පිළිගනිමින් පිඬු සිඟා ගෙන ම වළඳනවා නම්, අන් බඳුනක් නො පිළිගෙන පාත්‍රයේ ම වළඳනවා නම් එය උසස් ප්‍රතිපදාවකැයි කිය යුතුය. පාත්‍රය පිළිබඳ සිකපද බොහෝ ගණනක් ඇත්තේ ය. ඒවා නො දැන සිටින භික්ෂුවකට පාත්‍රය නිසා ම දිනපතා බොහෝ ඇවැත් සිදු විය හැකිය. එබැවින් පාත්‍රය පිළිබඳ විනය එය පරිහරණය කරන භික්ෂුව විසින් මැනවින් දැන සිටිය යුතුය.
දැනට පාත්‍ර යන නාමයෙන් වෙළඳ සැල්වල තිබෙන සෑම භාජනය ම භික්ෂූන්ගේ පරිභෝගයට සුදුසු විනයානුකූල පාත්‍ර නො වේ. සිකපද ඇත්තේ ද ඒවාට නොවේ. ඒවා ලද හොත් පාත්‍ර වශයෙන් නොව වතුර ගැනීම් ආදිය සඳහා භාජන වශයෙන් පරිභෝග කිරීම වරද නැත. භික්ෂුවක් විසින් පාත්‍රයක් වශයෙන් අධිෂ්ඨාන කොට පරිභෝග කළ යුත්තේ ඉතා කුඩා ද නො වූ පමණට වඩා මහත් ද නො වූ නියමිත ජාතියෙන් තනන ලද සෝදා පිරිසිදු කළ හැකි පරිදි මට්ටම ඇති ශ්‍රමණසාරුප්‍ය වන පරිදි කළුපැහැය ගන්වන ලද පාත්‍රය ය. ඇතුළත මට්ටම නැති බැවින් සේදුව ද තෙල් ආදිය ඉතිරි වන පාත්‍රය පරිභෝග කරන්නහුට සන්නිධිකාරක සිකපදයෙන් ඇවැත් වන බැවින් භික්ෂූන්ට අයෝග්‍ය ය.
“න භික්ඛවෙ සොවණ්ණමයො පත්තො ධාරෙතබ්බො, න රූපියමයො පත්තො ධාරෙතබ්බො. න මණිමයො පත්තො ධාරෙතබ්බො. න වෙළුරියමයො පත්තො ධාරෙතබ්බො. න එලිකමයො පත්තො ධාරෙතබ්බො. න කංසමයො පත්තො ධාරෙතබ්බො, න කාවමයො පත්තො ධාරෙතබ්බො, න තිපුමයො පත්තො ධාරෙතබ්බො. න සීසමයො පත්තො ධාරෙතබ්බො, න තම්බලොහමයො පත්තො ධාරෙතබ්බො. යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ ද්වෙ පත්තෙ අයොපත්තං මත්තිකාපත්තන්ති.”[3]
තේරුම:
මහණෙනි, රන් පාත්‍රය නො දැරිය යුතුය. රිදී පාත්‍රය නො දැරිය යුතුය. මැණික් පාත්‍රය නො දැරිය යුතුය. පළිඟු පාත්‍රය නො දැරිය යුතුය. ලෝකඩ පාත්‍රය නො දැරිය යුතුය. වීදුරු පාත්‍රය නො දැරිය යුතුය. සුදු ඊයම් පාත්‍රය නො දැරිය යුතුය. කළු ඊයම් පාත්‍රය නො දැරිය යුතුය. තඹ පාත්‍රය නො දැරිය යුතුය. යමෙක් දරා නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, යකඩ පාත්‍රය මැටි පාත්‍රය යි පාත්‍ර දෙකක් අනුදනිමි.
“න ච භික්ඛවෙ දාරුපත්තො ධාරෙතබ්බො. යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස. න භික්ඛවෙ ඡවසීසස්ස පත්තො ධාරෙතබ්බො. යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස. න භික්ඛවෙ තුම්බකටාහෙ පිණ්ඩාය චරිතබ්බං. යො චරෙය්‍ය ආපත්ති දුක්කටස්ස. න භික්ඛවෙ ඝටිකටාහෙ පිණ්ඩාය චරිතබ්බං. යො චරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[4]
තේරුම:
මහණෙනි, දැවයෙන් කළ පාත්‍රය නො දැරිය යුතුය. යමෙක් දරා නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, මිනී හිස් කබල පාත්‍රය වශයෙන් නො දැරිය යුතුය. යමෙක් දරා නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, ලබුකබලෙහි පිඬු පිණිස නො හැසිරිය යුතුය. යමෙක් හැසිරේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, වළංකබලෙහි පිඬු පිණිස නො හැසිරිය යුතුය. යමෙක් හැසිරේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.
‘ලබුකබල හා වළංකබල තාවකාලික වශයෙන් හදිසි අවස්ථාවක දී පරිභෝග කිරීම වරද නැතය’ යි අටුවාවෙහි දක්වා ඇත්තේය. යකඩපාත්‍රය මැටිපාත්‍රය යන මේ දෙකින් මැටිපාත්‍රය වඩාත් පරිභෝගයට යහපත්ය. එහෙත් මේ රටේ පරිභෝගයට සුදුසු මැටිපාත්‍ර නැත. තෙල් උරා නො ගන්නා වූ වතුරා උරා නො ගන්නා වූ පහසුවෙන් පිරිසිදු කළ හැකි වූ කළු පැහැය ගන්වන ලද්දා වූ මැටිපාත්‍ර බුරුමයේ තනනු ලැබේ. එහි බොහෝ භික්ෂූහු මැටිපාත්‍ර පරිභෝග කරති. විනය පොත්වල සඳහන් කරුණුවලින් පෙනෙන්නේ බුද්ධකාලයේ විසූ බොහෝ භික්ෂූන් ද මැටිපාත්‍ර පරිභෝග කළ බවය.