අලුත් පාතයයක් අධිෂ්ඨානය කිරීමේදී අධිෂ්ඨාන කළ පරණ පාත්‍රයක් ඇති නම් එය පච්චුද්ධරණය කළ යුතුය. පාත්‍රය අත්පසෙහි ඇති නම් “ඉමං පත්තං පච්චුද්ධරාමි” යි තෙවරක් කියා පච්චුද්ධාරය කළ යුතුය. පාත්‍රය ඇත්තේ අන් තැනක නම් ඇති තැන සිහිකොට “එතං පත්තං පච්චුද්ධරාමි” යි කියා පච්චුද්ධාරය කළ යුතුය. ඉක්බිති අලුත් පාත්‍රය අධිෂ්ඨාන කළ යුතුය. පුරාණ පාත්‍රය අනිකකුට දී ද නවපාත්‍රය අධිෂ්ඨාන කළ යුතුය. අධිෂ්ඨානය කය වචන දෙකින් ම කළ හැකිය. පාත්‍රය අතින් පිරිමදිමින් “ඉමං පත්තං අධිට්ඨාමි” යි කියා අධිෂ්ඨාන කළ යුතුය. ඇත්තේ අන් තැනක නම් ඇති තැන සිතා “එතං පත්තං අධිට්ඨාමි” යි කියා අධිෂ්ඨාන කළ යුතුය. මාරුවෙන් මාරුව එකින් එක පච්චුද්ධරණය හා අධිෂ්ඨාන කිරීමෙන් වැඩි ගණනක් පාත්‍ර ද පරිභෝග කළ හැකිය. පාත්‍ර දෙකක් ඇති කල්හි එක් පාත්‍රයක් ඉටා දින නවයක් පරිභෝග කොට එය පච්චුද්ධරණය කොට දෙවන පාත්‍රය අධිෂ්ඨාන කර නැවත නවවන දිනයේ එය පච්චුද්ධරණය කොට කලින් පච්චුද්ධරණය කළ පාත්‍රය ඉටා ගත යුතුය. මෙසේ ජීවිතාන්තය දක්වා ම පාත්‍ර දෙක පරිභෝග කළ හැකිය. දිනපතා එකින් එක පච්චුද්ධරණය හා අධිෂ්ඨානයත් කිරීමෙන් පාත්‍ර දසයක් වුව ද පරිභෝග කළ හැකි බව සමන්තපාසාදිකාවේ දක්වා ඇත්තේය.
“අච්ඡෙදදානගාහෙහි - විබ්භමා මරණුද්ධටා,
ලිංග සික්ඛාහි ඡිද්දෙන - පත්තොධිට්ඨාන මුජ්ඣති.”[1]
අනුන් විසින් පැහැර ගැනීමය, අන්හට දීමය, විශ්වාසයෙන් ගැනීමය, ගිහිවීමය, මරණයය, පච්චුද්ධාරයය, ලිංග පරිවර්තනයය, ශික්ෂාප්‍රත්‍යඛ්‍යානයය, සිදුරුවීමය යන මේ කරුණු අටින් පාත්‍රයේ අධිෂ්ඨානය කෙළවර වේ. පාත්‍රයේ ගැටියෙන් දෑඟුලකට යටින් යටත් පිරිසෙයින් තණ සහලින් පිසූ බත්හුලක් නික්මෙන තරමේ සිදුරක් වුව ද අධිෂ්ඨානය බිඳේ. එය පිළියම් කොට නැවත අධිෂ්ඨාන කළ යුතුය. පිළියම් කිරීමෙන් පසු දස දිනකින් මොබ අධිෂ්ඨාන නො කළ හොත් පාත්‍රය නිසගි වේ.
-
ඛුද්ද - 72 ගාථාව. ↑