විකප්පනය යනු අතිරේක පාත්රචීවරයන් නිසගි නො වන පරිදි තබා ගැනීමට ඇති විනයකර්මයකි. අතිරේක පාත්රයක් ලද කල්හි එය තබාගනු කැමති නම් විකප්පනය කොට තබා ගත හැකිය. ඒ ක්රමයෙන් සියගණනක් පාත්ර වුව ද නිසගි නො වන ලෙස තබා ගත හැකිය. සම්මුඛාවිකප්පනය පරම්මුඛාවිකප්පනය යි විකප්පනා ක්රම දෙකකි. සම්මුඛාවිකප්පනය පහසුය. එය කරන්නේ මෙසේය:- අතිරේක පාත්රය භික්ෂුවක් වෙත ගෙන ගොස් සිවුර ඒකාංස කොට පෙරවා උක්කුටිකයෙන් හිඳ පාත්රය අතින් ගෙන “ඉමං පත්තං තුය්හං විකප්පෙමි” යි කිය යුතුය. එසේ කළ පසු ඒ පාත්රය කොතෙක් කල් වුව ද තබා ගත හැකිය. එහෙත් එය පරිභෝග නො කළ යුතුය. පාත්රය පිළිගත් භික්ෂුව විසින් “මය්හං සන්තකං පරිභුඤ්ජ වා විස්සජ්ජෙහි වා යථාපච්චයං කරොහි” යි කියා ආපසු දිය යුතුය. එසේ දීම “පච්චුද්ධාර” නම් වේ. ඉන් පසු ඒ පාත්රය අධිෂ්ඨාන කරනු කැමති නම් අධිෂ්ඨාන කළ හැකිය. අධිෂ්ඨාන කළ පාත්රය තිබියදී අතිරේක පාත්රයක් වශයෙන් පරිභෝග කරනු කැමති නම් පරිභෝග කළ හැකිය. අනිකකුට දෙනු කැමති නම් දිය හැකිය. වැඩි ගණනක් පාත්ර එකවර විකප්පනය කරනවා නම් “ඉමෙ පත්තෙ තුය්හං විකප්පෙමි” යි බහුවචනයෙන් කිය යුතුය. පච්චුද්ධාරයේදී ද “මය්හං සන්තකෙ” යි බහුවචනයෙන් කිය යුතුය. අසම්මුඛයෙහි අත්පසින් පිටත ඇති පාත්රයක් විකප්පනය කිරීමේදී ඇති තැන විකප්පනය කරනු ලබන භික්ෂුවට දන්වා “එතං පත්තං තුය්හං විකප්පෙමි” යි කිය යුතුය. බොහෝ ගණනක් නම් බහුවචනයෙන් කිය යුතුය.
අධිෂ්ඨානය හෝ විකප්පනය නො කිරීමෙන් නිසගි වූ පාත්රය නිස්සජ්ජනය නො කොට පරිභෝග කරන්නහුට පරිභෝග කරන වාරයක් පාසා දුකුළා ඇවැත් වේ.
පාත්රය තමා සතුවීමය, නියම ජාතියෙන් කළ නියම ප්රමාණය ඇති පාත්රයක් වීමය, අතිරේක පාත්රයක් වීමය, ලැබී දස දිනක් ඉක්මීමය යන චතුරංගයෙන් පාත්රය නිසගි වේ.