“දසාහපරමං අතිරෙකපත්තො ධාරෙතබ්බො. තං අතික්කාමයතො නිස්සග්ගියං පාචිත්තියං.”[1]
අතිරේක පාත්‍රය දසදිනක් පමණක් දැරිය යුතුය. එය ඉක්මවන්නාහට පාත්‍රය නිසගි වේ. පචිති ඇවැත් ද වේ.
අතිරේකපාත්‍රය යනු අධිෂ්ඨාන හෝ විකප්පනය හෝ නො කළ පාත්‍රය ය. භික්ෂුවක් පාත්‍රයක් ලද හොත් එය දසදිනක් ඇතුළතදී අධිෂ්ඨාන හෝ කර ගත යුතුය. විකප්පය හෝ කළ යුතුය. ඒ දෙකින් එකකුදු නො කොට තබා ගත හොත් එකොළොස්වන දිනයේ අරුණ නැඟුණ කල්හි ඒ පාත්‍රය නිසගි වේ. පචිති ඇවැතක් ද වේ. ලැබෙන සැම පාත්‍රයකින් ම මේ ඇත නො වේ. ඇවැත වන්නේ නියමිත ජාතියෙන් නියමිත ප්‍රමාණයට කළ අධිෂ්ඨානයට යෝග්‍ය පාත්‍රයෙන් පමණෙකි. පාත්‍ර කීපයක් අධිෂ්ඨාන නො කළ හැකිය. එක් පාත්‍රයක් අධිෂ්ඨාන කරගෙන ඇති කල්හි තවත් පාත්‍රයක් අධිෂ්ඨාන කළ ද ඒ අධිෂ්ඨානය සිද්ධියට නො පැමිණේ. පසුව අධිෂ්ඨාන කළ පාත්‍රය අතිරේක පාත්‍රස්ථානයෙහි ම සිටී. නිසගි වීමය යනු සංඝයාට හෝ ගණයාට හෝ එක් භික්ෂුවකට හෝ ඒ පාත්‍රය පවරා දිය යුතු වීමය. එසේ නො කොට ඒ පාත්‍රය තමාගේ දෙයක් හැටියට තබා ගෙන ඇවැත් දෙසුව ද ඇවතකින් පිරිසිදු නො වේ. නිසගි පාත්‍රය පුද්ගලයකුට නිස්සජ්ජනය කිරීම පහසු ය. එය කරන්නේ මෙසේය.
නිසගි වූ පාත්‍රය ගෙන එක් භික්ෂුවක් වෙත ගොස් සිවුර ඒකාංස කොට පොරවා උක්කුටිකව හිඳ ඒ භික්ෂුව වැඩිමහලු කෙනෙක් නම් පා වැඳ පාත්‍රය අතට ගෙන:
“අයං මෙ භන්තෙ පත්තො දසහාතික්කන්තො නිස්සග්ගියො. ඉමාහං ආයස්මතො නිස්සජ්ජාමි”[2] යි කියා පාත්‍රය ඒ භික්ෂුව අතට දිය යුතුය. ඉක්බිති ඇවත දෙසිය යුතුය. ඉක්බිති පාත්‍රය පිළිගත් භික්ෂුව විසින් “ඉමං පත්තං ආයස්මතො දම්මි” යි කියා පාත්‍රය පෙරළා දිය යුතුය. බාල භික්ෂුවකට නිස්සජ්ජනය කරන කල්හි “අයං මෙ ආවුසො පත්තො දහාහාතික්කන්තො නිස්සග්ගියො. ඉමාහං ආයස්මතො නිස්සජ්ජාමි” යි කිය යුතුය. නිස්සජ්ජනය කොට ලද පාත්‍රය අධිෂ්ඨාන හෝ විකප්පනය නො කොට තබාගතහොත් දසදිනක් නික්මීමෙන් නැවත ද නිසගි වේ.