පාත්‍රයේ ප්‍ර‍මාණය :

“තයො පත්තස්ස වණ්ණා උක්කට්ඨො පත්තො මජ්ඣිමො පත්තො ඔමකො පත්තො. උක්කට්ඨො නාම පත්තො අඩ්ඪාළ්හකොදනං ගණ්හාති චතුභාගං ඛාදනං තදුපියඤ්ච ව්‍යඤ්ජනං. මජ්ඣිමො නාම පත්තො නාළිකොදනං ගණ්හාති චතුභාගං ඛාදනං තදුපියඤ්ච ව්‍යඤ්ජනං. ඔමකො නාම පත්තො පත්ථොදනං ගණ්හාති චතුභාගං ඛාදනං තදුපියඤ්ච ව්‍යඤ්ජනං.”[1]

තේරුම:

පාත්‍රයේ ප්‍ර‍මාණ තුනෙකි. උත්කෘෂ්ට පාත්‍ර‍ය මධ්‍යම පාත්‍ර‍ය අවමක පාත්‍ර‍ය යි ප්‍ර‍මාණ අනුව පාත්‍රා තුනෙකි. උත්කෘෂ්ට පාත්‍ර‍ය සහල් දෙනැළියක බත ද එයින් සතරෙන් කොටසක් ඛාද්‍ය ද ඒ බතට සෑහෙන ව්‍යඤ්ජන ද ගන්නේය. මධ්‍යම පාත්‍ර‍ය සහල් නැළියක බත ද එයින් සතරෙන් කොටසක් ඛාද්‍යද එයට සෑහෙන ව්‍යඤ්ජන ද ගන්නේය. අවමක පාත්‍ර‍ය සහල් නැළි භාගයක බතද එයින් සතරෙන් කොටසක් ඛාද්‍ය ද ඒ බතට සෑහෙන ව්‍යඤ්ජන ද ගන්නේය.

උත්කෘෂ්ට පාත්‍ර‍යට මහත් වූ පාත්‍ර‍ය ද අවමක පාත්‍ර‍යට වඩා පාත්‍ර‍ය ද පාත්‍ර‍ නොවේ. ඒවා භාජන වශයෙන් මිස පාත්‍ර‍ වශයෙන් අධිෂ්ඨාන කොට පරිභෝගයට නුසුදුසුය. මෙහි අදහස් කරන නැළිය බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ මගධරටෙහි භාවිත කළ නැළියය. ලංකාවේ නැළිය මගධ නැළියට මහත් බවත් දෙමළ නැළිය මගධ නැළියට කුඩා බවත් කියා තිබේ. මෙයින් අවුරුදු දෙදහස් පන්සියයකට පෙර මගධරට භාවිත කළ නැළියේ නියම ප්‍ර‍මාණය නො දත හැකිය. අටුවා ටීකා ලියූ කාලයේ ද එය ගැන ස්ථිර විනිශ්චයක් නොතිබිණි. සාමාන්‍යයෙන් හොඳට වැඩුණු ශරීරය ඇති නිරෝගී භික්ෂුවකට වරකට වැළඳීමට සෑහෙන ආහාර බහාලිය හැකි පාත්‍ර‍ය අවමක පාත්‍ර‍ය ලෙසත්, දෙදෙනෙකුට සෑහෙන ආහාරය බහාලිය හැකි පාත්‍ර‍ය මධ්‍යම පාත්‍ර‍ය ලෙසත්, සතර දෙනකුට සෑහෙන ආහාර බහාලිය හැකි පාත්‍ර‍ය උත්කෘෂ්ට පාත්‍ර‍ය ලෙසත් සැලකිය හැකිය. දැනට පරිභෝග කරන පාත්‍ර‍වලින් සමහරක් මධ්‍යම පාත්‍ර‍ වශයෙනුත් සමහරක් උත්කෘෂ්ට පාත්‍ර‍ වශයෙනුත් සැලකිය හැකිය.

සිවුරුවල හා පාවහන්වල පැහැය පිළිබඳ සිකපද විනයෙහි දක්නා ලැබේ. පාත්‍රයේ පැහැය පිළිබඳ සිකපද නො දක්නා ලැබේ. එහෙත් පාත්‍ර‍යට සුදුසු පැහැය කළුපැහැය බව කිය යුතුය. ගින්නෙන් පස්වරක් පලහන ලද යකඩ පාත්‍ර‍යත්, දෙවරක් පලහන ලද මැටිපාත්‍ර‍යත් අධිෂ්ඨානයට යෝග්‍ය බව විනය අටුවාවෙහි දක්වා ඇත. එසේ කරනුයේ කළුපැහැය ගැන්වීම සඳහා විය යුතුය. එය කරන ආකාරයක් විනය පොත්වල දක්වා නැත. පාත්‍ර‍ය කිනම් අයුරකින් හෝ කළුපැහැය කර ගැනීම සුදුසු බව සැලකිය හැකිය. පාත්‍ර‍ය පරිභෝග කිරීම සම්බන්ධයෙන් ද බොහෝ සිකපද ඇත. ඉදිරියෙහි ඒවා දක්වනු ලැබේ.

“න භික්ඛවෙ සඋදකො පත්තො පටිසාමෙතබ්බො. යො පටිසාමෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[2]

මහණෙනි, තෙත් පාත්‍ර‍ය තැන්පත් නො කළ යුතුය. යමෙක් තැන්පත් කෙළේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

“න භික්ඛවෙ සඋදකො පත්තො ඔතාපෙතබ්බො. යො ඔතාපෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

මහණෙනි, දිය සහිත පාත්‍ර‍ය ගින්නෙන් හෝ අව්වෙන් නො වියළවිය යුතුය. යමෙක් වියළවන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ. පාත්‍ර‍ය සෝදා දිය බින්දු පිස දමා වියළවිය යුතු ය.

“න භික්ඛවෙ උණ්හෙ පත්තො නිදහිතබ්බො. යො නිදහෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

මහණෙනි, බොහෝ වේලාවක් පාත්‍ර‍ය අව්වෙහි නො තැබිය යුතුය. යමෙක් තබා නම් ඔහුට දුකුළා ඇවැත් වේ. පාත්‍ර‍ය මඳ වේලාවක් අව්වෙහි තබා රත් වූ පසු ඉවත් කර ගත යුතුය.

“න භික්ඛවෙ මීඪන්තෙ පත්තො නික්ඛිපිතබ්බො. යො නික්ඛිපෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

මහණෙනි, ගෙපිල් කෙළවර පාත්‍ර‍ය නො තැන්පත් කළ යුතුය. යමෙක් තැන්පත් කළේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

“න භික්ඛවෙ පරිහණ්ඩන්තෙ පත්තො නික්ඛිපිතබ්බො. යො නික්ඛිපෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

මහණෙනි, ගෙයින් පිටත පටු පිලෙහි පාත්‍ර‍ය තැන්පත් නො කළ යුතුය. යමෙක් කෙරේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ. “පරිභණ්ඩ” යනු ඇතැම් ගෙවල බිත්තිය සවිවීම පිණිස පිට පැත්තට පන්නා ඇති කොටසය. කයිඔරුවය යි ද කියති. ඒ තැන්වල තැබීමෙන් පාත්‍ර‍ය පෙරළී ගොස් පලුදු විය හැකිය. මැටිපාත්‍ර‍ය නම් බිඳී යා හැකිය.

“න භික්ඛවෙ පත්තො ලග්ගෙතබ්බො. යො ලග්ගෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[3]

මහණෙනි, පාත්‍ර‍ය එල්ලා නො තැබිය යුතු ය. යමෙක් තැබුයේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මෙයින් කියනුයේ භිත්තිවල සවිකර ඇති උල් ආදියෙහි මුවින් පාත්‍ර‍ය එල්ලීම ය. ථවිකයෙහි ලා පටියෙන් එල්ලා ගැනීම නො වේ.

“න භික්ඛවෙ පීඨෙ පත්තො නික්ඛිපිතබ්බො. යො නික්ඛිපෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

මහණෙනි, පුටුවෙහි පාත්‍ර‍ය නො තැබිය යුතු ය. යමෙක් තබා නම් දුකුළා ඇවැත් වේ.

“න භික්ඛවෙ මඤ්චෙ පත්තො නික්ඛිපිතබ්බො. යො නික්ඛිපෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

ඇඳෙහි පාත්‍ර‍ය නො තැබිය යුතුය. තැබුව දුකුළා ඇවැත් වේ. පාත්‍ර‍ තැබීම සඳහා ම වෙන් කොට ඇති මේසයක ඇඳක තැබීමෙන් වරද නො වේ.

“න භික්ඛවෙ අංකෙ පත්තො නික්ඛිපිතබ්බො. යො නික්ඛිපෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1

මහණෙනි, ඇකයෙහි පාත්‍ර‍ය නො තැබිය යුතුය. තබා නම් දුකුළා ඇවැත් වේ. ඇකය යනු උකුලය. වාඩිවී උකුළෙහි පාත්‍ර‍ය තබාගෙන කථා කරමින් හෝ අනික් වැඩක යෙදී හෝ සිටිනා කල්හි හදිස්සියෙන් පාත්‍ර‍ය බිම වැටෙන්නට ඉඩ ඇත. මේ සිකපදය පනවා ඇත්තේ ඒ නිසාය. ථවිකයෙහි ලා උරයෙහි එල්ලා ඇකයෙහි තබා ගැනීම වරද නැතැ යි කියා තිබේ. පුරාණ භික්ෂූන් ආහාර වළඳා තිබෙනු පෙනෙන්නේ ද පාත්‍ර‍ය ආධාරකයක තබා ගෙනය. දැනුදු බුරුම භික්ෂූන් වළඳන්නේ පාත්‍ර‍ය ආධාරකයක තබා ගෙනය. ලංකාවේ භික්ෂූන්ට පුරුදු වී ඇත්තේ උකුලෙහි පාත්‍ර‍ය තබා ගෙන වැළඳීම ය. නො වැටෙන ලෙස එක් අතකින් පාත්‍ර‍ය අල්වාගෙන එසේ වැළඳීමත් සුදුසුය යි කියති.

“න භික්ඛවෙ ඡත්තෙ පත්තො නික්ඛිපිතබ්බො, යො නික්ඛිපෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”

කූඩයෙහි පාත්‍ර‍ය නො තැබිය යුතුය. තැබුව දුකුළා ඇවැත් වේ. කූඩය දිග හැර බිම තබා එහි පාත්‍ර‍ය තබා සිටි අතර සුළං අවුත් පාත්‍ර‍යත් සමග පෙරළී ගොස් පාත්‍ර‍ය බිඳීයාම නිමිත්ත කොට මේ සිකපදය පනවන ලද්දේ ය.

යම්කිසිවක් නො අතුළ රළුබිම පාත්‍ර‍ය තැබුවහොත් දුකුළා ඇවැත් වේ. පාත්‍ර‍යට දෝෂයක් නො වන මට්ටම් බිම හා වැල්ලෙහි තැබීම වරද නැත. දරණුවක හෝ අන් ආධාරකයක හෝ තැබීම සුදුසුය.

“න භික්ඛවෙ පත්තහත්ථෙන කවාටං පණාමෙතබ්බං. යො පණාමෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[4]

පාත්‍ර‍ය අතෙහි තබාගෙන දොරපියන් ජනේල පියන් ඇරීම වැසීම නො කළ යුතුය. කළ හොත් දුකුළා ඇවැත් වේ. කවර ශරීරාවයවයක හෝ පාත්‍ර‍ය තිබිය දී කිනම් ශරීරාවයවයකින් හෝ දොරක් ජනේලයක් ඇරීම වැසීම අගුල් පහත් කිරීම අගුල් දැමීම යතුරු දැමීම ඇරීම නො කළ යුතු බව අටුවාවෙහි දැක්වේ.්

“න භික්ඛවෙ වලකානි වා අට්ඨිකානි වා උච්ඡිට්ඨොදකං වා පත්තෙන නීහරිතබ්බං. යො නීහරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[5]

හප හෝ මාලුපස් කටු හෝ ගෙඩිවල ඇට හෝ ඉඳුල් දිය හෝ බැහැර කිරීම පිණිස පාත්‍රයෙන් නො ගෙන යා යුතුය. ගෙන ගියේ නම් දුකුළා ඇවැත් වේ. පාත්‍ර‍යට අත නො සේදිය යුතුය. අත්පා සේදූ දිය පාත්‍රයෙහි ලා ඉවතලීමට නො නෙ යා යුතුය. පිරිසිදු පාත්‍ර‍ය ඉඳුල් ඇති අතින් නො ඇල්ලිය යුතුය. වමතින් පාත්‍ර‍ය ගෙන වතුර වත්කොට ඉඳුල් සහිත අත ලා පාත්‍ර‍ය සේදීම වරද නැත. මත්ස්‍යමාංස ඵලාදිය වළඳන කල්හි ඉවතලිය යුතු කොටස් පාත්‍ර‍ තුළට නො දැමිය යුතුය. පාත්‍රයේ ඇති මස් මාලු කැබලිවල කටු පාත්‍රයෙහි ඉතිරි වන පරිදි මස්මාලු ගළවා වැළඳීම වරද නැත. මුවින් බැහැර කළ දෙයක් නැවත ද වැළඳීමට බලාපොරොත්තු ඇති නම් පාත්‍රයෙහි තබා ගැනීම සුදුසුය. නො එසේ නම් ඒවා පාත්‍රයෙහි නො තැබිය යුතුය. පොල් කැබලි ආදිය කටින් කඩාගෙන ඉතිරි වන කොටස පාත්‍රයේ තැබීම සුදුසු ය. මේ කරුණු දැන ගත ද නො දැන ගත ද ඉක්මවුවහොත් ඇවැත් වේ.

  1. පාරා - 283 පි.

  2. චූල - 195 පි.

  3. චූල - 196 පි.

  4. චූල - 196 පි.

  5. චූල - 197 පි.