අධිෂ්ඨානාදිය නො කිරීමෙන් නිසගි වූ පාත්රචීවරාදිය ඇතිනම් ඒවා නිස්සර්ජනය නො කොට ඇවැත් දෙසුව ද පාරිසද්ධිය නො ලැබේ. එබැවින් ඒ ඇවැත් වලින් පිරිසිදු වනු පිණිස, නිසගි වූ දෙය නිස්සජ්ජනය කොට ඇවැත් දෙසා ගත යුතු ය. නිසගි වූ චීවරාදිය නිස්සජ්ජනය නො කොට පරිභෝග කරන්නා වූ භික්ෂුවට පරිභෝග කරන වාරයක් පාසාම දුකුළා ඇවැත් වේ. නිස්සජ්ජනය දීමක් හෝ පූජාවක් නොව, විනය කර්මයක් බව සැලකිය යුතුය. නිස්සග්ගිය වස්තුව සඞ්ඝයාට හෝ ඝණයාට හෝ පුද්ගලයකුට හෝ නිස්සජ්ජනය කොට ඇවැත් දෙසා ගත හැකි ය. පුද්ගලයකුට නිස්සජ්ජනය කිරීම පහසු බැවින් මෙහි පුද්ගලයකුට නිස්සජ්ජනය කරන ක්‍රමය පමණක් දක්වනු ලැබේ.
නො ඉටා, නො විකපා දසදින ඉක්මීමෙන් නිසගි වූ සිවුර එක් භික්ෂුවක් වෙත ගෙන ගොස්, උක්කුටිකව හිඳ, සිවුර අතින් ගෙන “ඉදං මෙ භන්තෙ! චීවරං දසාහාතික්කන්තං නිස්සග්ගියං. ඉමාහං ආයස්මතො නිස්සජාමි” යන වාක්‍යය කියා සිවුරු දී ඇවැත දෙසිය යුතු ය. ඇවැත් දෙසූ පසු පිළිගත් භික්ෂුව විසින් “ඉමං චීවරං ආයස්මතො දම්මි” යි කියා පෙරළා දිය යුතු ය. සිවුරු බොහෝ නම් “ඉමානි මෙ භන්තෙ චීවරානි දසාහාතික්කන්තානි. නිස්සග්ගියානි ඉමානාහං ආයස්මතො නිස්සජාමි” යි කිය යුතු ය. දීමෙහිදී “ඉමානි චීවරානි ආයස්මතො දම්මි” යි කිය යුතු ය.
අත්පසින් බැහැර ඇති සිවුරු නිස්සජ්ජනයේදී “එතං මෙ ආවුසො! චීවරං දසාහාතික්කන්තං නිස්සග්ගියං, එතාහං ආයස්මතො නිස්සජාමි” යි කිය යුතු ය. දෙන කල්හි “එතං චීවරං ආයස්මතො දම්මි” යි කිය යුතු ය. සිවුරු එකකට වැඩිකල්හි “එතානි මෙ භන්තෙ! චීවරානි දසාහාතික්කන්තානි නිස්සග්ගියානි” එතානාහං ආයස්මතො නිස්සජාමි” යි ද “එතානි චීවරානි ආයස්මතො දම්මි” යි ද කිය යුතු.
රත්තිවිප්පවුත්ථ වීමෙන් නිසගි වූ සිවුර “ඉදම්මෙ භන්තෙ! චීවරං රත්ති විප්පවුත්ථං අඤ්ඤත්ර භික්ඛු සම්මුතියා නිස්සග්ගියං. ඉමාහං ආයස්මතො නිස්සජාමි” යි නිස්සජ්ජනය කළ යුතු ය.
දස දිනකට වඩා තබාගත් අතිරේක පාත්‍රය, “අයම්මෙ පත්තො දසාහාතික්කන්තො නිස්සග්ගියො. ඉමාහං ආයස්මතො නිස්සජාමි” යි නිස්සජ්ජනය කළ යුතු ය. අනිකුත් නිස්සග්ගිය වස්තූන් නිස්සජ්ජනය කරන සැටි විනය පොත්වලින් බලාගත යුතු ය. ඒවා කුදුසිකෙන් පහසුවෙන් බලාගත හැකි ය.