විඤ්ඤාණඤ්චායතනය

විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය වඩනු කැමති යෝගීහු විසින් ආවර්‍ජනාදි පඤ්චවිධ වශීතාවයෙන් ආකාසානඤ්චායතන සමාපත්තිය පුරුදු කොට (වශී බවට පැමිණි පසු) මේ ආකාසානාඤ්චායතන සමාපත්තිය රූපාවචර පඤ්චමධ්‍යාන සංඛ්‍යාත සතුරකු ළංවැ ඇත්තේ යයි ද, එය ඉක්මවීමෙන් ම ඒ විරුඬ ධර්‍මයන් ඉක්මවිය යුතු හෙයින් අත්‍යාසන්න වූ පසමිතුරන් ඇතැයි ද, ඒ කසිණාලෝකය පැතිරි අහසෙයි ලැබිය යුතු හෙයින් විඤ්ඤාණඤ්චායතනය මෙන් සංසුන් නොවේයයි ද, මෙසේ ආකාසානඤ්චායතනයෙහි ආදීනව සලකා ඒ පිළිබඳ කැමැත්ත සිඳපියා විඤ්ඤාණඤ්චායතනය ශාන්ත වශයෙන් මෙනෙහි කොට ඒ කිසුණු ඉගුළු අහස පැවැති ආකාසානඤ්චායතන ධ්‍යාන චිත්තය (අනන්තං විඤ්ඤාණං) ‘විඤ්ඤාණය අනන්ත යැ’ යි හෝ ‘විඤ්ඤාණය, විඤ්ඤාණ යැ’යි හෝ මෙනෙහි කළ යුතු. නැවත නැවත මෙනෙහි කළ යුතු. ආවර්‍ජනා කළ යුතු. තර්‍ක කළ යුතු. විතර්‍ක කළ යුතු.

එහෙත් විඤ්ඤාණය නොගෙන ‘අනන්ත යැ යි’ පමණක් මෙනෙහි නො කළ යුතු.

ඒ ප්‍ර‍ථමාරූප්‍ය විඥානය උත්පාදාන්ත ව්‍යායාන්ත දෙකින් යුක්තවුව ද අනන්ත අවකාශ අරමුණු කොට පවත්නා හෙයින් පැතිරෙන ආකාරයෙන් අනන්තරහිත හෙයින් අනන්ත යයි මෙසේ මෙනෙහි කරන ඒ යෝගාවචරයාට පෙර කී සේ ආකාශයෙහි ආකාසානඤ්චායතනය සේ ඒ අහස ස්පර්‍ශකොට ගන්නාලද ප්‍ර‍ථමාරූප්‍ය විඤ්ඤාණය අරමුණුකොට විඤ්ඤානඤ්චායතන ධ්‍යාන චිත්තය උපදී (අර්පණා චිත්තයාගේ පැවැත්ම පෙරකී සේමය. එනම් ද්විතීය අර්පණා විථියෙහි මුලදී කාමාවචර උපේක්‍ෂා වෙදනා සම්ප්‍ර‍යුක්ත ජවන සිත් තුනක් හෝ හතරක් ඉපිද සතරවැනිව හෝ පස්වැනිව විඤ්ඤාණඤ්චායතන ධ්‍යාන සිත අර්පණා වශයෙන් උපදී.)

එහෙයින්ම :- “සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති”[1] යි කියන ලදි.

සබ්බසො - පෙර කී සේයි. (හෙවත් ආසන්න වූ රූපධ්‍යාන සතරක් ඇති බව යනාදීන් සර්‍වප්‍ර‍කාරයෙන් දොස් දැක ඒ ධ්‍යානයෙහි නිකාර්තිය පහ කිරීමෙන් හෝ ආවර්‍ජනා නොකිරීම් ආදීන් කුසල - විපාක - ක්‍රියා වශයෙන් සියලු ආකාරයෙන්)

ආකාසානඤ්චායතනං සමතික්කම්ම = මෙහි පෙර කී සේ ධ්‍යානය ද ආකාසානඤ්චායතන නම් වේ. ආලම්බනය ද ආකාසානඤ්චායතන නම් වේ. (එහි ආකාසානඤ්චය ආයතන කොට ඇත්තේ යම් ධ්‍යානයකට නම් ඒ ආකාසානඤ්චය යි අන්‍යාර්‍ථ සමාස වශයෙන් ධ්‍යානය කී) ආලම්බනය ද ප්‍ර‍ථමාරූප්‍ය ධ්‍යානයට ආධාරවීම් වසයෙන් ආකාසානඤ්ච වූයේත් හේමය. ආයතනවූයේත් හේමය යි තුල්‍යාධිකරණ සමාස හෙයින් ආකාසානඤ්චායතන නම් වේ. දෙවියන්ට දේවායතනය මෙනි.

එසේම සඤ්ජාති දේසාර්‍ථයෙන් ද ආකාසානඤ්චායතන නම් වේ. ඒ මෙසේ යි:- ආකාසානඤ්චායතන වූයේත් හේමය. ඒ ධ්‍යානයාගේ හටගැනීමට සුදුසු දේශය වූයේත් හේමනුයි ආකාසානඤ්චායතන නම් වේ. කාම්භෝජ ජනපදය අශවයන්ගේ ඉපදීමට ආයතන (සුදුසු දේශය) වන්නාක් මෙනි. මෙසේ ධ්‍යානය අපවත් කිරීමෙන් ද, ආලම්බනය මෙනෙහි නො කිරීමෙන් ද, දෙක ම ඉක්මවා මේ විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ විසිය යුතු වන හෙයින් ඒ දෙක ම එක්කොට ආකාසානඤ්චායතනය ඉක්මවා යයි කියන ලදැයි දත යුතු.

අනන්තං විඤ්ඤාණං = පෙර ‘අනන්තො ආකාසො’යි කී ඒ අනන්ත අවකාසය පැතිර පැවති ඒ ප්‍ර‍ථමාරුප්‍ය විඥානය ‘අනන්තං විඤ්ඤාණං’ කියා මෙසේ මෙනෙහි කෙරේ යයි කියන ලදි. ඒ යෝගී තෙමේ ඒ ආකාසය ආලම්බනය කොට පැවති විඤ්ඤාණය සර්‍වප්‍ර‍කාරයෙන් අනන්ත යැයි මෙනෙහි කෙරේ. මෙසේ මෙනෙහි කිරීම් වශයෙන් ද අනන්තය යි කියන ලදි.

එහෙයින් ම අනන්තං විඤ්ඤාණන්ති තං යෙව ආකාසං විඤ්ඤාණෙන ඵුටං මනසිකරොති අනන්තං ඵරති තෙන වුච්චති අනන්තං විඤ්ඤාණන්ති[2] මේ එහි අර්‍ථය යැ. ‘ඒ අනන්ත ආකාස යැ යි මෙසේ ආකාසය ස්පර්‍ශ කළ විඥානය විඤ්ඤාණඤ්චායතනය චිත්තයෙන් මෙනෙහි කරයි. ‘විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති[3] මෙනෙහි කිරීම් වසයෙන් හා පැතිරවීම් වශයෙන් ද, අන්ත රහිත හෙයින් විඤ්ඤාණඤ්ච නම් වූ ඒ ද්විතීයාරුප්‍ය චිත්තය දෙවියන්ට දේවායතනය මෙන් සසම්ප්‍ර‍යුක්ත ඒ ධ්‍යානයට පිහිටීමට ස්ථාන වන හෙයින් විඤ්ඤාණඤ්චායතන නම් වේ සෙස්ස පෙර සේ මැයි.

විඤ්ඤාණඤ්චායතන කර්‍මස්ථානයෙහි විස්තර කථාව ය.

  1. වි:ප: ඣානවිභඞ්ග 186 පිට

  2. වි:ප: ඣානවිභඞ්ග 198 පිට

  3. වි:ප: ඣානවිභඞ්ග 186 පිට