ආකිඤ්චඤ්ඤායතනය

ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය වඩනු කැමති යෝගාවචර තෙමේ පස් ආකාරයකින් විඤ්ඤාණඤ්චායතනයෙහි නො පුරුදු බැවින් වසඟ බවට පැමිණ ‘මේ විඤ්ඤාණඤ්චායතනය සමීපයෙහි පවත්නා ආකාසානඤ්චායතන නමැති සතුරකු ඇත්තේ ය. ආකිඤ්චඤ්ඤායතනය සේ ශාන්ත ද නොවේය’ යි විඤ්ඤාණඤ්චායතනයෙහි ආදීනව දැක එහි කැමැත්ත සිඳපියා ආකිඤ්චඤ්ඤායතනය ශාන්ත සේ මෙනෙහි කොට ඒ විඤ්ඤාණඤ්චායතනයට අරමුණු වූ ආකාසානඤ්චායතන විඤ්ඤාණයා ගේ අභාවය, ශූන්‍යත්‍වය, විවික්තාකාරය මෙනෙහි කළ යුතු. ඒ විඤ්ඤාණය මෙනෙහි නොකොට “නැත” “නැතැයි” හෝ “ශුන්‍යය” “ශුන්‍යය” යි හෝ “විවික්තයැ” “විවික්තයැ” යි හෝ සිහි කළ යුතුය. නැවත නැවත මෙනෙහි කළ යුතුයි. එසේ මෙනෙහි කරන ඒ යෝගාවචරයාගේ සිතෙහි නීවරණයෝ පහවෙති. සිහිය පිහිටයි. උපචාර වශයෙන් සිත සමාධි වෙයි. හෙතෙම ඒ නිමිත්ත නැවත නැවත වඩන්නේ වෙයි. එකල ඕහට පෙර ආකාශයෙහි පහළ වූ විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය මෙන් ඒ විඤ්ඤාණඤ්චායතනයාගේ ශූන්‍ය භාව සංඛ්‍යාත අරමුණෙහි ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන සිත පිහිටයි. මෙහි ද පෙර කී සේ මැයි.

විශේෂ:- ඒ ආකාසානඤ්චායතන ධ්‍යාන චිත්තයා ගේ අභාව මාත්‍රාලම්බනයෙහි ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන සිත අර්පණා වශයෙන් උපන් කල්හි ඒ යෝගාවචර තෙමේ පූර්‍වයෙහි අහසැ පැවැති විඤ්ඤාණයා ගේ අභාවමාත්‍ර‍ය මෙනෙහි කරයි.

ඒ මෙසේයි:- යම් කිසි පුරුෂයෙක් ධර්‍මසභාදියෙහි කිසියම් වැඩක් සඳහා රැස්ව හුන් භික්‍ෂු සංඝයා බලා කිසි කටයුත්තකට ගොස් නැවත පැමිණෙන විට පැමිණි කටයුත්ත අවසන් කොට එතැනින් භික්‍ෂු සඞ්ඝයා නැගී යාමෙන් හිස්ව තිබූ ශාලාවම දකී. ඕ හට ඒ භික්‍ෂුන් අතුරින් මෙ තෙක් දෙන කලුරිය කළහ. මෙ තෙක් දෙන ඒ ඒ දිගට ගියහ යි කියා මෙනෙහි නො වේ ම ය. වැලි මේ මණ්ඩපය ශූන්‍යය හිස්ය යි මේ පමණක් ම මෙනෙහි වෙයි.

මෙසේම පෙර අහස පැවති විඤ්ඤාණය විඤ්ඤාණඤ්චායතන ධ්‍යාන නමැති ඇසින් බලමින් වාසය කොට නැවත “නත්‍ථි නත්‍ථි-නැත නැත” යි පරිකර්‍ම භාවනා වශයෙන් මෙනෙහි කිරීමෙන් ඒ විඤ්ඤාණය පහව ගිය කල්හි හුදෙක් ඒ පහවීම් මාත්‍ර‍ය වූ අභාවය ම බලමින් වාසය කරයි. එය කුමකින් පහව ගියේ දැයි හෝ කොතැන්හි ගියේ දැයි නොබලයි. මෙතෙකින් ඒ යෝගාවචර තෙමේ - සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්‍ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති[1] යි. ආලම්බනය හා ධ්‍යානය ඉක්මවීමෙන් “සර්‍වප්‍ර‍කාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය උපදවා වාසය කෙරේ” ය යි කියනු ලැබේ. (විස්තර විඤ්ඤාණඤ්චායතනයෙහි කීසේ යි.)

පෙර කී සේ විඤ්ඤාණඤ්චායතනයට අරමුණු වූ ආකාසානඤ්චායතන ධ්‍යානය මෙනෙහි නොකිරීමෙන් අපවත් කොට හුදෙක් ඒ අභාවයම “කිසිවක් නැතැයි” මෙනෙහි කිරීමෙන් උපදවන ලද ධ්‍යානය ආකිඤ්චඤ්ඤායතන යයි කියනු ලැබේ.

ආකිඤ්චඤ්ඤායතනයෙහි විස්තර කථාවය.

  1. වි:ප: ඣානවිභඞ්ග 198 පිට