අර්ථ වශයෙන්

චක්‍ෂුරාදීන් ගේ අර්ථ යට ධාතු නිර්‍දෙශයෙහි[1] දැක්වී. පසුවැ කී තුනින් පළමුවන, (20) අනඤ්ඤාතඤ්ඤාස්සාමිතින්‍ද්‍රියපෙරැ (මාර්‍ගාවබෝධයෙන්) නො දත් අමෘත නිර්‍වාණ පදය හෝ චතුස්සත්‍ය ධර්‍මය දැනගන්නෙමි’යි මෙසේ පිළිපන් යෝගාවචරයාහට උපදනා හෙයින් ද, ඉන්‍ද්‍රියාර්‍ථ සම්භව හෙයින් ද, සෝවාන් මාර්‍ගඥානය, අනඤ්ඤාතඤ්ඤාස්සාමිතින්‍ද්‍රිය යි කියනු ලැබේ.

දෙවැනි (21) අඤ්ඤින්‍ද්‍රිය, පෙරැ සෝවාන් මගින් පිරිසිඳ දන්නා ලද සීමාව නො ඉක්ම චතුස්සත්‍යය නැවත දක්නා හෙයින් ද, ඉන්‍ද්‍රියාර්‍ථ සම්භව හෙයින් ද, සෝවාන් ඵලයේ පටන් අර්‍හත් මාර්‍ගය තෙක් මාර්‍ග-ඵල ඥාන අඤ්ඤින්‍ද්‍රිය නම් වේ.

තෙවැනි (22) අඤ්ඤාතාවින්‍ද්‍රිය චතුස්සත්‍යය පිළිබඳ කෙළවර කළ ඥානකෘත්‍යය ඇති ක්‍ෂීණාශ්‍ර‍වයන් වහන්සේට උපදනා හෙයින් ද, ඉන්‍ද්‍රියාර්‍ථ සම්භව හෙයින් ද, අර්‍හත්ඵල ඥානය අඤ්ඤාතාවින්‍ද්‍රිය නම් වේ.

ඉන්‍ද්‍රිය ශබ්දාර්ථ

(අ) ඉන්‍ද්‍ර‍ නම් වූ කර්‍මය හගවන්නා වූ ස්වභාවය ඉන්‍ද්‍ර‍යැ යි කියන ලද කර්‍මය හැඟවීමට කරුණු වූයේ හෝ ඉන්‍ද්‍රියාර්ථ යැ.

(ඉ) ඉන්‍ද්‍ර‍ නම් වූ භාග්‍යවතුන්වහන්සේ විසින් දේශනා කළ ස්වභාවය හෝ ඉන්‍ද්‍රියාර්ථ යැ.

(උ) ඉන්‍ද්‍ර‍ නම් භාග්‍යවතුන්වහන්සේ විසින් දන්නා ලද ස්වභාවය හෝ ඉන්‍ද්‍රියාර්ථ යැ.

(එ) ඉන්‍ද්‍ර‍ නම් වූ කර්‍මය විසින් නිපදවන ලද ස්වභාවය හෝ ඉන්‍ද්‍රියාර්ථ යැ.

(ඔ) ඉන්‍ද්‍ර‍ නම් වූ භාග්‍යවතුන්වහන්සේ විසින් සෙවුනා ලද ස්වභාවය හෝ ඉන්‍ද්‍රියාර්ථ යැ. මේ සියලු අර්‍ථයෝ මැ ඉන්‍ද්‍රියාර්‍ථයෙහි සුදුසු පරිදි යෙදෙති.

ඒ මෙසේයි :- (අ-එ) අර්‍ථයන්හි කර්‍මජ වූ චක්ෂුරාදි ඉන්‍ද්‍රියයනට කාරණ වූ කුශලා‘කුශල කර්‍ම දක්වයි.

(ඉ.උ.ඹ) යන තුන් තන්හි ඉන්‍ද්‍ර‍ ශබ්දය භාග්‍යවතුන් වහන්සේ ඇරැ දක්වයි.

විස්තර :- කුශලා‘කුශල කර්‍මද (ඒ කෙරෙහි කිසිවකුගේ ඊශ්වරත්‍වයක් නැති හෙයින් ඉන්‍ද්‍ර‍ නමි. එහෙයින් මැ මෙහි ‘කර්‍මයෙන් නිපන් චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයෝ ‘කුශලා’ කුශල කර්‍මය ප්‍ර‍කාශ කෙරෙත්නුයි. හෝ ‘ඒ කර්‍මය විසින් උපදවන ලද්දාහු නුයි’ ඉන්‍ද්‍ර‍ලිඞ්ගාර්‍ථයෙන් හා ඉන්‍ද්‍ර‍ ශිෂටාර්‍ථයෙන් ඉන්‍ද්‍රිය නම් වෙති. මේ අර්‍ථයෙන් චක්‍ෂුරාදි කර්‍මජ ඉන්‍ද්‍රියයෝ මැ ගැනෙති. සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ පරමේශ්වර හෙයින් ඉන්‍ද්‍ර‍ නම් වන සේක. මේ දෙවිසි ඉන්‍ද්‍රියයෝ මැ භාග්‍යවතුන් වහන්සේ විසින් තතු වූ පරිදි ප්‍ර‍කාශ කරන ලද්දාහු ද වෙති. එහෙයින් මැ ඉන්‍ද්‍ර‍ දෙශිතාර්‍ථයෙන් හා ඉන්‍ද්‍ර‍දෘෂ්ටාරර්ථයෙන් ද, ඉන්‍ද්‍රිය නම් වෙති. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ඇතැම් ඉන්ද්‍රිය කෙනෙක් (භාවනා වශයෙන් පුරුදු නො කොට) අරමුණු කිරීම් වශයෙන් ද ප්‍ර‍ත්‍යවේක්ෂා කිරීම් මාත්‍රයෙන් ද, ඇතැම් ශ්‍ර‍ද්ධාදි ඉන්ද්‍රිය කෙනෙක් (වැඩීම්) භාවනා වශයෙන් ද, පුරුද කරන ලදහු නුයි ඉන්‍ද්‍රිය නම් වෙති.

තවද ඊශ්වරාර්‍ථයෙන් ද ඉන්‍ද්‍රිය නම් වේ. චක්‍ෂුර්විඥානාදීන් ගේ පැවැත්මෙහි චක්‍ෂුරාදීන් ගේ අධිපති බව සිද්ධ ය. ඒ චක්‍ෂුරෙන්ද්‍රියාදිය තීක්ෂණ කල චක්‍ෂුර්විඥානාදිය ප්‍ර‍සන්න හෙයින් ද, දුර්‍වල වූ කල අප්‍ර‍සන්න හෙයින් ද, ඊශ්වරත්වය සිද්ධ ය. මේ අර්‍ථ වශයෙන් විනිශ්චය යි.

  1. සිං:වි: 728