නිරෝධ සත්‍යය (3)

දුඃඛ නිරෝධ නිර්දේශයෙහි “යො තස්සයෙව තණ්හාය[1] යනාදීන් සමුදය නිරෝධය වදාළහ.

කවරහෙයිනයත්?

සමුදය නිරෝධයෙන්ම දුඃඛ නිරෝධය වේ. මේ අන් පරිද්දෙකින් නොවේ.

එම අර්‍ථයා ගේ ඒකාන්ත බව මෙයින් වදාළහ.

“යථාපි මූලෙ අනුපද්දවෙ දල්හෙ

ජීන්නොපි රුක්ඛො පුනදෙව රූහති

එවම්පිතණ්හානුසයෙ අනූභතෙ

උප්පජ්ජති දුක්ඛමිදං පුනප්පුනං”[2]

“යම්සේ රුකක් සහමුලින් උදුරා නොලීනම්

සින්දත් මුලින් ලියලලා වඩනේ ද මත්තේ

තන්හානු සේ විදිලෙසින් එලෙසින් නුසුන් කල්

මේ දුක් සියල් පුන-පුනා උපදී වෙසෙස්නෙන්

(ගසෙක පස් මහා මුල්, සිඳීම් - පැළීම් - පණුවන් විදීම් - ආදීන් උපද්‍ර‍වයකට නො පැමිණ (එහෙයින්ම) ස්ථිරවැ සිටි කල්හි අතුපතර සිඳින ලදුව ද, (රුක) නැවත නැවත අතු රිකිලි පත් ආදියෙන් වැඩෙන්නාසේ තෘෂ්ණානුශය (කාමරාගානුසයභවරාගානුසය) අර්‍භන්මාර්‍ගඥානයෙන් නො සිඳිනලද කල්හි ජාත්‍යාදී මේ දුක ඒ ඒ භවයෙහි නැවත නැවත උපදනේ ය.)

මෙසේ තෘෂ්ණා නිරෝධයෙන් මැ දුඃඛ නිරෝධය වන හෙයින් දුඃඛ නිරෝධය දේශනා කරන බුදුහු සමුදය නිරෝධය මැ වදාළහ.

විශේෂ:- බුදුවරයෝ සිංහ සමාන පැවැතුම් ඇත්තෝය. යමෙක් තමා වෙත හීයක් විද්දේ නම් (සිංහයා) හේතුව වූ ඒ විද්දාහු විනා ඵලය වූ ඊය ඩැහැ නොගනී. එසේම බුදුවරයෝ ද, දුඃඛනිරෝධය දේශනා කරන්නාහු දුඃඛ හේතුව වූ තෘෂ්ණා නිරෝධය වදාරති. ඵලය වූ දුඃඛය නොවදාරත්.

සුනඛයා තමහට ගැසූ ගල සපයි. ගල ගැසුවහු ඩැහැ නොගනී. එසේම අන්‍ය තීර්‍ථකයෝ දුක් නිරෝධ කරන්නාහු අත්තකිලමථානුයෝගාදීන් දුක් විඳීමෙන් ම දුක් නැතිකළ යුතුයැයි යෙති. ක්ලේශ නිරෝධය නො කියත්.

මෙසේ දුඃඛ නිරෝධය, සමුදය නිරෝධය වශයෙන් දෙසීමේ ප්‍රයෝජන දතයුතු.

එහෙයින්මැ

තස්සායෙව තණ්හාය = පුනර්‍භවය කරන (කාම-භව-විභව වශයෙන් බෙදූ) තෘෂ්ණාවගේ මැ

අසේසවිරාග නිරෝධො = යම් නිර්‍වාණයක් අවබෝධ කිරීමෙන් තෘෂ්ණාව ගේ නිරවශේෂයෙන් ක්‍ෂයවීම් වශයෙන් පහවීම ද, නැවත නූපදනා සේ නිරුද්ධවීම ද වේ නම් ඒ නිර්‍වාණය තෘෂ්ණාව ගේ අසේස විරාග නිරෝධය යි.

විශේෂ:- මෙහි විරාග නම් මාර්‍ගය යි. ඒ විරාග නම් වූ මාර්‍ගයෙන් නිරුද්ධ කිරීම (නිරවශේෂයෙන් ප්‍ර‍හාණය කිරීම) අශේෂ විරාග නිරෝධය යැ. මාර්‍ගයෙන් අරමුණු කිරීම් වශයෙන් නිර්‍වාණයට පැමිණීමෙන් තෘෂ්ණාව නිරවශේෂයෙන් ප්‍ර‍හාණය වන හෙයින් නිර්‍වාණය තෘෂ්ණා නිරෝධය යි කියනු ලැබේ.

තවද කාමරාගාදි වශයෙන් පැවැති තෘෂ්ණාව අනුසය සහිතව ප්‍ර‍හාණය වන හෙයින් අශේෂ විරාග නිරෝධය යි කියනු ලැබේ.

තවද අර්‍ථයෙකි:- විරාග නම් ප්‍ර‍හාණ යැ. එහෙයින් නිරවශේෂ විරාගය, නිරවශේෂ නිරෝධය යි මෙසේත් මෙහිලා යෙදියැයුතුයි අර්‍ථ වශයෙන් වනාහි මේ විරාග-නිරෝධාදි පද සියල්ලම නිර්‍වාණයට පර්‍ය්‍යාය නාමයෝයි.

පරමාර්‍ථ වශයෙන් දුඃඛනිරොධාර්‍ය්‍ය සත්‍යයි නිර්‍වාණය කියනු ලැබේ. (දුඃඛ නිරෝධ මාත්‍ර‍ය නො කියනු ලැබේ)

නිර්‍වාණයට අරමුණු කිරීම වශයෙන් පැමිණ තෘෂ්ණාව ආර්‍ය්‍යමාර්‍ගයෙන් අත්‍යන්ත විරාගයෙන් ප්‍ර‍හාණය වේ. අනුත්පාද නිරෝධය වේ. එහෙයින් විරාග යැයි ද, නිරෝධ යැයි ද කියනු ලැබේ.

එසේම නිර්‍වාණය අවබෝධ කිරීම හේතුකොටගෙන එම තෘෂ්ණාව අත්හැරීම ද, නො ඇලීම ද, මිදීම ද වන හෙයින් ද, පඤ්චකාම ගුණික ආලයයන් අතුරින් එකකුදු නැති හෙයින් ද, නිර්‍වාණය චාග-පටිනිස්සග්ග-මුත්ති-අනාලයය නම් වේ.

(දුක්ඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය වදාරන බුදුහු තෘෂ්ණා නිරෝධය වශයෙන් දුඃඛනිරෝධය වදාළහ. ඒ තෘෂ්ණා සඞ්ඛ්‍යාත දුඃඛෝත්පාදක හේතුව තිබියදී ඵලය වූ දුඃඛය නැතිකළ නොහැකි හෙයින් දුක් නැති කළ හැකි ආකාරයත් සමගම වදාරනු සඳහා ය. තෘෂ්ණාව වූ දුඃඛ හේතුව තිබියදී කොතෙක් දුක් නැති කළ ද, නැවත උපදනා හෙයින් නැවත නූපදනා සේ දුක් නිරෝධ කිරීමේ නො වරදනා ක්‍ර‍මය ද එය මැයි)

නිර්‍වාණය ශාන්ති ලක්‍ෂණය යැ. නො ගිලිහෙන බව හෝ ආස්වාදකර බව එහි රසය යැ. රාගාදි නිමිති නැති හෙයින් අනිමිත්ත බව හෝ ප්‍ර‍පඤ්ච රහිත බව වැටහෙන ආකාරය යැ.

(මෙහිලා පරවාදී-සකවාදී සංවාද ද්වාරයෙන් නිර්‍වාණයාගේ අභාවය හා භාවය පිළිබඳව විචාර පූර්‍වක විවරණයක් වේ)

පරවාදී:- මෙසේ ලක්‍ෂණාදිය කියා නිර්‍වාණය වර්‍ණනා කිරීමෙන් කවර ප්‍රයෝජන ද නාම මාත්‍ර‍ය මූත් නිර්‍වාණය තෙමේම නැත්මැයි. සස විසානයක් (හා අඟක්) මෙන් අනුපලබ්ධි (සිතින් නො දත හැකි) වන හෙයිනි.

සකවාදී:- “නිවන් නැති (සිතින්) නො දත හෙයිනැයි” යම් හේතුවක් කියන ලද නම් ඒ එසේ නො වේ. ශීලවිශුද්ධි ආදි එයට සුදුසු උපායයෙන් උපලබ්ධි (ප්‍ර‍ත්‍යක්‍ෂ) වන හෙයිනි.

(මෙහි “නත්‍ථෙව නිබ්බාණං” = නිර්‍වාණය නැත්මැයි. යනු සාමාන්‍යයෙන් ප්‍ර‍තිඥා වීනම් තමා විසින් අභිප්‍රේත නිර්වාණයාගේ ද අභාවය පැමිණේ. එකල්හි ප්‍ර‍තිඥා විරෝධය වේ. ඉදින් පරාභිමත නිර්‍වාණය පිණිස වී නම් එකල්හි ධර්මි අසිද්ධිය වේ. එහෙයින් හේතුව ආශ්‍ර‍යාසිද්ධ වේ.

අනුපලබ්භනියතො” යනුයෙහි අනුපලබ්ධිය ප්‍ර‍ත්‍යක්‍ෂ වශයෙන් වීනම් චක්‍ෂුරාදීන් ගේ වශයෙන් හේතුව අනෛකාන්තික වේ. අනුපලබ්ධිය අනුමානයෙන් වී නම් පරහට හේතුව අසිධ්ද වේ. (මෙසේ නිර්වාණය අනුපලබ්ධි වනුයේ (නුවණට ගෝචර නොවනුයේ) ප්‍ර‍ත්‍යක්‍ෂයෙන් ද, අනුමානයෙන්දැ යි විචාර ඒ දෙයාකාරයෙන් ම උපලබ්ධි වන බව් දෘෂ්ටාන්තාදිය දැක්වීමෙන් ව්‍යක්ත කෙරේ.)

1. නිර්වාණය එයට සුදුසු සීල - සමාධි - ප්‍ර‍ඥා සඞ්ඛ්‍යාත උපායයෙන් උපලබ්ධි (ප්‍ර‍ත්‍යක්‍ෂ) වේ.

2. චේතොපරිය (පරචිත්ත විජානන) ඥානය ලද ආර්‍ය්‍යයන් ඒ නුවණින් අනුන් ගේ ලොවුතුරා සිත දැනගන්නා සේ ආර්‍ය්‍යයන් ප්‍ර‍ත්‍යක්‍ෂයෙන් ම නිර්වාණය අවබෝධ කරන හෙයින් නිර්වාණය නැතැයි නො කිය යුතු. (මේ ප්‍ර‍ත්‍යක්‍ෂයෙහි)

විශේෂ:- ආර්‍ය්‍යයෝ චේතොපරිය ඤාණය උපදවා එයින් අන්‍ය ආර්‍ය්‍යයන් ගේ ලොව්තුරු සිත් දකිති. (ඒ ඒ මාර්‍ග ලාභී ආර්‍ය්‍යයට එබඳු වූ ම ආර්‍ය්‍යයන් ගේ හා එයට අඩු වූ ආර්‍ය්‍යයන් ගේ සිත් දත හැකිය. රහත්නට සියලු ආර්‍ය්‍යයන් ගේ ලොවුතුරා සිත් දත හැකි වේ.) ඒ ලොවුතුරා සිතට අරමුණ නිර්වාණය වන හෙයින් නිර්වාණය නැත්තේ වී නම් ලොවුතුරා සිත් නො උපදී.

පුහුදුනට අනුන් ගේ ලොවුතුරා සිත් නො දත හැකි හෙයින් ඔවුන් ඒ නැතැයි කියනු නො යෙදේ.

3. එසේ නිර්වාණය ප්‍ර‍ත්‍යක්‍ෂ කොට වදාළ බුදු-පසේබුදු-බුදුසව්වන් ගේ දේශනා ප්‍රදේශයන්ගෙන් සිද්ධ වූ පූර්‍වභාග ප්‍ර‍තිපදා ඇති ආර්‍ය්‍ය මාර්‍ග ඵල ඥානයට විෂය වූ නිර්වාණය ආගම-අධිගම නැති අන්‍ධ පෘථග්ජනයන් (නිර්‍වාණය) නැතැයි කරන ප්‍ර‍තික්‍ෂේපය “හිරු ඇත්නම් අපට ද පෙනුන මනා ය. අපට නො පෙනෙනුයේ හිරු නැති නිසායැ.” යි ජාත්‍යන්‍ධයන් සකල ලෝකාලෝක කරන සූර්‍ය්‍යයා නැතැයි කියන්නා සේය.

4. තවද සසර කලකිරී ඉන් එතර වන සිත් ඇතිව ‘ජාත්‍යාදි දුක ඇති හෙයින් එය සංසිඳුවන නිවනක් ද, ඇත මැනවැයි, බුද්ධ ධර්‍මය නො දැන අනුමාන ඥානයෙන් සලකා උත්සාහ වැඩුවන් ඒ මනා ප්‍ර‍තිපත්තීන් නිවන් පසක් කෙරෙතියි, මෙසේ නන් අයුරින් නිවන ඇති බැව් ව්‍යක්ත කළහ.

5. තවද ආර්‍ය්‍යමාර්‍ග - ප්‍ර‍ත්‍යවේක්‍ෂාඥානයන්ට ගෝචර වූ නිර්වාණය නැතැයි නො කිය යුතු කවර හෙයින්යත්? ප්‍ර‍තිපත්තිය වඳ වන හෙයිනි.

නිර්‍වාණය නැත්තේ වීනම් සම්‍යක් දෘෂ්ටිය පෙරටු කොට ඇති ‘ශීලාදි ස්කන්‍ධත්‍රයෙහි’ සංගෘහීත සම්‍යක් ප්‍ර‍තිපත්තිය සිස් වේ.

(පෙර කී සේ) නිර්‍වාණයට පමුණුවන හෙයින් ඒ ප්‍ර‍තිපත්තිය සිස් නො වේ. (එහෙයින් අභාවවාදීන් ගේ මතය අනාථ වේ.)

පරවාදී:- මේ ප්‍ර‍තිපත්තියට වඳ නො වේ. එහෙතේ ඒ වඳ නො වනුයේ නිවනට පමුණුවන හෙයින් නොව ක්ලේශ සමුච්ඡේද මුඛයෙන් අතීත-අනාගත ස්කන්‍ධයන් (ඇසුරු කළ කෙළෙස්) අභාවයට පමුණුවන හෙයිනි.

සකවාදී:- (එසේ අතීත-අනාගත) ස්කන්‍ධයන් (ඇසුර කළ ක්ලේශයන්) ගේ අභාවය නිර්‍වාණය යි කියා නම් ඒ නො යෙදේ. කවරහෙයින්යත්? අතීත (ක්ලේශ) ස්කන්‍ධයන් පෙර ම නැති වූ හෙයින් හා අනාගත (ක්ලේශ) ස්කන්‍ධයන් පෙර ම නැති වූ හෙයින් හා අනාගත (ක්ලේශ) ස්කන්‍ධයන් තවම නො වූ හෙයින් ‘ඔවුන් ගේ අභාවයෙන් ප්‍ර‍තිපත්තිය වඳ නො වෙයි, යනු නො වන හෙයිනි. (වඳවන හෙයිනි)

පරවාදී:- හුදෙක් අතීත-අනාගතයන්ගේ නොව වර්‍තමාන ස්කන්‍ධ (ඇසුරු කළ ක්ලේශ) යන්ගේ ද අභාවය නිර්‍වාණය යැ.

සකවාදී:- වර්‍තමාන ස්කන්‍ධයන් ඇසුරු කළ (ක්ලේශ) යන්ගේ අභාවය ද අසම්භව ය. වර්‍තමාන නම් නැත්තේ නො වේ. නැත්තේ වර්‍තමානය නො වේ. අභාවය ඇති කල්හි භාවය (වර්‍තමානය) නො වන හෙයින් වර්‍තමානයන් ගේ අභාවය වී ප්‍ර‍තිසිද්ධ ය.

තවද වර්‍තමාන ස්කන්‍ධ (ඇසුරු කළ ක්ලේශ) ක්‍ෂයකරන මාර්‍ග ක්‍ෂණයෙහි සොපාදිසෙස නිර්‍වාණ ධාතූහූ ගේ ප්‍රාප්තිය නො වන හෙයින් ‘වර්‍තමාන (ක්ලේශ) ස්කන්‍ධයන් ගේ අභාවය ද නිර්‍වාණය’ යනු නො යෙදේ. යම් කලෙක ආර්‍ය්‍ය මාර්‍ගය පවතී නම් එකල එයට නිශ්‍ර‍ය වූ ස්කන්‍ධ පවත්නා හෙයින් නිර්‍වාණයාගේ අභාවය වේ.

පරවාදී:- ඇපි සියලු (ක්ලේශ) ස්කන්‍ධයන් ගේ අභාවය නිවනැ යි නො කියම්හ. ‘මාර්‍ගක්‍ෂණයෙහමි (ක්ලේශ) ස්කන්‍ධයන් නො පවත්නා හෙයින් ඔවුන් ගේ අභාවය නිර්‍වාණයැ’යි කියම්හ. එහෙයින් යථෝක්ත දෝෂය නො වේ.

සකවාදී:- (ක්ලේශ) ස්කන්‍ධයන් ගේ අවර්‍තමානතාසඞ්ඛ්‍යාත අභාවය නිර්වාණය වේනම් මාර්‍ගයෙන් නො සිඳින ලද කෙලෙස් ද මාර්‍ගක්‍ෂණයෙහි උත්සන්න නො වන බැවින් ද, මාර්‍ගක්‍ෂණයෙන් පෙරටුව ගොත්‍ර‍භූ චිත්තයෙහි පටන් ක්ලේශයන් ගේ සමුදාචාර නැති හෙයින් ද, නැත්තාහුනුයි මාර්‍ගයෙන් කටයුතු නැති හෙයින් ආර්‍ය්‍ය මාර්‍ගය නිරණර්‍ථක බවට පැමිණේ.

මෙසේ - නිර්වාණය

1. අනුපලබ්ධි නොවීම ද

i. අභාවමාත්‍ර‍ය නො වීම ද

2{

ii. ප්‍ර‍තිපත්තිය වඳ වීම ද

iii. අතීත අනාගතභාවයෙහි නිර්‍වාණාධිගමය නො වීම ද

iv. වර්‍තමානයන් ගේ අභාවය සම්භව නො වීම ද

2. පළමු කොටම ක්ලේශයන් අවර්‍තමාන හෙයින් ආර්‍ය්‍ය මාර්‍ගය නිරර්‍ථක වීම ද

යන මේ හේතුකොටගෙන නිර්වාණයා ගේ අභාවය පිළිබඳ සාධක කළ පෙරකී කැරණු නො යෙදේ. අයුක්තී හෙයිනි.

පරවාදී:- එසේවන්නා “නිබ්බාණං නිබ්බාණන්ති ආවුසො සාරිපුත්ත! වුච්චති. කතමං නුඛො ආවුසො නිබ්බාණන්ති. යො ඛො ආවුසො රාගක්ඛයො, දොසක්ඛයො, මොහක්ඛයො, ඉදං වුච්චති නිබ්බාණන්ති[3] ආයුෂ්මත් ශාරිපුත්‍ර‍ය! නිරවාණය නිර්වාණයැ යි කියයි. නිවණ නම් කිමැයි විචාළ ජම්බුද්ධාක පරිව්‍රාජකයාහට ආයුෂ්මත! යමක් රාගක්‍ෂය ද, දෝෂක්‍ෂය ද, මෝහක්‍ෂය ද වේ නම් ඒ නිවණැ යි. මෙසේ ශාරිපුත්‍ර‍ ස්ථවිරයන් වදාළ පරිදි රාගාදීන් ගේ ක්‍ෂය (අභාවමාත්‍ර‍)ය නිර්‍වාණය යැ. මෙයින් රාගාදීන් ගේ ක්‍ෂය මාග්‍ර‍ය නිර්වාණය බව පැහැදිලි නො වේද,

සකවාදී:- නො වේ. එයට අනතුරුවැ අර්‍හත්‍වය විචාල ඕහටම “අරහත්තං අරහත්තන්ති ආවුසො සාරිපුත්ත! වුච්චති. කතමං නු ඛො අරහත්තන්ති. යො ඛො ආවුසො රාගක්ඛයා, දොසක්ඛයො, මොහක්ඛයො ඉදං අරහත්තන්ති”[4] ආයුෂ්මත් ශාරිපුත්‍ර‍ය! අර්‍හත්ත්‍වය අර්‍හත්‍වය යි කියයි. අර්‍හත්ත්‍වය නම් කිමෙක් ද, ආයුෂ්මත! යමක රාගක්‍ෂය ද, දොෂක්‍ෂය ද, මොහක්‍ෂය ද වේ නම් ඒ අර්‍හත්‍වයැ’යි වදාළ පරිදි අර්‍හතත්‍වය ද රාගාදීන් ගේ ක්‍ෂය මාත්‍ර‍යැ යි.

මෙසේ නිර්‍වාණය හා අර්‍හත්‍වය දැක්වූ පෙළ ඒක සවරූපය යැ. දෙකෙහි වෙනසක් නැති හෙයින් ශ්‍රැත වශයෙන් පාළියෙහි අර්‍ථ ගැනී නො යෙදේ.

කවර හෙයින් ද

අව්‍යාකෘතයෙහි ඇතුළත් අසඞ්ඛත ධාතු සඞ්ඛ්‍යාත නිර්‍වාණයට අනතුරුවැ එහිමැ ඇතුළත් ස්කන්‍ධ සතරකින් යුත් අර්‍හත් ඵල චිත්තය ද, යන දෙකින් අර්‍හත්ත්‍වය රාගාදීන්ගේ ක්‍ෂයාන්තයෙහි උපදනා හෙයින් කාර්‍ය්‍යයෙහි කාරණොපචාර වශයෙන් ගෙන රාගාදීන්ගේ ක්‍ෂය නාමයෙන් වදාළහ.

රාගාදීන් ක්‍ෂය කරන අර්‍හත්මාර්‍ගඥානයට ආලම්බන උපනිශ්‍ර‍ය ස්ථානය වන නිර්‍වාණය ස්ථානයෙහි ස්ථානි උපචාරයෛන් ගෙන රාගක්ඛයාදි නාමයෙන් වදාළහ. නිර්‍වාණයෙහි රාගාදීන් අනුත්පාද නිරෝධය වන හෙයිනි.

මෙසේ රාගාදීන් ගේ ක්‍ෂයායන්තයෙහි උපදනා හෙයින් අර්‍හත්ත්‍වය රාගක්ඛයාදී නාමයෙන් ද, නිර්‍වාණයෙහි රාගාදිය ක්‍ෂයවන හෙයින් නිර්‍වාණය රාගක්ඛයාදී නාමයෙන් ද, වදාළ හෙයින් මේ සූත්‍ර‍ දෙකම නෙය්‍යාර්‍ථයයි දතයුතු. නො එසේ නිර්‍වාණය රාගක්‍ෂයාදි (මාත්‍ර‍ය) වුව බොහෝ දොස් සිදුවන හෙයිනි.

ඒ මෙසේ යි:- රාගාදීන් ගේ භඞ්ගක්‍ෂය ක්‍ෂණමාත්‍ර‍ කාලයක් පැවැත්මද,

එහෙයින් මැ අසඞ්ඛත ධාතු වූ නිර්‍වාණය සඞ්ඛත ලක්‍ෂණ වීම ද,

එහෙයින් මැ සම්‍යක් ව්‍යායාමයෙන් තොරවැ ස්වකෘතියෙන් මැ අධිගමය විය යුතු බව ද

එහෙයින්මැ රාගාදි ක්ලේශයන්ගෙන් නො මිදීම ද

එහෙයින් මැ රාගාදි එකොළොස් (11) ගින්නෙන් ඇවිල ගැනී ම ද

එහෙයින් මැ දුක් බවට පැමිණීම ද

එහෙයින් මැ උපශාන්ත නොවීම ද

රාග - දෝෂ - මේහ ක්‍ෂයයෙන් නිර්‍වාණය තුනක් වීම ද

සතර උපාදාන ක්‍ෂයයෙන් නිර්‍වාණ සතරක් වීම ද

පඤ්චනීවරණ ක්‍ෂයයෙන් නිර්‍වාණ පසක් වීම ද

ෂට් තෘෂ්ණා ක්‍ෂයයෙන් නිර්‍වාණ සයක් වීම ද

සප්තානුශයක්‍ෂයයෙන් නිර්‍වාණ සතක් වීම ද

අෂ්ට මිච්ඡත්තක්‍ෂයයෙන් නිර්‍වාණ අටක් වීම ද

නවතෘෂ්ණාමූලක්‍ෂයයෙන් නිර්‍වාණ නවයක් වීම ද

දස සංයොජනක්‍ෂයයෙන් නිර්‍වාණ දසයක් වීම ද

යෙළ දහසක් (1500) ක්ලේශක්‍ෂයයෙන් නිර්‍වාණ එපමණ වීම දැයි මෙසේ බොහෝ නිර්‍වාණ වේය යි ක්‍ෂය මාත්‍ර‍ය නිර්‍වාණ නො වේ.

(එසේම සෝන-සිගාලාදීන්ට උපදනා රාගාදිය ද ඒ ඒ ක්‍ෂණයෙහි ක්‍ෂයවන හෙයින් ඔවුන්ට ද නිවන් ලැබිය හැකි වන හෙයින් නිර්‍වාණය ඖදාරික ද වේ)

තවද, ගෝත්‍ර‍භු ක්‍ෂණයෙහි ක්ලේශක්‍ෂය නො වන බැවින් ද මාර්‍ගක්‍ෂණයෙහි ක්ලේශ ක්‍ෂය නොවූ බැවින් ද, නිර්‍වාණය ආලම්බනය නො වේය යන මේ ආදී දෝෂයන් ගේ පැමිණීම ද වේ.

පරවාදී:- යම් ක්‍ෂයයක පටන් නැවත ක්ලේශයන් ගේ නො පැවැත්ම වේ නම් එ පර්‍ය්‍යාවසානය වූ ක්ලේශක්‍ෂසය නිර්‍වාණය ය. (පළමු පළමු වන්නා වූ ක්‍ෂය ය නො වේ.)

සකවාදී:- ‘සියල්ල අවසාන වූ ක්‍ෂය ය නිර්‍වාණය වේ ය’යි කියා නම් එද නො යෙදේ. එසේ නියම කළ හැකි මාර්‍ගඵලයනට අරමුණු වන්නා වූ එබඳු නිර්‍වාණයක් නැති හෙයිනි.

(තවද පශ්චිම භාවයෙන්, තුන්වන ඇත්බැව්හි අරාගාදීන් ගේ ආදීනව දැක ධ්‍යාන භාවානවෙන් ක්ලේශ විෂ්කම්භනය කොට නො පිරිහුණු ධ්‍යානයෙන් බඹලොව ඉපිද එහි ආයු ඇතිතාක් සිට ඉන් සැව මෙහි ඉපිද කාමයෙහි වීතරාගීවැ පැවිදිවැ අර්‍හත්ත්‍වයට පැමිණි පිප්ඵලී මානවකයා ද ප්‍ර‍ථම වයසෙහි කාමයෙහි කළකිරී ධ්‍යානයෙන් ඒ ක්ලේශ විෂ්කම්භනය කොට පශ්චිම වයසෙහි අර්‍හත්ත්‍වයට පැමිණියේ ද, යන මොහු දෙදෙනම විෂ්කම්භනයෙහි පටන් නූපදනා හෙයින් පළමු ධ්‍යාන ලැබූ කලම කෙලෙස් නැසුවෝ වෙත්නම් (එසේ වන්නා) ආර්‍ය්‍ය මාර්‍ගයෙන් කවර ක්ලේශයක් ක්‍ෂය කරන්නාහු ද ඔවුන්ට ආර්‍ය්‍යමාර්‍ගය උපදනා කල ඉන් නැසීමට අභිනව කෙලෙස් උපදනාහුද නැත්මැයි. එසේ වුවද ඒ ක්ලේශ ක්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණය ද, පෙර කී සේ, ඉත්තර කාල ප්‍ර‍වෘත්ති ආදි දෝෂයෙන් නොමිදෙන හෙයින් ද, ආර්‍ය්‍යමාර්‍ගයම නිර්‍වාණය වන හෙයින් ද, එ සේ නො කිය යුතු)

ඒ එසේමැයි:- ආර්‍ය්‍ය මාර්‍ගය ක්ලේශයන් ක්‍ෂය කරයි. එහෙයින් එයම ක්‍ෂය යැයි කියනු ලැබේ. ආර්‍ය්‍ය මාර්‍ගයෙන් ක්ලේශයන් ක්‍ෂය කළ තැන් පටන් නැවත ක්ලේශයන්ගේ ප්‍ර‍වෘත්තිය නො වේ. යම් සේ නිරුද්ධ වූවෝ නැත්තාහුද, එසේ මැ අනුත්පන්නයෝ ද නැත්තාහුමය යි, අභාව සාමාන්‍යයෙන් නිරෝධ සද්‍යශ හෙයින් අනුත්පත්තියම නිරෝධය වූයේ අනුත්පාද නිරෝධය යැ. ඒ මාර්‍ගයෙන් ක්ලේශ ක්‍ෂය කිරීම ඉපදීමට සුදුසු ක්ලේශයන් ගේ නූපදනා ස්වභාවයට පැමිණවීමය. එහෙයින් මැ ක්‍ෂය යයි කියනු ලැබේ.

මෙසේ අනුත්පාද නිරෝධය කරන්නා වූ මාර්‍ගයට ආලම්බනය වූ නිර්‍වාණය මුඛ්‍යාර්‍ථ හෙයින් ඒ අනුත්පාදනිරෝධයට ඉඳුරා උපනිශ්‍ර‍ය නොවනුයෙන් ස්ථානෝපචාර හෙයින් ක්‍ෂය යයි කියනු ලැබේ.

අර්‍හත්මාර්‍ගය රාගාදිය ක්‍ෂය කෙරේ. නිර්‍වාණය එය නැවත නූපදනා සේ කෙරේ. එ දෙකටම ආලම්බනය නිර්‍වාණය ය. මෙසේ නිර්‍වාණය ක්ලේශ ක්‍ෂයට අනන්තරොපනිශ්‍ර‍ය වේ. එහෙයින් එයට උපචාර වශයෙන් ක්‍ෂය යයි කියනු ලැබේ.

(ආයුෂයට හේතු වූ ඝෘතයට ආයුෂයැ යි කියන්නා සේය. එලොපචාර හෙයිනි)

අර්‍හත්ත්‍වය ක්ලේශයන් ගේ ක්‍ෂයාන්තයෙහි උපදී. එබැවින් ක්‍ෂය නම් වී.

පරවාදී:- නිර්‍වාණය (ස්වරූපයෙන්) ඇත්තේ වී නම් කවර හෙයින් එසේ නො වදාළ සේක ද

සකවාදී:- ඉතා සියුම් හෙයිනි. ඒ බව් “ඉපදම්පි ඛො ඨානං දුද්දසං[5] “මේ ස්ථානය ද දැකීමට ඉතා දුෂ්කර ය” යනාදීන් ධර්‍ම ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන භාග්‍යවතුන් වහන්සේ ගේ සිතට ධර්‍ම දේශනාවෙහි නිරුත්සාහ බව් දැනවීමෙන් මැ ප්‍ර‍කට ය.

එසේම “තංහි තෙ මාගන්‍දිය අරියං චක්ඛුං නත්‍ථි යෙන ත්‍ටං අරියෙනි නෙය්‍යාසි නිබ්බාණං පස්සෙය්‍යාසි[6]

“මාගන්‍දියය! යම් ආර්‍ය්‍ය ඇසකින් තෝ නිවන් දක්නෙහි නම් එබඳු ආර්‍ය්‍ය ඇසක් තට නැත්තේ යැ”යි මෙසේ මාර්‍ග නැමැති ඇසින් දැක්ක යුතු නිර්‍වාණ නම් ස්වභාවයක් ඇති බව් වදාළහ. එහෙයින් නිර්‍වාණය ඇති බව ස්ථිර යැ.

තවද මේ නිර්‍වාණය මාර්‍ග ලාභී පුද්ගලයා විසින් මැ පැමිණිය යුතු හෙයින් අසාධාරණ යැ.

අසුවල් බුදුන් කල උපන්නේය යි මෙසේ පූර්‍ව කෙළවර නොදත හැකි හෙයින් අප්‍ර‍භව ය.

පරවාදී:- මාර්‍ගය ඇති කල්හි නිවන ඇතිවන හෙයින් ප්‍ර‍භවයයි නො කිය හැකි ද

සකවාදී:- නිර්වාණය මාර්‍ගයෙන් නො ඉපදිය යුතු වෙයි. හුදෙක් මාර්‍ගයෙන් පැමිණීම කටයුතු වේ. නිවනෙහි උත්පත්තියක් නැත් මැයි. එහෙයින් මැ අප්‍ර‍භව යැ. අප්‍ර‍භව හෙයින් ම ජරාමරණ නැත් මැයි. උත්පාද ජරා-මරණ නැතිහෙයින් මැ නිත්‍ය යැ.

පරවාදී:- ඒ නිර්වාණය මෙන් අණු-ප්‍ර‍කෘති-කාල පුරුෂාදිය ද නිත්‍යයැ යි නො කිය හැකි ද (මෙහි ශාස්වත භාවය නිත්‍යය යි ගැනේ)[7]

සකවාදී:- අසුවල් හේ තුවින් නිත්‍යයැ යි කිය හැකි හේතුවක් නැති හෙයින් ඒ අනු ආදිය නිත්‍යය යි කිව නොහේ.

පරවාදී:- නිර්‍වාණය නිත්‍ය හෙයින් අණු ආදිය ද නිත්‍යය යි නොකිය හැකි ද

සකවාදී:- නොකිය හැකි ය. හේතුලක්‍ෂණය නො යෙදෙන හෙයිනි.

විශේෂ:- ‘නිර්‍වාණය නිත්‍ය හෙයින් අණු ආදිය ද නිත්‍යයැ යි’ කිව පක්‍ෂධර්‍මත්‍වය නැති හෙයින් හේතු ලක්‍ෂණය නො යෙදේ. ‘අණු ආදීහු නිත්‍යයහ. උත්පාද-ස්ථිති-භඞ්ග-නැති හෙයිනි’ නිර්‍වාණය මෙනැයි. මෙසේ කියා නම් හෙද නැති අණු ආදිය අසිද්ධ හෙයිනි.

(‘අණු ආදීහු නිත්‍යයහ’ යනු ප්‍ර‍තිඥා යි.

‘උත්පාදාදිය නැති හෙයිනි’ යනු හේතු යි.

‘නිවණ මෙනි’ යනු දෘෂ්ටාන්තයි) මේ ප්‍ර‍තිඥාවෙහි ධර්මි අසිද්ධිය වේ. එහෙයින් හේතුව ආශ්‍රාය සිද්ධ යි.

අප්‍ර‍භවත්‍වාදීන් කියන ලද යුක්තීන් වනාහි නිවනම නිත්‍යය. අප්‍ර‍භවත්‍වය ද අප්‍ර‍ත්‍යය බැවිනි. එහෙයින් මැ පූර්‍වකෝටිය ගේ අභාවය වේ. (මෙසේ ‘නිර්වාණය ප්‍ර‍ත්‍යය රහිත ය. එහෙයින් මැ අප්‍ර‍භව ය. අප්‍ර‍භව හෙයින් මැ පූර්‍වකෝටි අභාවය වේය’ යනු නිශ්චිතයි.

තව ද නිර්‍වාණය රූපස්වභාවය නැති හෙයින් අරූප ය.

(විකරවීමය, අරමුණු හා ගැටීමය, කලාපවශයෙන් පැවැත්ම ය. සප්‍රදේශ බව ය, යනාදිය රූපස්වභාවය යි.)

නිර්‍වාණය එසේ කිසිවක ගැටීමක් හෝ අසුවල් දිශායෙහි වේ යයි දිශා නියමයක් හෝ නැතැයි දක්වයි.

ඒ එසේ මැයි:- ප්‍ර‍තිෂ්ඨා රහිත හෙයින් නිවන අසුවල් දිසාහි හෝ අසුවල් දේශයෙහි හෝ වේය යි නො දක්වයි.

යටත් පිරිසෙයින් කල්ප ලක්‍ෂයක් වත් දැඩි වීර්‍ය්‍ය කොට සම්‍යක් ප්‍ර‍ධන් වීර්‍ය්‍යයෙන් නිපදවන ලද (ලෝකෝත්තර ඥානයෙන් සාක්‍ෂාත් කළයුතු බැවින් ද, (නිර්‍වාණය ආර්‍ය්‍යයනය ප්‍ර‍ත්‍යක්‍ෂ සිද්ධ බව මින් දැක් වී.)

මතු සඳහන් පරිදි සර්‍වඥ වචනයෙන් ද, (මින් අනාර්‍ය්‍යයනට ආගම සිද්ධ-අනුමාන සිද්ධ බව දැක් වී)

මේ දෙකින්ම “අනුපලබහනීයතො” යී පෙරකී හේතුව අසිද්ධ බව ප්‍ර‍තීත කළහ.

මෙසේ පරමාර්‍ථ වශයෙන් නිර්‍වාණය ගේ විද්‍යමානත්‍වයට හේතු යුක්ති දක්වා නිගමනය කොට එයට සාධක වූ ආගම දක්වති.

“අත්‍ථි භික්ඛවේ අජාතං අභුතං අකතං අසඞ්ඛතං”[8] යි මහණෙනි, (1) අජාත, (2) අභුත (3) අකෘත (4) අසංස්කෘත නිර්‍වාණය ඇත්මැ යි’ වදාළහ. මේ සිවුපදය මැ නිර්‍වාණයට (පර්‍ය්‍යාය) නාමයි.

විස්තර:-

(1) වේදනාදිය මෙන් හේතු ප්‍ර‍ත්‍යය සඞ්ඛ්‍යාත කාරණයන් ගේ එක්වීමෙන් නො නිපන් හෙයින් අජාත යැ.

(2) ප්‍ර‍තශ රහිත වැ (ඉබේ) නො නිපන් හෙයින් අභුත යැ.

(3) මෙසේ (අජාත අභුත හෙයින්) යම් කාරණ්‍යකින් නො කළ හෙයින් අකෘත යැ.

(4) (රූපාදි සඞ්ඛත ධර්‍මයනට මෙන් ජාත-භූත-කෘත භාවය නැති හෙයින් මැ (නිර්‍වාණය) අසංස්කෘත යි.

ප්‍ර‍තිලෝම වශයෙන් හෝ ප්‍ර‍ත්‍යයන් එක්වැ කරන ලද්දේ සඞ්ඛත යැ. එසේ සඞ්ඛත නො වූයේ හෝ සඞ්ඛත ලක්‍ෂණ රහිත වූයේ අසඞ්ඛත යි.

මෙසේ නොයෙක් කාරණයෙන් නිපන් බව ප්‍ර‍තිෂේධ කළ කල “ප්‍ර‍කෘතිවාදීන් ගේ[9] ‘ප්‍ර‍කෘතිය සේ එකම කාරණයකින් කරන ලද්දේ දැයි’ ආශඞ්කායෙහිලා ‘කිසිවකුන් නො කරන ලදැයි’ දැක්වීම පිණිස ආකෘතයැයි ද, ප්‍ර‍ත්‍යය රහිත වුව ද, තෙමේ ම වූයේදෝ යි ආශඞ්කායෙහි ලා එය වළකනු පිණිස අභුතැයි ද, මෙහි ‘මේ අසඞ්ඛත - අභූත භාවය සර්වාප්‍ර‍කාරයෙන් අජාත ධර්‍ම ස්වභාවය නිසායැයි’ දැක්වීම සඳහා අජාතයැයි ද, වදාළහ.

(මේ පිළිබඳ ටීකාගත විස්තරය ද මෙහි ලා යථාර්ථාවබෝධයට ඉවහල් වන හෙයින් මෙතන්හි දැක්වේ)

මෙසේ බුදුහු පරමාර්ථ වශයෙන් නිර්‍වාණය ඇති බැව් ප්‍ර‍කාශ කෙරෙති. ‘හෙද මම ධර්‍මෙශ්වරවෙමි, ධර්මාධිපති වෙමියි, තමාගේ ආඥා මාත්‍රයෙන් නොදක්වති. හුදෙක් දසපරමයන් (මේ අත්බැව්හි නිර්‍වාණය අවබෝධ කළ නොහැක්කවුන්) කෙරෙහි ද අනුකම්පාවෙන් යුක්තීන් දක්වති.

ඒ මෙසේයි:- “නො චෙතං භික්ඛවෙ අභවිස්ස අජාතං අභුතං අකතං, අසඞ්ඛතං න ඉධ ජාතස්ස, භුතස්ස, කතස්ස, සඞ්ඛතස්ස නිස්සරණං පඤ්ඤායෙථ, යසමාච ඛො භික්ඛවෙ අත්‍ථි අජාතං, අභුතං, අකතං, අසඞ්ඛතං තස්මා ජාතස්ස, භුතස්ස, කතස්ස, සඞ්ඛතස්ස නිස්සරණං පඤ්ඤායති”[10]

‘මහණෙනි, (පෙර කී සේ) අජාතාදි ස්වභාව ඇති අසඞ්ඛත ධාතුව නැත්තේ වී නම් මේ ලෝකයෙහි ජාතාදි ස්වභාවය ඇති රූපාදි ස්කන්‍ධ පඤ්චක සඞ්ඛ්‍යාත සංස්කාරයාගේ නිස්සරණය නො පැනේ. (සම්භව නොවේ.)

නිර්‍වාණය ආලම්බන කොට පවත්නා සම්‍යක් දෘෂ්ටි ආදි ආර්‍ය්‍ය මාර්‍ග ධර්‍මයන් නිරවශේෂයෙන් ක්ලේශයන් සුමච්ඡේදය කරන හෙයින් මේ සියලු වෘත්ත දුඃඛයා ගේ (අපගමය) නිස්සරණය පැනේ. මෙසේ ව්‍යතිරෙක වශයෙන් නිර්‍වාණයා ගේ අස්තිත්‍වය දක්වා අන්‍වය වශයෙනුදු දක්වන සේක් “යස්මාච ඛො” යනාදිය වදාළහ. ‘අජතාදි ස්වභාවය වූ අසඞ්ඛත ලක්‍ෂණ නිර්‍වාණය ඇති හෙයින් මැ ජාතාදි ස්වභාවය වූ සඞ්ඛතයා ගේ නිස්සරණය පැනේ යැ’ කියා යි.

(i) එසේම අප්පච්චයා ධම්මා, අසඞ්ඛතා ධම්මා[11]

(ii) අත්‍ථි භික්ඛවෙ තදායතනං යත්‍ථ නෙව පඨවි[12]

(iii) ඉදම්පි ඛො ඨානං දුද්දසං යදිදං සබ්බ සඞ්ඛාරසමථො සබ්බූපධි පටිනිස්සග්ගො[13]

(iv) අසඞ්ඛතඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි අසඞ්ඛත ගාමිනිඤ්චපටිපදං[14] යනාදි අනේක සූත්‍රයෙන් ද පෙර කී සේ.

(v) “අත්‍ථි භික්ඛවෙ අජාතං” යනාදි සූත්‍රයෙන් ද, නිර්‍වාණ ධාතුහුගේ පරමාර්‍ථ වශයෙන් සත් (විද්‍යමාන) ත්‍වය සියලු ලෝකයාට අනුකම්පාකළ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් ප්‍ර‍කාශ කරන ලදී.

එහෙයින් ශාසනයෙහි පහන් සිත් ඇති නිවන් ප්‍ර‍ත්‍යක්‍ෂ නොකළාවූ ද, නුවණ ඇත්තවුන්ට සැක නූපදී.

එහෙත් (කරුනු පිරිසිඳින බුද්ධි ඇති) පරීක්‍ෂණ බුද්ධිමත් පුද්ගලයින්ගේ විමති විනෝදය පිණිස මෙහි අදහස් උදුරු දැක්වීමෙන් කළ යුක්ති විචාරණ්‍ය මෙසේයි.

පරිඤ්ඤෙය්‍ය බැවින් සඞ්ඛත පර්‍ය්‍යාපන්න වූ (ස-උත්තර) කාම-රූප ධර්‍මයන්ට ප්‍ර‍තිපක්‍ෂ වූ එයට විරුද්ධ (භාවය) වූ නිඃසරණය පැනෙන හෙයින් එබඳු වූ නිර්වාණ ධර්‍මයක් විය යුතුය. ඒ නිඃසරණය වූ අසඞ්ඛත ධාතුව ඇත්මැයි.

වැඩියක් කුමටයැ. සඞ්ඛත ධර්‍මයන් අරමුණු කොට පවත්නා විදර්‍ශනා ඥානය යි කියන ලද අනුලෝම ඥානය ක්ලේශයන් තදඞ්ග වශයෙන් ප්‍ර‍හාණය කෙරේ. සමුච්ඡේද වශයෙන් ප්‍ර‍හාණයට සමර්‍ථ නොවේ.

එසේම සම්මුති සත්‍යය ආලම්බන කොට ඇති ප්‍ර‍ථම ධ්‍යානාදීන්හි ඥානය විස්කම්භන වශයෙන්මැ ක්ලේශ ප්‍ර‍හාණය කෙරේ. සමුද්ඡේද වශයෙන් ප්‍ර‍හාණයට සමර්‍ථ නොවේ.

මෙසේ සඞ්ඛතධර්‍මාලම්බන වූ ද, සම්මුතිසත්‍යාලම්බනවූ ද, ඥානය ක්ලේශයන් සමුච්ඡේද වශයෙන් ප්‍ර‍හාණය කිරීමට අසමර්‍ථ හෙයින් ඔවුන් සමුච්ඡේද වශයෙන් ප්‍ර‍හාණය කරන ආලම්බනයක් විය යුතු ය. ඒ වූකලි අසඞ්ඛත ධාතුව මැයි. එහෙයින් “අත්‍ථිභික්ඛවෙ අජාතං, අභුතං, අකතං අසඞ්ඛතා” යනාදීන් නිර්වාණයා ගේ පරමාර්‍ථ වශයෙන් විද්‍යාමනත්වය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

සර්වඥයන් වහන්සේ යමක් වදාළ සේක් නම් ඒ අවිපරීතාර්‍ථ වචනයක්ම ය. ඒ වනාහි “සබ්බෙ සංඛාරා අනිච්චා, සබ්බෙ සංඛාරා දුක්ඛා සබ්බෙ ධම්මා අනත්තා”[15] යි සියලු සංස්කාර ඇතිව නැතිව හෙයින් අනිත්‍ය ය. උදය-ව්‍යය දෙක්හි පෙළන හෙයින් දුක් ය. වශයෙහි නො පවත්නා හෙයින් සියලු ධර්‍ම අනාත්මයැ යි මෙසේ අනිත්‍ය-දුඃඛ ලක්‍ෂණයට සංස්කරයන් ද, අනාත්ම ලක්‍ෂණයට (සඞ්ඛත පමණක් නොව) අසඞ්ඛත නම් වූ නිර්වාණය ද, ඇතුළත් වන හෙයින් ‘සබ්බෙ ධම්මා’ යි වදාළහ.

එසේම නිර්වාණ ශබ්දය යථාර්‍ථවත් වන හෙයින් පරමාර්‍ථ විෂයෙහි ද, සීහ ශබ්දය මෙන් උපචාර හෙයින් අමුඛ්‍යාර්‍ථයෙහි ද පවතී.

මෙසේ යුක්ති විචාරණයෙන් අසංඛත ධාතුහු ගේ පරමාර්‍ථ වශයෙන් අස්තිත්‍වය දතයුතු මේ ආදීන් හෙවත් ප්‍ර‍ත්‍යක්‍ෂ සිද්ධ අගාම සිද්ධ-අනුමාන සිද්ධ හෙයින් අසංඛත ධාතු සංඛ්‍යාත නිර්වාණයා ගේ පරමාර්‍ථ හෙයින් විද්‍යමානත්‍වය දතයුතු.

(තවද විස්තරාර්ථින් ටීකාව බලා දත යුතු)

මේ දුඃඛ නිරෝධ නිර්දේශ වර්ණනාවය ය.

  1. ස:වි: විභඞ්ග කථා 80

  2. ධ:ප: තණ්හාවග්ග 40

  3. සං:නි: ජම්බුඛාදක සංයුත්ත 709

  4. සං:නි: ජම්බුඛාදක සංයුත්ත 710

  5. ම:ව: අභිසම්බොධි කථා 4

  6. ම:නි: මජ්ඣිමපණ්ණාසක 137

  7. සාඞ්ඛ්‍යදර්‍ශන (කූටඪානිච්චතාහි ඉධ අධිපෙත්තා. ටීකා.)

  8. ඉතිවුත්තක දුතිය නිපාත 163

  9. කණාද

  10. ඉතිවුත්තකදුතියනිපාත 163

  11. ධ:ස: දුකමාතිකා 3

  12. උදානාපාටලිගාමිකවග්ග 129

  13. ම:ව: අභිසම්බොධිකථා

  14. සං:නි: අසඞ්ඛත සංයුත්තක 784

  15. පටි:ස:ම: මහාවග්ග 6 බුරුම