තමා හා එකවට උපදනා අන්‍ය ධර්මයන්ගේ ඉපදීමට, එක්වැ ඉපදීම් වශයෙන් උපකාරක ධර්ම සහජාත ප්‍රත්‍යය යැ. ආලෝකයට ප්‍රදීපය මෙනි. මේ උපමාවෙන් උත්පාදක්‍ෂණයෙහි ප්‍රකට වූ ප්‍රත්‍යය භාවයෙන් ස්ථිති ක්ෂණයෙහි ද ප්‍රත්‍යය භාවය වේ. නො එසේ වුව මේ උපමාව නො ගැළපේ. ප්‍රදීපය ආලෝකයා ගේ ඉපදීමට මෙන් ම පැවැත්මට ද උපකාර වන හෙයිනි. (ප්රත්යුත්පන්නයට සහජාත භාවයෙන් උපකාර වීමේ ශක්තිය සහජාත භාවය යි.) ඒ සහජාත ප්‍රත්‍යය අරූප ස්කන්‍ධාදීන් ගේ වශයෙන් සවැදෑරුම්.
ඒ මෙසේ යි:- (1) චත්තාරො ඛන්ධා අරූපිනො අඤ්ඤමඤ්ඤං සහාජාතපච්චයෙන පච්චයො. (2) චත්තාරො මහාභූතා -පෙ- (3) ඔක්කනතික්ඛණෙ නාම -රූපං අඤ්ඤමඤ්ඤං (5) මහාභූතා උපාදා රූපානං, (6) රූපිනො ධම්මා අරූපීනං ධම්මානං කිඤ්චි කාලේ සහජාත පච්චයෙන පච්චයො කිඤ්චී කාලෙ න සහජාත පච්චයෙන පච්චයො[1]
(1) වේදනාදි සතර අරූප ස්කන්ධ ඔවුනොවුන්ට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ.
(2) සතර මහාභූත ඔවුනොවුන් ද,
(3) (පඤ්චවොකාර භවයෙහි) ප්රතිසන්ධි ක්ෂණයෙහි සතර නාම ස්කන්ධ හා හෘදය වස්තු රූපය ඔවුනොවුන්ට ද,
(4) චිත්ත-චෛතසික ධර්ම චිත්තජ රූපයන්ට ද,
(5) සතර මහා භූත කර්මජ රූපයන්ට ද,
(6) හෘදය වස්තු රූපය අරූප ධර්මයන්ට ද, ප්රතිසන්ධි කාලයෙහි සහජාත ප්‍රත්‍යය වේ. ප්රවෘත්ති කාලයෙහි සහජාත ප්‍රත්‍යය නොවේ.
විශේෂ:- ප්රතිසන්ධි ක්ෂණයෙහි නාම රූප ධර්ම පරලොවින් මෙලොවට අවුත් මව්කුස ආදියට පිවිසෙන්නාක් මෙන් වන හෙයින් ප්රතිසන්ධි ක්ෂණය ඔක්කන්තික්ඛණයයි කියනු ලැබේ.
මේ රූපිනො ධම්මා යනු හෘදය වස්තු රූපය සඳහාම කියන ලදී. ප්රවෘත්ති කාලයෙහි අරූප විපාක සතර ද, ද්විපඤ්චවිඤ්ඤාණය ද, හැර සෙසු පන්සැත්තෑ (75) සිත් ද, දෙ පනස් (52) චෛතසික ද, යන මෙතෙක් ධර්ම ඒ සිත් හා උපදනා රූපයනට සහජාත ප්‍රත්‍ය වේ. ප්රතිසන්ධි ක්ෂණයෙහි චිත්තජ රූප නැති හෙයිනි.
පූර්වෝක්ත පට්ඨාන පාඨයෙහි “අඤ්ඤමඤ්ඤං” යනු තුනක් හා යෙදේ. තුනක් හා නො යෙදේ.
එහි විශේෂය නම්:- අරූපමය ම ප්‍රත්‍යය හා ප්‍රත්‍යය සමුත්පන්නා වේ. රූපය ප්‍රත්‍යය ද, ප්‍රත්‍යය සමූත්පන්න ද වේ. නාම-රූප ප්‍රත්‍යය සමුත්පන්න ද වේ. අරූපය ප්‍රත්‍යය සමුත්පන්නවේ. රූපය ම ප්‍රත්‍යය හා ප්‍රත්‍යය සමුත්පන්න වේ. රූපය ප්‍රත්‍යය වේ. අරූපය ප්‍රත්‍යය සමුත්පන්න වේ යනුයි.
-
ප:ප: පච්චය නිද්දෙස 4 ↑