17. පඤ්ඤාභූමි නිර්දේශය - පටිච්ච සමුප්පාදය

සත්‍යනිර්දේශයට අනතුරුවැ “ස්කන්‍ධ- ආයතන ධාතු-ඉන්‍ද්‍රිය - සත්‍ය-ප්‍ර‍තීත්‍යසමුත්පාදාදි භේදගත ධර්‍මයෝ භූමිය[1] යි” මෙසේ කියන ලද මේ විදර්‍ශනා ප්‍ර‍ඥාවට භූමි (පැවැත්මට ස්ථාන) වූ ධර්‍ම අතුරින් පටිච්චසමප්පාදය හා ආදි ශබ්දයෙන් කී පටිච්චසමුප්පන්න ධර්‍ම ද (වර්‍ණනා කිරීමට) අවශිෂ්ට විය එහෙයින් දැන් ඔවුන්ගේ වර්‍ණනා ක්‍ර‍මය පැමිණියේ ය.

විශේෂ: පිය-පුත් සම්බන්‍ධය සේ මේ පටිච්චසමුප්පාද-පටිච්චසමුප්පන්න සංඥාවෝ අන්‍යෝන්‍ය අපේක්‍ෂකයෝ යැ.

මේ අවිද්‍යාදී හේතු ධර්‍ම පටිච්චසමප්පාදයි දතයුතු. සමුත්පාදමාත්‍ර‍ය නො වේ.

එයින් වදාළහ:- “කතමොච භික්ඛවෙ පටිච්චසමුප්පාදො අවිජ්ජා පච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාම-රූපං, නාම-රූප පච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරා මරණං, සොකපරිදෙව දුක්ඛදොමනස්සුපායාසා සම්භවන්තී. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයො හොති. අයං වුච්චති භික්ඛවෙ පටිච්චසමුප්පාදොති.[2]

‘මහණෙනි! පටිච්චසමුප්පාදය කවරේද, මහණෙනි! අවිද්‍යා ප්‍ර‍ත්‍යයෙන් සඞ්ඛාර (සමුදය) වේ. සඞ්ඛාර ප්‍ර‍ත්‍යයෙන් විඤ්ඤාණ ද, විඤ්ඤාණ ප්‍ර‍ත්‍යයෙන් නාම රූප ද, නාම රූප ප්‍ර‍ත්‍යයෙන් සළායතන ද, සලායතන ප්‍ර‍ත්‍යයෙන් ඵස්ස ද, ඵස්ස ප්‍ර‍ත්‍යයෙන් වේදනාව ද, වේදනා ප්‍ර‍ත්‍යයෙන් තණ්හාව ද, තණ්හා ප්‍ර‍ත්‍යයෙන් උපාදානය ද, උපාදාන ප්‍ර‍ත්‍යයෙන් භවය ද, භව ප්‍ර‍ත්‍යයෙන් ජාතිය ද, ජාති ප්‍ර‍ත්‍යයෙන් ජරා - මරණ - සෝක පරිදේව - දුක්ඛ - දොමනස්ස - උපායාස ද සම්භව වේ. මෙසේ මේ හුදු දුඃඛස්කන්‍ධයා ගේ උත්පත්තිය වේ. මහණෙනි! ‘මේ පටිච්චසමුප්පාදයැ’ යි කියනු ලැබේ.

ජරා මරණාදි ඵල ධර්‍ම පටිච්චසමුප්පන්නය යි දතයුතු.

එයින් වදාළහ:- “කතමෙ ච භික්ඛවෙ පටිච්චසමුප්පන්නා ධම්මා, ජරාමරණං භික්ඛවෙ අනිච්චං සංඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධ ධම්මං, ජාති භික්ඛවෙ -පෙ- -භවො - උපාදානං - තණ්හා - වෙදනා - ඵස්සො - සළායතනං - නාමූපං - විඤ්ඤාණං - සඞ්ඛාරා - අවිජ්ජා භික්ඛවෙ අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ පටිච්චසමුප්පන්නා ධම්මාති”[3]

‘මහණෙනි! පටිච්චසමුප්පන්න ධර්‍ම කවරේ ද ‘මහණෙනි! පරා - මරණ (ශාස්වත නොවන හෙයින්) අනිත්‍යයැ. (ප්‍ර‍ත්‍යයෙන් එක්ව හටගත් හෙයින්) සඞ්ඛත යැ. (ප්‍ර‍ත්‍යයන්ට සුදුසු ප්‍ර‍ත්‍යයන් නිසාම එක්ව ම උපන් හෙයින්) පටිච්චසමුප්පන්න යැ. ක්‍ෂය වන ස්වභාව ඇත්තේ යැ. ව්‍යය වන ස්වභංව ඇත්තේ යැ, විරිගවන ස්වභාව ඇත්තේ යැ, නිරුද්ධවන ස්වභාව ඇත්තේ යි. (විස්තර මතු පළවේ) මහණෙනි! ජාතිය, භවය, උපාදානය, තණ්හාය, වෙදනා, ඵස්සය, සළායතනය, නාම-රූපය, විඤ්ඤාණය, සඞ්ඛාරය, අවිජ්ජාය යන මොහු අනිත්‍යයහ, සඞ්ඛතයහ. පටිච්චසමුප්පන්නයහ, ඛයධම්මයහ, වයධම්මයහ, විරාගධර්මයහ, නිරොධ ධම්මයහ, මහණෙනි! මොහු පටිච්චසමුප්පන්නධර්‍ම යි කියනු ලැබේ.

විශේෂ:- පටිච්චසමුප්පාද ධර්‍ම අනුලෝම් වශයෙන් ද, පටිච්චසමුප්පන්න ධර්‍ම ප්‍ර‍තිලොම වශයෙන් ද, දක්වන ලද්දේ ඒ පටිච්චසමුප්පන්න ධර්‍ම නිපදනා පටිච්චසමුප්පාද ධර්‍මයනට අනතුරු කොට දැක්වීම සඳහා ය. (මේ සූත්‍ර‍පදයන් ගේ සංක්‍ෂේප අර්‍ථයයි.)

මෙසේ ප්‍ර‍ත්‍යය ධර්‍ම පටිච්චසමුප්පාදයයි ද, ඒ ඒ ප්‍ර‍ත්‍යයෙන් නිපන් (පත්‍රයොත්පන්න) ධර්‍ම පටිච්චසමුප්පන්නයයි ද, දත යුතු. මෙය කෙසේ දතහැකි ද භාග්‍යවතුන් වහන්සේ ගේ වචනයෙනි.

බුදුහු පටිච්චසමුප්පාද-පටිච්චසමුප්පන්න දේශනා සූත්‍රයෙහි ප්‍ර‍ත්‍යය ධම්ම පටිච්චසමුප්පාදය යි වදාළහ. “කතමො ච භික්ඛවෙ පටිච්චසමුප්පාදො ජාති පච්චයා භික්ඛවෙ ජරා මරණං, උප්පාදාව තථාගතානං අනුප්පාදාව තථාගතානං ඨිතාව සාධාතු ධම්මට්ඨිත්තා ධම්මනියාමතා ඉදප්පචචයතා. තං තථාගතෙ අභිසම්බුජ්ඣති, අභිසමෙති. අභිසම්බුජ්ඣිත්‍ව අභිසම්මෙත්‍වා ආචික්ඛති, දෙසෙති, පච්චපෙති, පට්ඨපෙති, විවරති, විභජති, උත්තාතී කරොති, පස්සථාති චාහ. ජාති පච්චයා භික්ඛවෙ ජරාමරණං, භව පච්චයා භික්ඛවෙ ජාති - පෙ අවිජ්ජා පච්චයා භික්ඛවෙ සඞ්ඛාර, ඉති ඛො භික්ඛවෙ යා තත්‍ර‍ තථතා - අවිතථතා - අනඤ්ඤථතා- ඉදප්පච්චයතා. අයං වුච්චති භික්ඛවෙ පටිච්චසමුප්පාදොති”[4]

‘මහණෙනි! පටිච්චසමුප්පාදය කවරේ ද, මහණෙනි! ජාතිප්‍ර‍ත්‍යයෙන් ජරා මරණ වේ ය’ යන යම් ස්වභාවයෙක් වේ නම් ඒ ප්‍ර‍ත්‍යය ස්වභාවයා ගේ එසේ ම වන බව ද, ‘ජාති ප්‍ර‍ත්‍යයෙන් ජරා මරණ නො වන්නේ නො වේ’ යන ප්‍ර‍ත්‍යයෝත්පන්න ධර්‍මයන්ට ප්‍ර‍ත්‍යය ධර්‍මයන් ගේ හේතු ස්වභාවයක් වේ නම් ඒ ස්වභාවය තථාගතවරයන් ගේ උත්පාදයෙහි ද, අනුත්පාදයෙහි ද සිටීම ය. (පවතීම ය.)

ඒ ස්වභාවය තථාගතවරයෝ යථා ස්වභාවයෙන් නුවණින් අවබෝධ කෙරෙති. ඉදිරිපත් කෙරෙති. අවබෝධ කොට, ඉදිරිපත් කොට, උද්දේසායෙන් සඵුට කොට වදාරති. එය ම අවසන් කොට දේශනා කෙරෙති. නිර්‍දෙශයෙන් ඒ අර්‍ථය ම නොයෙක් ආකාරයෙන් හඟවති. එයම ප්‍ර‍තිනිර්‍දෙශ වශයෙන් විවරණය කෙරෙති. (බෙදා දක්වති.) එය ම හේතු - උදාහරණ දැක්වීමෙන් ප්‍ර‍කට කෙරෙති. ‘ප්‍ර‍ත්‍යක්‍ෂ කොල බලවූ’ය යි නිගමනය කෙරෙත්. ‘ජාති ප්‍ර‍ත්‍යයෙන් ජරා මරණ වේ’ ‘භව ප්‍ර‍ත්‍යයෙන් ජාතිය වේ’. -පෙ- අවිද්‍යා ප්‍ර‍ත්‍යයෙන් සංස්කාර වේ.

මහණෙනි! මෙසේ ‘ජාති ප්‍ර‍ත්‍යයෙන් ජරා මරණ වෙයි’ යන මෙහි යම් සත්‍ය ස්වභාවයක් වේ ද, යම් නොසිස් බවක් වේ ද, යම් අනන්‍ය ස්වභාවයක් වේද, යම් ප්‍ර‍ත්‍යය සමුත්පන්න භාවයෙක් වේ ද මේ ප්‍ර‍තීත්‍ය සමුත්පාදයැ යි කියනු ලැබේ.

විස්තර:- ධීතාව සා ධාතු, ‘ජාතිය ජරා-මරණයට ප්‍ර‍ත්‍යය වේය’ යන මේ ස්වභාවය තථාගතවරයන් ගේ ඉපදීමට පූර්‍වයෙහි ද, මතුයෙහි ද අප්‍ර‍කට ව පැවැතී උපදනා කාලයෙහි ප්‍ර‍කට කෙරෙති. තථාගතවරයෝ නූපදවති. වැලි ‘ස්වභාවික වූම ජරා-මරණ හැමකල්හිම ජාතප්‍ර‍ත්‍යයෙන් වේය’ යනු ස්වභාවික සිද්ධමැයි. හුදෙක් ස්වයම්භූඥානයෙන් අවබෝධ කරන හෙයින් (මේ ධර්‍මය තථාගතවරයන් විසින් අධිගත යයි ප්‍ර‍කාශ කරන හෙයින්) තථාගතවරයෝ ධර්‍මස්වාමීහු යැ යි යෙති. (පෙර නො වූවක් උපදවන හෙයින් නො වේ.)

ධම්මට්ඨිතතා:- ‘ජාතිප්‍ර‍ත්‍යයෙන් ජරා-මරණ වෙයි. යන මේ ස්වභාවයාගේ විපල්ලාස නැති හෙයින් මෙසේ අවබෝධ කරන ඒ ස්වභාවය හෝ හේතුව එසේ ම වන හෙයින් ධම්මට්ඨිතතා නම් වේ. තවද ජාතිය ජරා-මරණයන් ගේ උථ්පාදය, ස්ථිතිය ප්‍ර‍වෘත්තිය, නිමිත්තය, ආයුහනය, සංයෝගය, පළිබෝධය, සමුදයය, හේතුවය, ප්‍ර‍ත්‍යය ස්ථිතිය යි මෙසේ ඒ උත්පාදාදි ස්වභාවයෙන් පැවැත්ම හෝ ධම්මට්ඨිතතා යැ යි ඵලයෙහි හේතුපචාරයෙන් කීය.

තවද අර්‍ථයෙකි; ප්‍ර‍ත්‍යයන් විසින් ධරානු යි ධර්‍ම නම්. එයට අයත් පැවතුම් වසයෙන් ඵලය පිහිටානුයි ‘ඨිති’ නම්. ධර්‍ම සඞ්ඛ්‍යාත හේතුහු ගේ පැවැත්ම ධම්මඨිති නම්. නොහොත් ‘ධම්ම’ නම් කාරණ (ප්‍ර‍ත්‍ය) ය. ඒ ප්‍ර‍ත්‍යයා ගේ පැවැත්ම ඉන් අන්‍ය ස්වභාවයක් නො වීම ධම්මඨිතිය ය, ප්‍ර‍ත්‍යයයි.

එයින් වදාළහ:- ‘පච්චය පරිග්ගහො පඤ්ඤා ධම්මඨිති ඤාණං’[5] යි ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හ කිරීමේ ප්‍ර‍ඥාව ධම්මඨිති ඤාණය’ යි ඒ ධම්මට්ඨිතිය ම ධම්මට්ඨිතතා යි.

ධම්මනියාමතා; ‘ජාතිප්‍ර‍ත්‍යයෙන් ජරා-මරණ වෙයි.’ යන මේ ස්වභාවයා ගේ හෝ හේතුහුගේ අන්‍යාථාත්‍වයක් නැති හෙයින් ‘ජාතිය නැතිව ජරා - මරණ නොවේ’ ය යි මෙසේ දක්නා ලැබෙන ‘ප්‍ර‍ත්‍යයා ගේ අභාවයෙහි ඵලයා ගේ අභාවය වේ’ යන නියාමතාව (නියතාභාවය) ධම්මනියාමතා ය.

ඵලයා ගේ හේතුව ඇතිකල්හි වීම ධම්මඨිත්තා ය. (ජාතිය ඇතිකල්හි ජරා - මරණ වේ.)

හේතුහු ගේ අභාවයෙහි ඵලයාගේ නො පැවැත්ම ධම්මනියාමතා යි. (මෙසේ ඵලයෙන් හේතුව ප්‍ර‍කාශ කෙරේ.)

(මේ සන්න-ටීකාවන්හි ආ විස්තරයේ පිණ්ඩාර්ථ යි. මෙසේ “ඨිතාවසාධාතු” යනාදීන් වදාරණ ලද ඉදප්පච්චයතාව තථාගතවරයෝ යථා ස්වභාවයෙන් ප්‍ර‍ත්‍යක්‍ෂ කිරීම් වශයෙන් අවබෝධ කෙරෙති.

මෙසේ පටිච්චසමුප්පාදය දේශනා කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ තථතාදී ර්‍ප්‍යාය වචනයෙන් ප්‍ර‍ත්‍යය ධර්‍මයම පටිච්චසමුප්පාදය යි වදාළ සේක.

එහෙයින් පටිච්චසමුප්පාදය (ප්‍ර‍ත්‍යය) වූ ජාතිය පටිච්චසමුප්පන්න (ඵලය) වූ ජරා මරණයනට ප්‍ර‍ත්‍යවීම ලක්‍ෂණ කොට ඇත්තේ ය. නොහොත් ප්‍ර‍ත්‍යය යැ ලක්‍ෂිතව්‍ය වූයේ හෝයි.

ප්‍ර‍වෘත්ති දුක්ඛයට අනුවැ පැවැත්ම එහි කෘත්‍යය යැ. නිර්‍වාණගාමී මාර්‍ගයට විරුද්‍ධ වැ පැවැත්ම වැටහෙන ආකාරය යි.

තථතා, මේ පටිච්චසමුප්පාදය ඌනධික නොවූ සුදුසු ප්‍ර‍ත්‍ය ධර්‍මයන් ඇතිකල්හි ම ඵලධර්‍මයන් ගේ හට ගැනීම වන හෙයින් තථතා නම.

නිදර්‍ශන:- චක්‍ෂුඃප්‍ර‍සාද - රූපාලම්බන - ආලෝක - මනස්කාර (පඤ්චද්වාරාවජ්ජන) යන් නිස චක්ඛුවිඤ්ඤාණය උපදනාක් මෙනි.

අවිතථනා, (සුදුසු ප්‍ර‍ත්‍යයය ධර්‍මයන් ඒකීභාවයට පැමිණි කල්හි මොහොතකදු) ඒ ප්‍ර‍ත්‍යය සමවායෙන් ඉපදීමට යෝග්‍ය ප්‍ර‍ත්‍යයොත්පන්නධර්‍මයන් නො ඉපද නො සිටිනා බව අවිතථතා නම.

අනඤ්ඤථතා, (චක්ඛු- රූප -ආලෝක - මනස්කාරයන් ගේ සමවායෙහි සෝතවිඤ්ඤාණ නො උපදනා සේ) අන්‍යඵලධර්‍මයන් ඉපදීමට යෝග්‍ය ප්‍ර‍ත්‍යධර්මයන් ගේ සමවායෙහි අන්‍යඵලධර්‍මයක ගෙ නූපදනා ස්වභාවය අනඤ්ඤථතා නම.

යථොක්ත ජරා - මරණාදී ධර්‍මයන්ට ප්‍ර‍ත්‍යය බව හෝ ප්‍ර‍ත්‍යය සමූහ බව හෝ ඉදප්පච්චයතායැ යි කියන ලදී. ඒ මේ පටිච්චසමුප්පාදය යැ.

ඉදප්පච්චයතා, යන්නෙහි වචනාර්‍ථ මෙසේ යි:- මේ ජරා මරණාදීන් ගේ ප්‍ර‍ත්‍යයෝ ඉදප්පච්චයෝ යි, ජාත්‍යාදීයයි ඉදප්පච්චයම ඉදප්පච්චයතා යැ. ඉදප්පච්චයන් ගේ සමූහය හෝ ඉදප්පච්චයතා යි.

මේ ඉදප්පච්චය ශබ්දය ජාත්‍යාදීන්හි නිරූඪ යැ. හෙත්‍වර්‍ථ හෙයිනි.

“ඉමෙසං පච්චයා ඉදප්පච්චයා ඉදප්පච්චයා එව ඉදප්පච්චයතා” “ඉදප්පච්චයානං සමුහො වා ඉදප්පච්චයතා” මේ ප්‍ර‍ථම අර්‍ථ විකල්පයෙහි ස්වර්‍ථයෙහි ද, ද්විතීය අර්‍ථ විකල්පයෙහි සමූහාර්‍තයෙහි ද තා ප්‍ර‍ත්‍යය වී.

මෙසේ පටිච්චසමුප්පාදය පිළිබඳව ස්වමතය දක්වා අනතුරු වැ මතාන්තර දක්වති ආචාර්‍ය්‍යපාදයෝ.

තීර්‍ථකයන් විසින් පරිකල්පිත[6] ප්‍ර‍කෘති-පුරුෂාදී කාරණ නිරපේක්‍ෂ වූ නිත්‍යාකාරණයෙන් ඵලයා ගේ උත්පාදය විපරිත හෙයින්, ඒ ඒ කාරණයන් නිසා අවිපරීතකොට “අනිත්‍යයා කෙරෙන් අනිත්‍යායා ගේ උත්පාදය පටිච්චසමුප්පාදය යි” මෙසේ උත්පාදමාත්‍ර‍ය පටිච්චසමුප්පාදයයි[7] ඇතැම් ආචාර්‍ය්‍ය කෙනෙක් කියති. ඒ නොයෙදේ.

කවර හෙයිනයත්:-

(1) උත්පාදමාත්‍ර‍ය පටිච්චසමුප්පාදය යි වදාළ දේශනාවක් නැති හෙයින් ද

(2) සූත්‍ර‍ විරෝධ හෙයින් ද

(3) ගම්භීර නය සම්භව නොවන හෙයින් ද

(4) ශබ්ද භේද හෙයින් ද වේ.

(2) “පටිච්චසමුප්පාදං වො භික්ඛවො දෙසිස්සාමි[8] ‘මහණෙනි! තොපට පටිච්චසමුප්පාදය දේශනා කරමි’ යනාදී සූත්‍ර‍යන්හි උත්පාද මාත්‍ර‍ය පටිච්චසමුප්පාදයැ යි ප්‍ර‍කාශ නො වේ.

“අථ ඛො භගවා රත්තියා පඨමං යාමං පටිච්චසමුප්පාදං අනුලොම පටිලොමං මනසාකාසී”[9] එකල බුදුහු රාත්‍රි ප්‍ර‍ථම යාමයෙහි පටිච්චසමුප්පාදය අනුලෝම-ප්‍ර‍තිලෝම සේ මෙනෙහි කළහ.’ ප්‍ර‍ථම බෝධියෙහි ප්‍ර‍ත්‍යයාකාරයා ගේ ප්‍ර‍ත්‍යය බව මෙනෙහි කිරීමෙන් යුතුවැ විසූහයි, වදාළ හෙයින් උත්පාද මාත්‍ර‍ය නො වැ ප්‍ර‍ත්‍යය ධර්‍මයන් ගේ ප්‍ර‍ත්‍යය ශක්තිය වූ උපකාරක භාවය මෙනෙහි කිරීම එක් ප්‍රදේශ විහරණයක් යැයි වදාළ සූත්‍ර‍ය හා විරෝධ වේ.

ඒ බව “යෙන ස්වාංහං භික්ඛවෙ විහාරෙණ පඨමාභිසම්බුද්ධො විහරාමි තස්ස පදෙසෙන විහාසිං”[10] මහණෙනි! ඒ මම යම් විහරණයකින් යුක්ත වැ විසීම් නම් ඉන් එක් ප්‍රදේශයක් ප්‍ර‍ත්‍යාකාරය මෙනෙහි කිරීමෙන් යුතුවැ, විසීම්, උත්පාද මාත්‍ර‍ය බැලීමෙන් යුතුවැ නො වේ යැයි වදාළ හෙයිනුදු,

තවද “සො එවං පජානාමි. මිච්ඡාදිට්ඨි පච්චයා පි වෙදයිතං, සම්මාදිට්ඨිපච්චයාපි වෙදයිතං, මිච්ඡා සංකප්ප පච්චයා පි වෙදයිතං”[11] මිථ්‍යාදෘෂ්ටි ප්‍ර‍ත්‍යයෙනුදු වේදනාව වේ. සෙස්සෙහි ද අර්‍ථ මෙසේ යි.

‘මිථ්‍යාදෘෂ්ටිසම්ප්‍ර‍යුක්ත වේදනා ද, මිථ්‍යාදෘෂ්ටි උපනිශ්‍රයෙන් උපදනා කුශලාකුශල වේදනා ද, මිථ්‍යාදෘෂ්ටි කර්‍මයෙන් උපදනා විපාක වේදනා ද, මිථ්‍යාදෘෂ්ටි ප්‍ර‍ත්‍යයෙන් උපදනේ නම්. සම්‍යක් දෘෂ්ටිය ද මෙසේමැ යි.

මෙසේ ‘වේදනාවට මිථ්‍යාදෘෂ්ටිය එක් ප්‍ර‍ත්‍යයෙක සම්‍යක්දෘෂ්ටිය ද එක් ප්‍ර‍ත්‍යයෙකැ යි වේදනාවට ප්‍ර‍ත්‍යය සන්මර්‍ශනය කෙරෙමින් සිටියෙමි’ යි වදාළ හෙයින් උත්පාදනමාත්‍ර‍ය පටිච්චසමුප්පාදය යි කියන්නේ ප්‍රදේශ විහාර සූත්‍ර‍ විරෝධ වේ. වේදනාවට ප්‍ර‍ත්‍යය ධර්‍ම මනස්කාර විභාවනය කී හෙයිනි. මින් වේදනාද ප්‍ර‍ත්‍යයොත්පන්න බව් ප්‍ර‍කාශිත යැ. වේදනාව ද පටිච්චසමුප්පාදයෙහි එක දේශයක් හෙයින් එද ප්‍රදේශ විහාරයෙකි.

විශේෂ:- අනන්තනය සමන්තපට්ඨානය මෙනෙහි කිරීම ප්‍ර‍ථමාභිසම්බුද්ධ විහරණය යැ. එය සර්‍වප්‍ර‍කාරයෙන් ප්‍ර‍ත්‍යයාකාරය බැලීමයැ යි ඇතමෙක් කියති.

එසේම කච්චායන සූත්‍ර‍ විරෝධ වේ. “ලොකසමුදයං ඛො කච්චාන යථාභුතං සම්මප්පඤ්ඤාය පස්සතො යා ලොකෙ වත්‍ථිතා සා නහොති” ‘කච්චායන! ලෝකසමුදය (පඤ්චස්කන්‍ධය උපදවන අවිද්‍යාදි ප්‍ර‍ත්‍යය සමූහය) තත්වූ පරිදි විදර්‍ශනාඥානයෙන් දක්නහුට ලෝකයෙහි යම් (උච්ඡෙදදෘෂ්ටියෙන්) අභාවයෙක් වේ නම්, ඒ නාස්තිත්‍වය නො වේ’ යැයි මෙසේ අනුලෝම පටිච්චසමුප්පාදය පඤ්චස්කන්‍ධයට ප්‍ර‍ත්‍යය වන බව් උච්ඡේදදෘෂ්ටිය සිඳීම සඳහා වදාළ හෙයින් උත්පාද මාත්‍ර‍ය පටිච්චසමුප්පාදය නොවේ. උත්පාද මාත්‍ර‍ය දැකීමෙන් උච්ඡේදදෘෂ්ටිය සමුද්ඝාතනය නොවේ. ප්‍ර‍ත්‍යයන් ගේ අවිච්ඡේද ප්‍ර‍වෘත්තිය දැකීමෙන් උච්ඡේදදෘෂ්ටිය සිඳේ.

විශේෂ:- අතීත හේතු පඤ්චකය නිසා වර්‍තමාන ඵල පඤ්චකය ද, වර්‍තමාන හේතු පඤ්චකය නිසා අනාගත ඵල පඤ්චකය ද, වේ’ යැයි මෙසේ හේතූන් ගේ නො සිඳ පැවැත්මෙන් ඵලයන් නො සිඳ පැවැත්ම වන හෙයින් උත්පාද මාත්‍ර‍ය පටිච්චසමුප්පාදය යි කීම කච්චායන සූත්‍ර‍ විරෝධ යි.

(3) ගම්භිරරොචායං ආනන්‍ද පටිච්චසමුප්පාදො ගම්භීරාවභාසොච” ‘ආනන්‍දය! පටිච්චසමුප්පාදය ගැඹුරු ය. ගැඹුරු වැ වැටහේ” යැයි වදාළ හෙයින් ගැඹුරු බව උත්පාද මාත්‍රයෙහි නැති.

(ගැඹුරු බව සිව්වැදෑරුම් වේ. එය පසුව විස්තර වේ.)

මේ පටිච්චසමුප්පාදය චතුර්විධ නය ප්‍ර‍තිමණ්ඩිතයැ යි වර්‍ණනිත යැ. එද උත්පාද මාත්‍රයෙහි නැති. මෙසේ ගම්භීර නය නො ලැබෙන හෙයින් උත්පාදමාත්‍ර‍ය පටිච්චසමුප්පාද නොවේ.

(4) ශබ්ද භේද හෙයිනි. යන මෙහි ‘පටිච්ච’ ශබ්දය පූර්‍වක්‍රියා වශයෙන් ගෙන ඒක කර්‍තෘකවැ යෙදූ කළ වාක්‍යායාර්‍ථය භගවා (පූර්‍වකාලාර්ථ “පති පුබ්බ ඉ ගතියං” යන ධාතුවෙන් “ත්‍වා” ප්‍ර‍ත්‍යය වැ සිද්ධයි.) “සමුප්පාදො” යන අර්‍ථක්‍රියා කර්‍තෘමැ එයට ද කර්‍තෘ වේ නම් වාක්‍යාර්‍ථවබෝධය වෙයි.

“චක්ඛුඤ්ච පටිච්චරූපෙච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං”[12] යි. චක්ඛුප්පසාද-රූපාලම්බන නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. මෙහි ‘පටිච්ච-උප්පජ්ජති’ යන ක්‍රියා දෙකටම චක්ඛුවිඤ්ඤාණං යනු උක්තය වන හෙයින් දොසි. මේ පටිච්චයසමුප්පාදයෙහි වනාහි භාවසාධක වූ උප්පාද ශබ්දය හෝ යොදුනු ලබන පටිච්ච ශබ්දය සමාන කර්‍තෘවක්හු නැති හෙයින් ශබ්දභේදය වේ. එහෙයින් ද උප්පාදමාත්‍ර‍ය පටිච්චසමුප්පාද නොවේ.

තවද නාම පදයක් වුව ඒ හා ‘අත්‍ථි’ ‘හොති’ යනාදී ක්‍රියාපදයක් යෙදී අර්‍ථය ප්‍ර‍කාශ වන හෙයින් ‘පටිච්චසමුප්පාදො’ යන්න හා ‘හොති’ යන ක්‍රියා පදය යොදා පටිච්චයසමුප්පාදය වේ යැයි කියම්හ. මෙබඳු චොද්‍යයෙක් වේ නම් හෙද නො යෙදේ. කවරහෙයින් ද, එබඳු යෝගයක් නැති හෙයින් ද, උත්පාදයාගේ ද උත්පාදය වේ යන දෝෂය පැමිනෙන හෙයිනි.

ප්‍ර‍තිඥා, පෘච්ඡා, නිගමන වශයෙන් කියනලද එක පදයක් සමඟ ද ‘හොති’ යනු නො යෙදේ. එබඳු සම්බන්‍ධයෙක් නොකී හෙයිනි.

ඒ මෙසේයි:- “පටිච්චසමුප්පාදං වො භික්ඛවෙ දෙසිස්සාමි කතමො ච භික්ඛවෙ පටිච්චසමුප්පාදො”[13] යනු පෘච්ඡායි.

“අයං වුච්චති භික්ඛවො පටිච්චසමුප්පාදො”2 යනු නිගමනයයි. මේ එක ද සූත්‍ර‍යක් හා “හොති” යනු නො යෙදේ. එසේ යෙදේ නම් ‘උත්පාදයා ගේ ද (නැවත) උත්පාදය වේ’ යන දෝෂය පැමිණේ.

තවද මතයෙකි:- “ඉමෙසං පච්චයා ඉදප්පච්චයා” යී ‘මේ සංස්කාරාදීන්ට ප්‍ර‍ත්‍ය වූ අවිද්‍යාදිය ‘ඉදප්පච්චය’ නමි. ඒ ඉදප්පච්ච යන්ගේ භාවය ඉදප්පච්චයතා නම. මෙසේ තා ප්‍ර‍ත්‍යය භාවාර්‍ථයෙහි වේ. ‘යම් ආකාරයකින් අවිද්‍යාදීය සංස්කාරාදීන් ගේ පහළවීමට හේතුවේ නම් එ අවිද්‍යාදීන්ගේ ප්‍ර‍ත්‍යය ආකාර විශේෂයෙහි පටිච්චසමුප්පාද යන නාමය වේ’ යයි කියා යි. එද නොයෙදේ. අවිද්‍යාදීන් ගේ හේතුභාවය කී හෙයිනි.

ඒ මෙසේයි:- “තස්මාතිහ ආනන්‍ද! එසොව හෙතු එතං නිදානං එස්සමුදයො ඵසපච්චයො ජරාමරණස්ස යදිසං ජාති -පෙ- සංඛරානං යදිදං අවිජ්ජා” ති[14] ‘ආනන්‍දය! එහෙයින් මේ ජරාමරණයට මේ ජාතිය ම හේතු යැ’ මෙය ම සමුදය යැ, මෙය ම ප්‍ර‍ත්‍යය යැ- සංස්කාරයනට යම් අවිද්‍යාවක් වේ නම් එයම හේතුයැ’යි මෙසේ බුදුනු දු ප්‍ර‍ත්‍යයම හේතු බව වදාළ හෙයින් ඔවුන් ගේ විකාරය ප්‍ර‍ත්‍යය යි නො යෙදේ.

කරුණු මෙසේ හෙයින් “පටිච්චසමුප්පාද” නම් ප්‍ර‍ත්‍යය ධර්‍මය යි කී වචනය මනාව කියනලදැයි දතුයුතු.

මෙහි “පටිච්චසමුප්පාදො” යන පදයට ව්‍යඤ්ජන ඡායාව බලා ‘උත්පාද මාත්‍ර‍යම පටිච්චසමුප්පාදය’යි කියානම් මේ මතු කියන අර්‍ථය ගෙන ඒ සංසිඳවිය යුතුය.

බුදුහු වනාහි:-

(1) “ද්වෙධා තතො පවත්තෙ - ධම්මසමූහෙ යතො ඉදං වචනං

තප්පච්චයො තතො යං - ඵලොපචාරෙන ඉති වුත්තො”

අන්‍වය:- (යතො තතො පවත්තෙ ධම්මසමසූහෙ (පටිච්ච සමූප්පාදොති) ඉදං වචනං ද්වේධා (ඉච්ඡන්ති) තතො අයං තප්පච්චයො ඵලොපවාරෙන (පටිච්චසමුප්පාදො) ඉතිවුත්තො.

‘යම්හෙයකින් තමා පිළිබඳ ප්‍ර‍ත්‍යයන් ගේ වශයෙන් පැවැති ප්‍ර‍ත්‍යයොත්පන්නධර්‍ම සමූහයෙහි ලා “පටිච්චසමුප්පාද” යන මේ පදය දෙපරිද්දෙකින් කැමති වෙද්ද එහෙයින් ඵලෝපචාරයෙන් ඒ හෙතු ධර්‍ම සමූහය ඵලොපචාරයෙන් පටිච්චසමුප්පාදයැ යි වදාළහ.

තමා පිළිබඳ ප්‍ර‍ත්‍යය සමූහයෙන් නිපදනා ප්‍ර‍ත්‍යය සමූත්පන්න ධර්‍ම සමූහයට පටිච්චසමුප්පාද යන වචනය දෙපරිද්දෙකින් කැමති වෙති.

ඒ මෙසේයි:- 1. ඒ ප්‍ර‍ත්‍යය සමූහය (අවිද්‍යාදීන් සංස්කාරාදීහු උපදිති. ප්‍ර‍කෘති පුරුෂාදීන් නූපදිතැ යි තතු සේ දන්නා ලද්දේ ලොවී ලොව්තුරා හිත සුව පිණිස පවත්නා හෙයින් එය) දැන ගැනීමට නුවණැත්තෝ සුදුස්සෝ නුයි පටිච්ච නම් වෙති. ඒ ධර්‍ම සමූහය උපදනේ ද එක්ව උපදනා හෙයින් හා සමග උපදනා හෙයින් ද සමුප්පාද නමි. මෙසේ පටිච්ච වූයේ ම සමුත්පාද වෙනුයි පටිච්චසමුප්පාද නම් වේ.

2 ප්‍ර‍ත්‍යය සමවායය නො හැර (සමග) නිසා උපදනා හෙයින් ප්‍ර‍ත්‍යයොත්පන්න ධර්‍ම සමූහය පටිච්චසමුප්පාද නම් වේ.

මේ පටිච්චසමුප්පන්න ධර්‍මයනට මේ අවිද්‍යාදි හේතු සමූහය ප්‍ර‍ත්‍යය වේනුයි ප්‍ර‍ත්‍යය නමි. එ බැවින් මේ පටිච්චසමුප්පාද ධර්‍ම සමූහයෙහි ඵල ව්‍යවහාරයෙන් පටිච්චසමුප්පාද සංඥාව වේයැයි දක්වයි.

නිදර්ශන:- සෙමට ප්‍ර‍ත්‍යය වූ ගුළය ලෝකයා සෙම්හ (ගුළ) යයි කියන්නාසේ ද, සැපයට හේතු වූ බුද්ධොත්පාදය සුඛය යි (“සුඛො බුද්ධානං උප්පාදො”) කියන්නා සේ ද දතයුතු.

මෙසේ මෙහි සංයන්නෙන් සම්මා යන අර්‍ථය නොව සහ යන අර්‍ථය කියා.

තවද:-

(2) “පටිමුඛමිත්තො වුත්තො- හෙතු සමූහො අයං පටිච්චොති

සහිතො උප්පාදෙතිච- ඉති වුත්තො සො සමුප්පාදො”

අන්‍වය:- (අයං හෙතු සමූහො පටිමුඛං+ඉතො’ති පටිච්චො’ති වුත්තො. සො සහිතෙ උප්පාදෙති ච සමුප්පාදො ඉති වුත්තො.)

මේ හේතු සමූහය (ඔවුනොවුන්ට) අභිමුඛවැ (ඔවුනොවුන්) යන හෙයින් (පටි+ඉච්ච=) පටිච්ච’ යයි කියන ලදී. ඒ හේතු සමූහය (සිහිතයන්) තමා හා සහභාවයට ගිය ධර්‍මයන් උපදවන හෙයින් සමුප්පාදය (සං+උප්පාදො=) ‘සමුප්පාදො’ යි කියනු ලැබේ.

විස්තර:- (i) සංඛාර - විඤ්ඤාණාදි ඒ ඒ ඵලධර්‍මයන් ගේ උත්පත්තිය සඳහා අවිද්‍යාදී එක් එක් හේතුවක් දැක්වුව ද, ඒ අවිද්‍යාදී එක ධර්‍මයක් පමණක් ප්‍ර‍ත්‍යය නො වේ. වැලි සහජාත (එක්ව උපදනා) අනික් චෛතසික ධර්‍ම හා වස්තුආලම්බනාදිය ද, යෝනිසො මනසිකාරය ද, තණ්හා උපාදානාදිය ද, යන මේ හේතු සමූහය තමහට අයත් සාධාරණ ඵල නිපදවන බැවින් ද,

(ii) ඉන් එක හේතුවකුදු විකල බවට නො පැමිණීමෙන් සම්පූර්ණ බැවින් ද, එක්වැ පවත්නා ප්‍ර‍ත්‍යය (ධර්‍ම) යන් ගේ අඞ්ගයන් අතුරින් ඔවුනොවුන් ඔවුනොවුන්ට අබිමුඛව යන හෙයින් ද “පටිච්ච” යයි ප්‍ර‍ත්‍යය සමූහය කියනු ලැබේ.

විශේෂ:- මෙහි “සාධාරණ ඵල නිපදවන හෙයින්” යන්නෙන් කෘත්‍යය වශයෙන් ඔවුනොවුන් අභිමුඛවැ යන සේ කීහ.

විකල බවට නො පැමිණීමෙන්” යනුවෙන් ඔවුනොවුන් අභිමුඛව යන සේ කීහ. මේ හේතු සමූහය ඔවුනොවුන් නොහැර පවත්නා ධර්‍මයන් උපදවන හෙයින් ‘සමුප්පාදයැ’යි කියන ලදී.

මෙහි “ඔවුනොවුන් නො හැර පවත්නා” යන්න රූප ධර්‍මයන්ගේ ද, සංග්‍ර‍හය පිණිස යැ. නො එස් වුව සම්ප්‍ර‍යුක්ත ධර්‍මය යි කිය යුතු යැ. මෙසේ පටිච්ච වූයේ ද, සමුප්පාද වූයේ ද, හේමනුයි ‘පටිච්චසමුප්පාද’ නම්. (අභිමුඛයට යනුයේ ද, එක්වැ උපදිනුයේ ද, පටිච්චසමුප්පාදය’යි වදාළහ.)

තවද ක්‍ර‍මයෙකි.

(3) ‘පච්චයතා අඤ්ඤො ඤ්ඤං- පටිච්ච යස්මා සමං සහච ධම්මෙ අයමුප්පාදෙති තතොපි- එවමිධ භාසිතා මුනිනා’

අන්‍වය:- අයං පච්චයතා අඤ්ඤොඤ්ඤං පටිච්ච සමං සහ ච ධම්මෙ යස්මා උප්පාදෙති තතො පි එවං ඉධ මුනිනා භාසිතා.

මේ අවිද්‍යාදී ප්‍ර‍ත්‍යය සමූහය ඔවුනොවුන් නිසා (සහකාරීකාරණභාවයෙන්) සමවැ (විසම නොවැ) සඞ්ඛාරාදී ප්‍ර‍ත්‍ය යොත්පන්න ධර්‍මයන් එක්ව උපදවන හෙයිනුදු (මෙසේත්) ‘පටිච්චසමුප්පාදය’ යි භගවත්හු වදාළහ.

විස්තර:- “අවිජ්ජා පච්චයා සංඛාරා” යනාදීන් අවිද්‍යාදී ශීර්‍ෂයෙන් දක්වන ලද ප්‍ර‍ත්‍යයන් අතුරින් යම් යම් ප්‍ර‍ත්‍යයක් සඞ්කාරාදී යම් ප්‍ර‍ත්‍යයෝත්පන්න ධර්‍මයන් උපදවා නම් ඔවුනොවුන් නැතිවැ ඔවුනොවුන් ගේ විකල බවක් ඇති කල්හි ඔවුහු ඉපදවමට සමර්‍ථ නො වෙති. එහෙයින් ඔවුනොවුන් නිසා එවකට (ඉදිරිපස නොවී) ප්‍ර‍ත්‍යය ධර්‍ම සමූහය ප්‍ර‍ත්‍යයෝත්පන්න ධර්‍ම නිපදවන හෙයින් පරමාර්‍ථ ධර්‍ම ව්‍යවහාරයෙහි සමර්‍ථ බුදුහු පටිච්චසමුප්පාදය යි වදාළහ.

(අවිද්‍යාදී ශීර්‍ෂයෙන් කියන ලද ප්‍ර‍ත්‍ය රාශිය තෙමේ සංස්කාරාදි ශීර්‍ෂයෙන් කියන ලද ප්‍ර‍ත්‍යය සමූත්පන්න ධර්‍ම රාශිය උපදවන්නේ එකෙක් ස්පර්‍ශය උපදවයි. එකෙක් චේතනාව උපදවයි. යන මේ ක්‍ර‍මයෙන් බෙදා ඉපදවීමක් නැති බැවින් ඒකේකදේස කොට නො උපදවයි. හැමදෙනාම හැමදෙන උපදවන බැවින් එක්වැ උපදවයි. නොහොත් ස්පර්‍ශය සමහරෙක් උපයයි. චේතනාව සමහරෙක් උපයයි. කලෙක ස්පර්‍ශය උපදවයි. කලෙක චේතනාව උපදවයි යනු නැති බැවින් පළමු පසුව යන පිළිවෙළ විසින් නො උපදවයි. හැමදෙනම සමගම උපයත් යනු සත්‍යයි.)

නිගමනය:- මෙහි මුල ගාථාවෙන් පටිච්චසමුප්පාද යන්නෙන් ප්‍ර‍ත්‍යයොත්පන්න ධර්‍ම සමූහය මුඛ්‍යාර්‍ථ හෙයින් ද, ප්‍ර‍ත්‍යය ධර්‍ම සමූහය ඵලොපචාර හෙයින් ද, පටිච්චසමුප්පාදයැයි කියන ලදි.

එයද, ‘පච්චෙචතුමරහන්තී නං පණ්ඩිතාතා පටිච්චො අප්පජ්ජමානො ච සහ සම්මා ච උප්පජ්ජති, න එකෙකතො, නාපි අහෙතුතො’ යි පණ්ඩිතයන් විසින් නුවණින් දැන ගැනීමට සුදුසු හෙයින් පටිච්චයයි ද, උපදනාහු ද එකවට සමවැ උපදනා හෙයින් සමුප්පාද නමැයි ද එක් අර්‍ථයෙකි.

“පච්චය සමාග්ගිං පන පටිච්ච අපච්චක්ඛාය සහ උප්පජ්ජතීති සමුප්පාදො” යි ප්‍ර‍ත්‍යයන් ගේ සමූහය අභිමුඛ කොට (බැහැර නො කොට) ඔවුන් හා සහයෝගයෙන් උපදනා හෙයින් ද පටිච්චසමුප්පාද නමැයි දෙවන අර්‍ථයයි.

මේ අර්‍ථ දෙකින්ම කියවෙනුයේ ප්‍ර‍ත්‍යයොත්පන්න ධර්‍ම මැයි. මොවුන් ගේ උත්පාදනයට හේතුවන හෙයින් හේතුධර්‍ම ද ඵලොපචාරයෙන් (අමුඛ්‍යර්‍ථයෙන්) පටිච්චසමුප්පාදයැ යි කියනු ලැබේ.

ප්‍ර‍ත්‍යයොත්පන්න ධර්‍මයනට පෙරටුව සිට තමා හා එකී භාවයට පැමිණි ප්‍ර‍ත්‍යයෝත්පන්න ධර්‍මයන් උපදවන හෙයින් හේතුධර්‍ම සමූහය පටිච්චසමුප්පාදය යි මෙසේ කියන ලදී.

මෙතෙකින් උත්පාදමාත්‍ර‍ය පටිච්චසමුප්පාදය යන නිකායාන්තරික මත නිරස්තය.

මෙසේ වදාළ බුදුහු:-

“පුරිමෙන සස්සතාදීනමභාවො පච්ඡිමෙන තු පදෙන

උච්ඡෙදාදි විඝාතො - ද්‍වයෙන පරිදිපිතො ඤායො”යි

මෙහි ‘පටිච්ච’ යන පූර්‍ව පදයෙන් ශාස්වතාදී දෘෂ්ටීන් ගේ අභාවය ද, පසුව කී ‘සමුප්පාද’ යන පදයෙන් උච්ඡෙදදෘෂ්ටි ආදීන් ගේ නැසීම ද, ‘පටිච්චසමුප්පාද’ යන පදද්වයෙන් අන්තද්වය වර්ජිත මධ්‍යම ප්‍ර‍තිපදා සංඛ්‍යාත න්‍යාය ද වදාරණ ලදී.

විස්තර :- සෙසු ප්‍ර‍ත්‍යයන් ගේ සමවායය හඟවන්නා වූ ‘පටිච්ච’ යන පූර්‍වපදයෙන් කෙළෙස්වට ආදී පවත්නා ස්වභාව ඇති ධර්‍මයන් ගේ ප්‍ර‍ත්‍යය සමවායය අයත් පැවැතුම් ඇති බැවින් ‘ආත්මය ද, ලෝකය ද, ශාස්වතයයි, පැවැති ශාශ්වතවාදය ද, සත්ත්‍වයන් ගේ කෙලෙසීමට හෝ වොදානයට හෝ කිසි ප්‍ර‍ත්‍යයක් නැතැයි ද, අහේතු අප්‍ර‍ත්‍යය වැ සත්ත්‍වයන් ගේ කෙලෙසීම - වෝදානය වේයයි, ගන්නා අහේතු අප්‍ර‍ත්‍යය වාදය’ ද ප්‍ර‍කෘති - අනු - කාලාදීන් - ලෝකය පවතීය’ යන විසම හෙතු වාදය’ ද, ඊශ්වර නිර්‍මාණාදිය වශයෙන් පවත්නා වශවර්‍තති වාදය ද, අත්තකිලමථානුයෝගයට හේතු වූ මේ ශාස්වතාදී වාදයන් ගේ අභාවය දක්වන ලදී.

(එකී වාදයන් අනුවැ ප්‍ර‍ත්‍යය ධර්‍මයන් ගේ ඒ කී භාවයෙන් කවර ඵලයෙක් වේ දැ යි හැඟෙන හෙයිනි.)

විශේෂ:- මෙහි අහේතු වාදය ගැනීමෙන් ම ස්වභාවනියති-යදිච්ඡාවාදය ද සංග්‍ර‍හ වේ.

චක්‍ෂුඃප්‍ර‍සාදයම චක්‍ෂුර්විඥානයට කාරණ වේයයි ඇතමෙක් කියති. මේ ආදිය විසමහේතු වාදය යි.

ඊශ්වර නිර්‍මාණවාදය ද අහේතු වාදයෙහි ම ඇතුළති.

“ධර්‍මයෝ ස්වතන්ත්‍ර‍වැ ම පවතිත්” යනු වශවර්‍තතිවාදය යි කියති. (යනු ටීකායි.)

ධර්‍මයන් ගේ උත්පත්තිය හඟවන ‘සමුප්පාද’ යන දෙවෙනි පදයෙන් “උච්ඡේදවාදය” ද, දානාදියෙහි විපාක නැත, යන නාස්තිකවාදය ද, ‘කරතුදු පින් පව් නොකෙරෙයි. යන අකිරියවාදය ද ප්‍ර‍හාණය වේ.

ඒ එසේමැ යි:- පූර්‍ව පූර්‍ව ප්‍ර‍ත්‍යය වශයෙන් නැවැත නැවැත ධර්‍මයන් උපදනා කල්හි උච්ඡේදයක් කොයින් වේ ද මෙයින් කාමසුඛල්ලිකානුයෝගය ප්‍ර‍හාණය වේ.

සියලු ‘පටිච්චසමුප්පාද’ යන වචනය දෙකින් ම ඒ ඒ හේතු ප්‍ර‍ත්‍යයන් ගේ සමවායෙහි (එක්වීමෙහි) හේතු-ඵල සංඛ්‍යාත සමවායය නොසිඳ ඒ ඒ ප්‍ර‍ත්‍යය සමුත්පන්න ධර්‍මයන් උපදනා හෙයින් පෙර කී ශාස්වත- උච්ඡේද දෘෂ්ටි දෙකින් මිදුණු මධ්‍යම ප්‍ර‍තිපදාව කියන ලදී.

ඒ මෙසේයි:- කර්‍මවෘත්ත විපාකවෘත්තයන් වෙන් වෙන් ස්වභාව ඇති හෙයින් ‘යමෙක් කර්‍ම කෙරේ නම් හේම විපාක විඳියි. යන ශාස්වත දෘෂ්ටිය හා ‘අකෙක් කර්‍ම කෙරෙහි අනිකෙක් විපාක විඳියි’ යන උච්ඡේද දෘෂ්ටිය සිඳීම ද, ‘කුශලාකුශල ස්කන්‍ධ ප්‍ර‍වෘත්තියෙහි කාරක ව්‍යවහාරය ද, විපාකස්කන්‍ධ ප්‍ර‍වෘත්තියෙහි වෙදක ව්‍යවහාරය ද, වේ (යම් චිත්තසන්තතියෙකැ කර්‍ම නිපන්නේ නම් එම සන්තියෙහිම විපාක නිපදේ.)

ප්‍ර‍ත්‍යය සමුත්පන්න ව්‍යවහාර මාත්‍ර‍යම වන හෙයින් ස්ත්‍රි පුරුෂාදි ලෝකව්‍යවහාරය පරමාර්‍ථ වශයෙන් නොගැන්ම ද වේ.

ලෝකව්‍යවහාර ඒ වූ පරිදි ගැනීම ද වේ.

මේ පළමු කොට පටිච්චසමුප්පාද යන වචනයෙහි අර්‍ථ යි.

(ටීකාහි ආ දීර්‍ඝ විස්තර නො දැක්වී.)

පටිච්චසමුප්පාදය දේශනා කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ විසින් “අවිජ්ජා පච්චයා සංඛාරා” යනාදී ක්‍ර‍මයෙන් දේශනා කරන ලද පාළි ධර්‍මයෙහි අර්‍ථ වර්‍ණනය කරන ආචාර්‍ය්‍යවරයා විභජ්ජවාදීමණ්ඩලයට බැස, (විභජ්ජවාදීවැ) අටුවා ඇදුරන් අභිභවා නොකියා, සකසමය වූ ස්ථවිරවංශාගත ලබ්ධිය නොඉක්මවමින්, පරසමය වූ නිකායාන්තරිකයන් ගේ හෝ අන්‍ය ලබ්ධිකයන් ගේ වාදයන් පිඩු නොකරමින්, පාළි ධර්‍මයට අවමන් නොකරමින්, විනයට අනුකූල වෙමින් පෙළහි ආ සතර මහාපදෙස1 හා අටුවාහි ආ සතර මහාපෙදෙස[15] බලමින් පටිච්චසමුප්පාද පාළිධර්‍මය දක්වමින් එහි අටුවාව සංග්‍ර‍හ කෙරෙමින් නොහොත් හේතු හා හේතුඵල සංග්‍ර‍හය කෙරෙමින් ඒ ප්‍ර‍තීත්‍යසමුත්පාද අර්‍ථයම නැවැත නැවැත පෙරළමින් නැවැත අන් ක්‍ර‍මයකින් “පුබ්බන්තෙ අඤ්ඤාණං” යනාදීන් දක්වමින් අර්‍ථ වර්‍ණනා කළයුතුය.

(ටීකා පුරාණ සන්නයන්හි මතාන්තර සහිතවැ විස්තර වේ.) ස්වභාවයෙන්ම පටිච්චසමුප්පාදයෙහි අර්‍ථ වර්‍ණනාව දුෂ්කර යැ.

එයින් කීහ පැරැණියෝ;

“සිව්සස් පිළිසිඳ ද -[16] සත් -[17] පිළිසමුපා[18] යන

මෙ සතර දහම් දුදැසි යැ - දෙසුම ද ඉතා දුකර යැ”

එහෙයින් ආගම සංඛ්‍යාත පර්‍ය්‍යාප්තිඥානය හා ප්‍ර‍තිසම්භිදා මාර්‍ඝඥාන ලාභීන් ද හැර සෙස්සන් විසින් ප්‍ර‍තීත්‍යසමුත්පාද අර්‍ථ වර්‍ණනා කිරීම දුෂ්කරයි. එහෙයින්ම නුවණින් තීරණය කොට,

“පිළි සමුපා වැනුම - මම අද දෙසනු රිසියෙමි

සමුදුර බට එකකු සේ - පිහිටක් ඉන් නොලබනෙම්”

එහෙත් කියන සේ දක්වනුයෝ මේ කියත්.

“ඉතිදු මෙ සසුන නන් - දෙසුම් නය විසිතුරු වේ,

පෙරැදුරු වියකන්[19] මගද - නොසිඳ නිසියේ පවතී.”

“ඉන් එදෙමග නිසා - මෙ අරුත් වැනුම අරඹමි,

දහසම් රස කැමැතියෝ - අසව් විපිළිස නොවී.

මෙද පෙරැදුරන් විසින් කියනලදී.

“යමෙක් අසා නම් මෙ අරුත් පිරික්සා

පෙරත් පසුත් හේ ලබනේ වෙසෙස් තැන්,

ලබා දැනුම් මෙ දම‘රුත්[20] විනිස්නෙන්

මරුත් නොදැක්මෙන් නිවනත් ලබන්නේ”

මෙහි ආදියෙහිම පළමුකොට “අවිජ්ජා පච්චයා සඞ්ඛාරා” යනාදියෙහි මතු සඳහන් පරිදි

1. දේශනා භේදයෙන් ද

2. අර්‍ථ වශයෙන් ද

3. ලක්‍ෂණාදී වශයෙන් ද

4. ඒකවිධාදි වශයෙන් ද

5. අඞ්ග පිරිසිඳීම් වශයෙන් ද

විනිශ්චය දත යුතුයි.

අනු මාතෘකා
keyboard_arrow_right2. අර්‍ථ වශයෙන්
keyboard_arrow_rightඅවිද්‍යාව
keyboard_arrow_rightසංස්කාර
  1. සිං: වි: බන්‍ධනිර්‍දෙශ 638

  2. සං:නි: නිදානවග්ග 153

  3. සං:නි: නිදානවග්ග 168

  4. සං:නි: නිදානවග්ග 153

  5. ප:ම: ඤාණකථා 1

  6. සාඞ්ඛ්‍ය

  7. අභයගිරිකයෝ

  8. සං:නි: නිදානවග්ග 153

  9. ම:ව: බෝධිකථා 4

  10. සං:නි: මග්ගසංයුත්ත 813

  11. සං:නි: මග්ගසංයුත්ත 813

  12. සං:නි: සළායතනවග්ග 652

  13. සං:නි: නිදානවග්ග 153

  14. දි:නි: මහාවග්ග 35

  15. අ:නි: චතුක්කනිපාත 293

  16. ස: පා: පඨමපාරාජික 161

  17. සත්ත්‍වයා

  18. පටිච්චසමුප්පාදය

  19. ව්‍යාඛ්‍යාන

  20. දම්+අරුත්