2. අර්‍ථ වශයෙන්

අවිද්‍යාදී පදයන්ගේ අර්‍ථ වශයෙන්.

ඒ මෙසේ යි:- (1) පුරන්නට (රැස්කරන්නට) නොනිසි බැවින් කායදුශ්චරිතාදිය අවින්‍දිය නමි. (නො ලැබ්බ යුතුය යන අර්‍ථ යි) නො විඳිය යුතු එ කාය දුශ්චරිතාදිය විඳිනු අවිද්‍යා නම.

(2) වින්ද යුතු කාය සුචරිතාදිය නො විඳිනු යි හෝ අවිද්‍යා නම.

(3) ස්කන්‍ධයන්ගේ රාශි බව ය. ආයතනයන්ගේ ආයතන බව ය. ධාතුන් ගේ ධුව - සුඛ - සුභාදී ශුන්‍ය බව ය. ඉන්‍ද්‍රියයන්ගේ අධිපති බව ය. සත්‍යයන් ගේ තථ බව ය, යන අර්ථයන් නො දත දේ නුයි අවිද්‍යා නම (විද-ඤාණෙ යන ධාතු යි.)

(4) දුඃඛාදීන් ගේ පීඩනාදි චතුර්විධ අර්ථයන් නො දත දේ නුයි අවිද්‍යා නම.

(5) අන්තයක් නැති සසර සියලු යෝනි - ගති - භව - විඤ්ඤාණ - ඨිති - සත්ත්‍වාසයන්හි සත්ත්‍වයන් දුවවානු යි අවිද්‍යා නම - (ජව ගතියං යන ධාතුයි.)

(6) පරමාර්‍ථ වශයෙන් අවිද්‍යමාන වූ ස්ත්‍රී-පුරුෂාදි සම්මුති ධර්‍මයන්හි දුවානු යි හෝ පරමාර්‍ථ වශයෙන් විද්‍යමාන වූ ස්කන්‍ධාදීන්හි නොපවතීනු යි අවිද්‍යා නම. (මේ බ්‍යඤ්ජනාර්‍ථ වශයෙනි.)

ස්වභාවාර්‍ථ වශයෙන් මෙසේ යි:-

(7) චක්‍ෂුවිඥානාදීන් ගේ චක්‍ෂුඃප්‍ර‍සාදාදි වස්තු හා රූපාදි ආලම්බන අවිද්‍යාදී පටිච්චසමුප්පාද ධර්‍ම හා සඞ්ඛාරාදි පටිච්ච සමුප්පන්න ධර්‍මයන් ගේ ද ඒ ඒ ස්වභාවයන් මුවහ කරන බැවින් ද අවිජ්ජා නම.

යම් හේතුවක් නිසා ඵලය වේ නම් ඒ ප්‍ර‍ත්‍යයයි. පටිච්ච යනු නො වෙන් ව නො හැර යන අර්‍ථ යි.

‘එති’ යනු උපදී ය යි ද, පවතීත යයි ද යන අර්‍ථයි.

තවද උපකාරක භාවය ප්‍ර‍ත්‍යාර්‍ථ නමි. අවිද්‍යා ද, ප්‍ර‍ත්‍යය ද හේමනුයි අවිජ්ජා පච්චය නම. ඒ අවිද්‍යා ප්‍ර‍ත්‍යයෙන් (යනු අර්‍ථයි.)

සඞ්ඛාරා= තමාගේ ඵලයට සුදුසු සේ සකස් කෙරෙත්නු යි සංස්කාරයෝ නම් වෙත්.

තවද අවිද්‍යා ප්‍ර‍ත්‍යයෙන් වූ සංස්කාර ද, සංස්කාර ශබ්දයෙන් ආ සංස්කාරදැ යි සංස්කාර ද්විධ යැ.

ඔවුනතුරෙන් පුණ්‍යාභිසංස්කාර - අපුණ්‍යාභිසංස්කාර - ආනෙඤ්ජාභි-සංස්කාර යන තිදෙන ද, කායසංස්කාර, වාක් සංස්කාර - චිත්තසංස්කාර යන තිදෙන දැ යි මේ සය අවිද්‍යා ප්‍ර‍ත්‍යයෙන් වූ සංස්කාර යි. ඒ සියල්ල ලෞකික කුසල් - අකුසල් චේතනා මාත්‍රයෙක් මැයි.

“සංඛාරො සංඛතෙ පුඤ්ඤා භිසඞ්ඛාරාදිකෙපිච

පයොගෙ කාය සංඛාරා‘ද්‍යාභී සඞ්ඛරණෙසුච”යි

සංඛතසංඛාරය, අභිසංඛතසංඛාරය, අභිසංඛරණකසංඛාරය, පයොගාභිසංඛාරාය යි. මේ සතර සඛ්ඛාර ශබ්දාගත සඞ්ඛාරයෝ යි.

විස්තර:- අනිච්චා වත සංඛාරා[1] සියලු සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයහ යනාදීන් කියන ලද උත්පාදාදි ලක්‍ෂණ යුක්ත සියලු ධර්‍මයන් තම තමා අයත් ප්‍ර‍ත්‍යයෙන් වන හෙයින් සඞ්තසඞ්ඛාර නම්.

කුශලාකුශල කර්‍මයෙන් නිපන් සියලු ත්‍රෛභූමික ධර්‍මයෝ අභිසඞ්ඛතසඞ්ඛාර නමැයි අර්‍ථකථාහි කියන ලදහ. ඔහු ද “අනිච්චාවත සංඛාරා” යනාදීන් කී සංඛාරයෙහි ම ඇතුළති. (වෙනම ඒවා ආ තැනක් පෙළෙහි නො පැනේ.)

ත්‍රෛභූමික කුශලාකුශල චේතනාව වනාහි අභිසංඛරණක සංඛාර නමි. එය “අවිජ්ජා ගතොයං භික්ඛවෙ පුරිස පුග්ගලො පුඤ්ඤචෙ සංඛාරං අභිසංඛරොති”[2] අවිද්‍යාවෙන් මුළා වූ මේ පුරුෂ පුද්ගලයා (ඉදින්) පුඤ්ඤාභිසංඛාරා ද රැස්කරයි’ යනාදීන් හි ආ තැන් පැනෙයි.

කායික චෛතසික වීර්‍ය්‍යය ප්‍රයොගාභිසංස්කාර නමි.

එය “යාවතිකා භික්ඛවෙ අභිසංඛාරස්ස ගති තාවතිකං ගන්ත්‍වා අක්ඛාහතං මඤ්ඤෙ අට්ඨාසි”[3] ඒ කායප්‍රයෝග වේගයාගේ ගමන යම් පමණ ද එපමණක් ගොස් අකුරෙහි පිහිටියාක් මෙන් සිටියේ ය. යනාදීන්හි ප්‍රයොගසංස්කාරය යැ. හුදෙක් මෙ පමණක් ම නොවැ අන්‍ය වූ නොයෙක් සංස්කාරයෝ ද වෙති. “සඤ්ඤාවෙදයිතනිරොධං සමාජ්ජන්තස්ස ඛො ආවුසො විසාඛ! භික්ඛුනො වචීසංඛාරෙ පඨමංනිරුජ්ඣති. තෙතො කායසංඛාරො තතොවිත්තසංඛාරො” ‘සඤ්ඤා - වේදනා දෙදෙනා ගේ නිරෝධයෙන් නිරෝධසමාපත්තියට සමවදනා භික්‍ෂුවගේ (විතක්ක-විචාර) වචීසංඛාර පළමුවැ නිරුද්ධ වේ. ඉක්බිති කායසංඛාර (ආශ්වාස-ප්‍ර‍ශ්වාස) නිරුද්ධ වේ. ඉක්බිති චිත්තසංඛාර (සඤ්ඤා-වේදනා) නිරුද්ධ වේ. මේ ආදී තන්හි සංඛාර ශබ්දයෙන් ආ සංඛාර අනේකවිධ යැ. ඔවුනතුරින් සංඛත සංඛාරයෙහි ඇතුළත් නොවන සංඛාරයෙක් නැත්තේ යි.

විශේෂ:- (වාක්භේදකර) ශබ්දය පිළියෙල කරන හෙයින් විතර්‍ක-විචාරයෝ වචීසංඛාර නම් වෙත්.

කරජ කායය විසින් සකස් කරන හෙයින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස කායසඞ්කාර යැ. සිත සකස් කරන සංඥා-වේදනා දෙක චිත්තසඞ්ඛාරයි.

විතක්ක-විචාර දෙක හැර සෙසු සමපණස් (50) චෛතසිකයෝ චිත්තසඞ්ඛාරයැ.

ප්‍ර‍ථමධ්‍යානයෙන් නැගි ද්විතීයද්ධ්‍යානයට සමවදනා කල විතර්‍ක-විචාර නිරුද්ධ වේ.

ඉන්මතු චතුර්‍ථධ්‍යානයට සමවදනා කල ආශ්වාස-ප්‍ර‍ශ්වාස නිරුද්ධ වේ.

ඉන්මතු නිරෝධයට සමවදනා කල චිත්තසඞ්ඛාර නිරුද්ධ වේ.

සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං” සඞ්ඛාර පච්චය ශබ්දයන් පෙර කී සේයි.

(මින් මතු යට වර්‍ණනා නො කළ පදම වර්‍ණනා කෙරේ.)

විඤ්ඤාණ = අරමුණු දැනගනීනුයි විඤ්ඤාණ ය

නාම = අරමුණු අභිමුඛවැ නැමේනුයි නාමය.

රූප = ශීතෝෂාණාදීන් පෙළේනුයි රූපය

ආයතන = ආය ධර්මයන් පතුරුවන හෙයින් හෝ ආයතනය

සංසාර දුකට පමුණුවන හෙයින් හෝ ආයතනය

ඵස්ස = ස්පර්‍ශ කෙරේනුයි ඵස්ස ය.

වේදනා = විඳීනුයි වේදනා ය.

තණ්හා = අරමුණෙහි ලැගේනුයි හෝ අරමුණු රුස්නේ හෝ

තෘෂ්ණා ය.

උපාදාන = දැඩිවැ අල්ලා ගනීනුයි උපාදාන ය.

භව = විපාක භවය වේනුයි හෝ කර්‍ම භවය - උත්පත්ති

භවයන් වඩානුයි හෝ භවය

ජාති = ඉපදීම ජාති ය.

ජරා = දිරීම ජරා ය.

මරණ = මේ චුතිය කරණ කොට ස්කන්‍ධ මියෙත් නුයි මරණය.

සොක = ශෝචනය ශෝක ය.

පරිදෙව = වැලපීම පරිදේව ය.

දුක්ඛ = ශරීරය පෙළානුයි දුඃඛ ය

(උත්පාද-ස්ථිති වශයෙන් දෙපරිද්දෙකින් කනීනුයි දුඃඛ

ය.)

දොමනස්ස = දූෂ්‍ය වූ සිත්ඇති බව දෝමනස්ස ය.

උපායාස = දැඩි චිත්ත පීඩාව උපායාස ය.

මෙසේ මේ අවිද්‍යාදී ප්‍ර‍ත්‍යයෙන් සියලු දුඃඛස්කන්‍ධයා ගේ හටගැනීම වේ.

විශේෂ:- “සම්භවන්ති” යන මේ පද හුදෙක් ශෝකාදීන් කෙරෙන් පමණක් නොවැ සියලු සඞ්ඛාරාදී පදයන් කෙරෙනුදු යෙදිය යුතු.

නො එසේ වුව ‘අවිජ්ජා පච්චයා සංඛාරා’ = අවිද්‍යා ප්‍ර‍ත්‍යයෙන් සංස්කාරයහ යි කී කළ කුමක් කෙරේදැ යි නො පැනේ. සම්භවන්ති = හටගනිත් යයි කී කල අවිද්‍යාප්‍ර‍ත්‍යයෙන් සංස්කාරයෝ හටගනිත්ය යි ප්‍ර‍ත්‍යය - ප්‍ර‍ත්‍යයසමුත්පන්න ව්‍යවස්ථාව කෙරේ. හැම තන්හිම මේ ක්‍ර‍මය මැයි.

මෙසේ අවිද්‍යාදී හේතුවෙන් මේ හුදු දුඃඛ සමුහයාගේ සමුදය වේ. ඊශ්වර නිර්‍මාණාදියෙන් නොවේ.

මේ අර්‍ථ වශයෙන් විනිශ්චය යි.

  1. සං:නි: බ්‍ර‍හ්මසංයුත්ත 97

  2. සං:නි: නිදානවග්ග 203

  3. අ:නි: තිකනිපාත 67