“ආජීවය හේතු කොට ගෙන පණවා වදාළ සවැදෑරුම් ශික්‍ෂාපදයන් ව්‍යතික්‍රමණය කිරීම් වශයෙන් ද, කුහනා-ලපනා-නෙමිත්තකතා-නිපෙපසිකතා-ලාභෙන ලාභං නිජිගිංසනතාදි පාප ධර්‍මයන් ගේ වශයෙන් ද පවත්නා වූ මිච්ඡාජීවයෙන් වැළකීම ආජීව පාරිසුද්ධි සීලය යි” යනු යට දක්වන ලදී.
මෙහි ආජීවය හේතු කොට ගෙන පණවා වදාළ සවැදෑරුම් ශික්‍ෂාපද මෙසේ ය.
(1) පාරාජිකාව පාපෙච්ඡ වූ යම් උපසම්පන්න භික්‍ෂුවෙක් ආජීව හේතුයෙන් තමා සතන්හි අවිද්‍යමාන වූ ධ්‍යාන - මාර්‍ග - ඵලාදි උත්තරි මනුෂ්‍ය තමා කෙරෙහි ඇතැයි කියා නම් ඒ භික්‍ෂු පාරාජිකාපත්තියට පැමිණෙයි.
(2) සංඝාදිසේසය : යම් උපසම්පන්න භික්‍ෂුවෙක් ආජීව හේතුයෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකුන් පිළිබඳ එකෙනෙහි වන සංගමය පිණිස හෝ ඔවුනොවුන්ගේ පණිවිජ කියා නම් ඒ භික්‍ෂු සඞ්ඝාදිසෙසාපත්තියට පැමිණෙයි.
(3) ථූල්ලච්චය : යම් උපසම්පන්න භික්‍ෂුවෙක් ආජීවය හේතුකොට ගෙන දායකයා හට “නුඹගේ විහාරයෙහි වසන භික්‍ෂු රහතන් වහන්සේ නමෙකැ” යි තමා උදෙසා අනියමයෙන් කියා නම් ඒ භික්‍ෂු ථුල්ලච්චයාපත්තියට පැමිණෙයි.
(4) පාචිත්තිය : යම් උපසම්පන්න භික්‍ෂුවෙක් නොගිලන් වූයේ ම ආජීවය හේතු කොට ගෙන කිරි ආදි ප්‍රණීත භෝජන තමා පිණිස ගෙන්වා ගෙන වළඳා නම් ඒ භික්‍ෂු පාචිත්තියා පත්තියට පැමිණෙයි.
(5) පාටිදේසනීය : යම් උපසම්පන්න භික්‍ෂුණියක් නොගිලන් වූවා මැ ප්‍රණීත භෝජන තමා පිණිස ගෙන්වා ගෙන වළඳා නම් ඒ භික්‍ෂුණී පාටිදෙසනීයාපත්තියට පැමිණෙයි.
(6) දුක්කටය : යම් උපසම්පන්න භික්‍ෂුණියක් නොගිලන් වූවා ම සූප හෝ ඕදන හෝ තමා පිණිස ගෙන්වා ගෙන වළඳා නම් ඒ භික්‍ෂුණී දුකුළා ඇවැතට පැමිණෙයි.
මේය ආජීවය හේතු කොට පණවා වදාළ ශික්‍ෂාපද සය නම්:
මේ ෂඩ්විධ ශික්ෂාපද ව්‍යාතික්‍රමණය කරන්නහුගේ ආජීවය අපිරිසිදු වේ. එපමණක් ද නොවෙයි. කුහනාදි වශයෙන් ජීවත් වන්නාහුගේ ද ආජීවය අපිරිසිදු වෙයි. ඒ කුහනාදිහු මතු දක්වනු ලැබෙත්.
කුහනා.
“තත්‍ව කතමා කුහනා? ලාභසක්කාර සිලොක සන්නිස්සිතස්ස පාපිච්ඡස්ස ඉච්ඡාපකතස්ස යා පච්චය පටිසෙධන සංඛාතෙන වා සාමන්නජප්පිතෙන වා ඉරියාපථස්ස වා අට්ඨපනා ඨපනා සණ්ඨපනා භාකුටිතා භාවකුටියං කුහනා කුහායනා කුහිතත්තං අයං වුච්චති කුහනා”[1] යනු මේ වදාළ නිර්‍දෙශ පාළියි. එහි කුහනා නම් කිම?
‘ලාභ සත්කාර කීර්‍තති පතන්නා වූ, පාපේච්ඡ වූ හෙවත් නැති ගුණ දක්වනු කැමැති වූ, ලෝභයෙන් මඩනා ලද්දා වූ, භික්‍ෂුවගේ පච්චයපටිසෙධන වශයෙන් හෝ සාමන්තජප්පන වශයෙන් හෝ ඉරියාපථසන්නිස්සිත වශයෙන් හෝ යම් මුහුණ හකුළුවන බවෙක් කුහක බවෙක් වෙයි ද එය කුහනා යයි කියනු ලැබේ. යනු එහි සංක්‍ෂිප්ත භාවයි.
මෙයින් මහා නිර්‍දෙශයෙහි[2] දක්වන ලද 1. පච්චයපටිසෙධන, 2. සාමන්තජප්පන, 3. ඉරියාපථසන්නිස්සති යන ත්‍රිවිධ කුහක වස්තු ප්‍රකාශිත බව දත යුතුයි.
1. පච්චය පටිසෙධන කුහනාව.
දායකයෙක් භික්‍ෂුවක් හට චීවරාදි ප්‍රත්‍යයන් අතුරෙන් යමක් පිළිගන්වයි. ඒ භික්‍ෂුව එයින් ප්‍රයෝජන ඇත්තේ මැ ගනු කැමැත්තේ මැ “මට වුවමනා නැතැ” යි ප්‍රතික්‍ෂේප කරයි. එවිට දායකයා වඩා සතුටු වැ “අහෝ අපේ ස්වාමීන් වහන්සේ අල්පේච්ඡය. කිසිවක් පිළිගන්නට නො කැමැති සේක. අපට වූයේ මහා ලාභයෙක. කෙසේ නමුත් උන්වහන්සේට ප්‍රත්‍යය සිඟිත්තක් පිළිගන්වා ගත මැන වැ”යි නානාවිධ උපායයෙන් වටනා සිවුරු ආදිය පිළියෙළ කොට ගෙන අවුත් පෙරැත්ත කරයි. එවිට භික්‍ෂු ඔහුට ම අනුග්‍රහ සඳහා පිලිගන්නා සැටි අඟවා ඒ සිවුරු ආදිය පිළිගනියි.
එතැන් පටන් කරත්ත බරට ගෙනවුත් පිළිගන්වන ආකාරයෙන් ජනයා විස්මය පත් කරන මේ කුහක භාවය පච්චය පටිසෙධන කුහක වස්තුය යි දත යුතු. වදාළේ මැ යි.
මහා නිර්‍දෙශයෙහි :-
“කතමං පච්චය පටිසෙධන සඞ්ඛ්‍යාතං කුහනවත්‍ථු? ඉධ ගහපතිකා භික්ඛුං නිමන්තෙනති චීවරපිණ්ඩපාත සෙනාසන ගිලාන පච්චය භෙසජ්ජපරික්ඛාරෙහි. පාපිච්ඡො ඉච්ඡාපකාතා අත්‍ථිකො චීවර ---පෙ----පරික්ඛාරානං භිය්‍යො කම්‍යතං උපාදාය චීවරං පච්චක්ඛාති. පිණ්ඩපාතං ---පෙ---සෙනාසනං ----පෙ---- භීලානපච්චය භෙසජ්ජ පරික්ඛාරං පච්චක්ඛාති. සො එවමාහ, කිං සමණස්ස මහග්ඝෙන චීවරෙන? එතං සාරුප්පං යං සමණො සුසානා වා සඞ්කාරකූටා වා පාපණිකා වා නත්තකානි වා උච්චිනිත්‍ථා සංඝාටිං කත්‍වා ධාරෙය්‍ය. කිං සමණස්ස මහග්ඝෙන පිණ්ඩපාතෙන එතං සාරුප්පං යං සමණො උඤ්ජාචරියාය පිණ්ඩියාලොපෙන ජීවිකං කප්පෙය්‍ය. කිං සමණස්ස මහග්ඝෙන සෙනාසනෙන එතං සාරුප්පං යං සමණො රුක්ඛමූලිකො වා අස්ස අබ්හොකාසිකො වා කිං සමණස්ස මහග්ඝෙන ගිලාන පච්චය භෙසජ්ජපරික්ඛාරෙන එතං සාරුප්පං යං සමණො පූතිමුත්තෙන වා හරීටකඛණ්ඩෙන වා ඔසධං කරෙය්‍යාති. තදූපාදය ලූඛං චීවරං ධාරෙති ලූඛං පිණ්ඩපාතං පරිභුඤ්ජති. ලුඛං චීවර ධාරති ලුඛං පිණ්ඩපාතං පරිභුඤ්ජති. ලුඛං සෙනාසනං පටිසෙවති. ලුඛං ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පටිසෙවති. තමෙනං ගහපතිකා එවං ජානන්ති. අයං සමණො අප්පිචෙඡා සන්තුට්ඨො පවිවිතෙතා අසංසටෙඨා ආරඬවිරියෝ දුත වාදො ති භීය්‍යො භීය්‍යො නිමන්තෙන්තී චීවර -----පෙ---- පරීක්ඛාරෙහි සො එවමාහග තිණණං සම්මුඛීභාවා සද්ධා කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. දෙය්‍යධම්මස්ස ----පෙ----- දක්ඛිණෙය්‍යානං සම්මුබීභාවා සද්ධො කුලපුත්තො බහු පුඤ්ඤං පසවති. තුමහාකඤෙච වායං සද්ධා අත්‍ථී. දෙය්‍යධම්මො ච සංවිජ්ජති. අහං ච පටිග්ගාහකො. සචාහං න පටිග්ගහෙස්සමා එවං තුම්හෙ පුඤ්ඤෙන පරිබාහිරා භවස්සථ. න මය්හං ඉමිනා අත්‍ථො අපි ච තුමහාකං යෙව අනුකම්පාය පතිගුණ්හාමි’ති තදුපාදායං බහුං පි චීවරං පතිගණ්හාති. බහුම්පී පිණ්ඩපාතං ----පෙ---- භෙසජ්ජපරික්ඛාරං පතිගණ්හාති. යා එපරූපා භාකුටිතා භාකුටියං කුහනා කුහායනා කුහිතත්තං ඉදං වුච්චති පච්චයපටිසෙධන සංඛාතං කුහනවත්‍ථුති.[3]
මෙහි සංක්‍ෂිප්ත භාවය මෙසේය.
“පච්චයපටිසෙධන සංඛ්‍යාත කුහන වස්තුව කවරේ ද යත්? මේ සසුන්හි ගෘහපතියෝ භික්‍ෂුවකට චීවරාදි සිව්පසයෙන් නිමන්ත්‍රණය කෙරෙති. පාපෙච්ඡ වූ ඉච්ඡාපකත වූ භික්‍ෂු ඒ සිව්පසයෙන් ප්‍රයෝජන ඇත්තේ නමුදු වැඩියක් ගනු කැමැත්තේ ප්‍රතික්‍ෂේප කෙරෙමින් මෙසේ කියයි. “මහණුන්ට මහාර්‍ඝ සිවුරු කුමකට ද ඔවුන්ට වටනේ සොහොනින් හෝ කසල ගොඩෙන් හෝ රෙදි කැබලි අවුලා මසාගෙන පොරවන්නට ය. මහණුන්ට ප්‍රණීත පිණ්ඩපාත කුමට ද ඔවුන්ට වටානේ සිඟාගෙන වළඳන්ට ය. මහණුන්ට මඇඟි සෙනසුන් කුමට ද ඔවුන්ට වටනේ රුක්ඛමූලික වැ හෝ අබ්භොකායික වැ හෝ වසන්ට ය. මහණුන්ට අනර්‍ඝ ගිලන්පස බෙහෙත් පිරිකර කුමටද ඔවුන්ට වටනේ පූතිමුත්‍රයෙන් හෝ අරළුයෙන් හෝ බෙහෙත් කරන්නට ය.” මෙසේ කියමින් එය මැ පෙන්වනු සඳහා රූක්‍ෂ වූ චීවර පිණ්ඩපාත සෙනාසන ගිලන්පස බෙහෙත් පිරිකර පරිභෝග කරයි. ඒ දක්නා ගැහැවියෝ “මුන්වහන්සේ අල්පේච්ඡය සන්තුට්ඨය පවිචිත්තය අසංසට්ඨය ආරද්ධවිරිය ය ධුතවාදියා” යි වඩ වඩා ලා සතුටු වැ සිව්පසෙන් පෙරැත්ත කෙරෙති. එවිට ඒ භික්‍ෂු “ශ්‍රද්ධා, දේයධර්‍ම, ප්‍රතිග්‍රාහක යන තුන් වස්තුන්ගේ සම්මුඛ වීමෙන් සැදැහැවත් කුලපුත්‍රයෝ පින් රැස්කර ගනිති. තොපට ශ්‍රද්‍ධාව හා දෙයදර්‍ම (දානවස්තුව) ඇත්තේ ය. මම වූ කලී ප්‍රතිග්‍රාහකයෙමි. ඉදින් මම නොපිළිගන්නෙම් නම් තොපි පිනින් බැහැර වන්නහු ය. මට මේ පසයෙන් ප්‍රයෝජන නැතත් තොපට අනුකම්පා සඳහා පිළිගනිමි” යි මෙසේ බණ දෙසමින් බොහෝ බොහෝ සිවුරු ආදිය පිළිගනියි. මෙබඳු භාකුටිතායෙක් කුහක භාවයෙක් වේ නම් එය පච්චය පටිසෙධන සංඛ්‍යාත කුහක කම වන්නේය. පච්චය පටිසෙධන නම්, ප්‍රත්‍යය ප්‍රතික්‍ෂේප කිරීමයි.
2. සාමන්ත ජප්පන කුහනාව
පාපෙච්ඡ වූ භික්‍ෂුවෙක් තමන් කෙරෙහි නැති උතුරු මිනිස් දම් ගුණ ඇති සේ කොට දක්වන කථායෙන් ජනයා විස්මය පත් කෙරේ නම් එය සාමන්ත ජප්පන කුහන වස්තුය යි දතයුතු. (උතුරු මිනිස් දම් ගුණ නම්, ධ්‍යාන-මාර්‍ග-ඵලය).
වදාළේ මැ යි :-
“කතමං සාමන්නජප්පනසංඛ්‍යාතං කුහනවත්‍ථු? ඉධෙකච්චො පාපිච්ඡො ඉච්ඡාපකතො සම්භාවනධිප්පා යො එවං මං ජනො සම්භාවෙස්සතී’ති අරියධම්ම සන්නිස්සිතං වාචං භාසති. යො එවරූපං චීවරං ධාරෙති සො සමණො මහෙසක්ඛො’ති භණති. යො එවරූපං පත්තං ලොහථාලකං ධම්මකරකං පරිස්සාවනං කුඤ්චිකං කායබන්‍ධනං උපාහනං ධාරෙති සො සමණො මහෙසාක්ඛො’ති භණති. යස්ස එවරූපො උපජ්ඣායො ආචරියො සමානුපජ්ඣායකො සමානාචරියකො මිත්තො සන්‍දිට්ඨො සමම්භත්තො සහායො. යො එවරූපෙ විහාරෙ වසති. අඩ්ඨයොගො පාසාදෙ හම්මියෙ ගුහාය ලෙණෙ කුටියා කූටාගාරෙ අට්ටෙ මාලෙ උද්දණ්ඩෙ උපට්ඨාන සාලායං මණ්ඩපෙ රුක්ඛමුලෙ වසති. සො සමණො මහෙසක්ඛොති භණති. අථවා කොරඤ්ජික කොඤ්ජි කො භාකුටික භාකුටිකො කුහකුහො ලපලපො මුඛසම්භාවිතො අයං සමණො ඉමාසං එවරූපානං සන්තානං විහාරසමාපත්තිනං ලාභිනි තාදිසං ගම්භීරං ගුළ්හං නිපුණං පටිච්ඡන්තං ලොකුත්තරං සුඤ්ඤතා පටිසංයුත්තං කථං කථෙති. යා එවරූපා භාකුටිතා භාකුටියං කුහනා කුහායනා කුහිත්තං ඉදං වුච්චති සාමන්තජප්පන සංඛාතං කුහනවත්‍ථුති”[4]
මෙහි සංක්‍ෂිප්ත භාවය මෙසේ ය.
‘සාමන්තජප්පන කුහන වස්තුව කවරේ ද යත්? මේ සසුන්වන් ඉච්ඡායෙන් මඩනා ලද බුහුමන් ලබනු කැමති පාපෙච්ඡ වූ භික්‍ෂුවෙක් “මෙසේ කථාකල කල්හි මට මහජනයා බුහුමන් කරති”යි සලකා ආර්‍ය්‍යධර්‍ම නිශ්‍රිත කොට කථා කරයි. මෙසේ කථා කෙරේ ද යත්? “යමෙක් මේ නියා සිවුරු ධරා නම්, මේ නියා පාත්‍ර ලොහොතලු ඩබරා පෙරහන් යතුරුමුදු කාබහන් වහන් ධරා නම් ඒ මහණ මහේශාක්‍ය ය. යමෙකුට මෙබඳු උපාධ්‍යාය-ආචාර්‍ය්‍ය-සමානොපාද්ධ්‍යාය-සමානාචර්‍ය්‍යවරයෝ ඇත් නම්, යමෙකු මෙබඳු සන්‍දෘෂට-සම්හක්ත මිත්‍රයෝ ඇත් නම් ඒ මහණ මහේශාක්‍ය ය. යමෙක් මෙබඳු විහාරයෙක අඩ්ඪයොග-ප්‍රාසාද-හම්මිය-ගුහා-ලෙණ-කුටි-කූටාගාර-අට්ට-මාල-උද්දණ්ඩ-උපට්ඨානසාලා-මණ්ඩප-රුක්ඛමූලයෙක වෙසේනම් ඒ මහණ මහේශාක්‍යය”යි කියයි. තව ද හැකිළැ හැකිළැ මුහුණ හකුළ හකුළා කුහක කුහක වැ ප්‍රලාප දොඩ දොඩා කටින් මැ අනුන් විසින් සම්භාවනා කරන ලද්දේ මේ මහණ මෙබඳු ශාන්ත විහාර සමාපත්තීන් ලැබ සිටින්නේය යි හැඟෙන සේ ඊට සරිලන ගැඹුරු-ගුඪ-සායුම්-ප්‍රතිච්ඡන්න-ශුන්‍යතාවයෙන් යුක්ත-ලොකොත්තර කථා කෙරෙයි. මෙබඳු කුහක බවෙක් වෙයි නම් එය සාමන්න ඡප්පන සඞ්ඛ්‍යාත කුහක වස්තුය යි කියනු ලැබේ.
3. ඉරියාපථසන්නිස්සිත කුහනාව
“පාපෙච්ඡ වූ භික්‍ෂුවෙක් ලෝකයාගෙන් බුහුමන් ලබන කැමැත්තෙන් යාම් ඉදීම් ආදි ඉරියව්වෙන් මහා ජනයා විස්මය පත් කෙරේ නම් එය ඉරියාපථසන්නිස්සිත කුහනා වස්තුව යයි දතයුතු. වදාළේ මැයි.
“කතමං ඉරියාපථසංඛ්‍යාතං කුහන වත්‍ථු? ඉධෙ කච්චො පාපිචෙඡා ඉච්ඡාපකතො සම්භාවනාධිප්පායො එවං මං ජනො සමභාවෙස්සතීති ගමනං සණ්ඨපෙති. සයනං සණ්ඨපෙති. පණිධාය ගච්ඡති. පණිධාන තිට්ඨති. පණිධාය නිසීදති. පණ්ධාය සෙය්‍යං කප්පෙති. සමාහිතො විය ගච්ඡති. සමාහිතො විය තිට්ඨති. නිසිදති. සෙය්‍යං කප්පෙති. ආපාථකජ්ක්‍ඩායී ච හොති. යා එවරූපස්ස ඉරියාපථස්ස අට්ඨපනා ඨපනා සණ්ඨපනා භාකුටිතා භාකුටිං කුහනා කුහායනා කුහිත්තතං ඉදං වුච්චති ඉරියාපථ සංඛාතං කුහනවත්‍ථු”[5] ති.
මෙහි සංක්‍ෂිප්ත භාවය මෙසේ ය.
ඉරියාපථසංඛ්‍යාත කුහන වස්තුව කවරේ ද යත්? මේ සසුන්වන් - ඉච්ඡායෙන් මඩනා ලද - බුහුමන් ලබනු කැමැති පාපේච්ඡ භික්‍ෂු “මෙසේ කළ කල්හි මහා ජනයා මට බුහුමන් කරත්” යයි සලකා ගමන් කරයි. සයනය කරයි. තමා උතුරු මිනිස් දම් ඇතියෙකැයි දුටුවන්ට වැටහෙන සේ යයි. සිටියි. ඉඳියි. හොවියි. පැණෙන තැන සමාපත්තියට සමවන්නහු මෙන් හිඳියි. මෙසේ ඉරියව් පැවැත්වීම් වසයෙන් දක්වන කුහක බවෙක් වෙයි ද එය ඉරියාපථ සඞ්ඛ්‍යාත කුහක බව යයි කියනු ලැබේ.
කුහන යන පදයෙහි විස්තරයයි.
ලපනා
“තත්‍ථා කතමා ලපනා? ලාභසක්කාර සිලොක සන්නිස්සි තස්ස පාපිච්ඡස්ස ඉච්ඡාපකතස්ස යා පරෙසං ආලපනා ලපනා සල්ලපනා උල්ලපනා සමුල්ලපනා උන්නහනා සමුන්නහනා උක්කාචනා සමුක්කාචනා අනුප්පියභාණිතා චාටුකම්‍යතා මුග්ගසුප්‍යතා පාරිභට්ටතා අයං වුච්චති ලපනා”[6]
එහි ලපනා නම් කිම?
‘ලාභ සත්කාර කීර්‍තති පතන්නා වු - පාපෙච්ඡ වූ - ලොභවෙන් මැඩීගත් භික්‍ෂුවකගේ පරා (අනුන්) පිළිබඳ යම් ආලපනාවක් ලපනාවක්, සල්ලපනාවක්, උල්ලපනාවක්, සමුල්ලපනාවක්, උන්නහනාවක් සමුන්නහනාවක් උක්කාචනාවක්, සමුක්කාචනාවක්, අනුප්පියභාණිතාවක්, චාටුකම්‍යතාවක්, මුග්ගසුපත්‍යතාවක්, පාරිභට්ටතාවක්, වේද එය ලපනා යයි කියනු ලැබේ’ යනු භාවයි.
මෙහි ආලපනා ආදිය පිළිබඳ විවරණය මෙසේ දතයුතු.
1. ආලපනාව= විහාරස්ථානයට පැමිණි මිනිසුන් දැකැ පින්වතුනි! මේ කුමට අවු ද. කිම! ආරාධනාවක් කරන්නටද හොඳා! එසේ නම් යන්න. මම පසු වැ එන්නම්”යි මේසේ පළමු කොට මැ කථාවට පටන් ගැන්ම ආලපනාය, නොහොත් තමන් උසස් තැන තබා “මම තමා....... කියන්නේ. රජ්ජුරුවෝ මා ගැන බොහෝ ප්‍රසන්නය. අසවල් අසවල් රාජ මහා මන්ත්‍රිවරු මා කෙරෙහි ප්‍රසන්නය” යි මෙසේ තමා උසස් තැන තබා කථා කිරීම හෝ ආලපනාය.
2. ලපනාව= විතාළ කෙනෙකුන්ට එසේ කීම ලපනාය.
3. සල්ලපනාව= දායකයන් කළකිරීමෙහි භිතියෙන් ඔවුන්ට ද අවකාශ තබා කථා කිරීම සල්ලපනාය.
4. උල්ලපනාව= “මේ තමා මහා ධනවතා, මේ තමා මහා නාවිකයා, මේ තමා මහා දානපතියා” යනාදීන් දායකයා උසස් කොට තබා කථා කිරීම උල්ලපනාය.
5. සමුල්ලපනාව= “සර්‍වපකාරයෙන් මැ දායකයා උසස් කොටැ කථා කිරීම සමුල්ලපනාය.
6. උන්නහනාව= උපාසකවරුනි ඉස්සර නම් මේ කාලයේ අලුත් දන් දුන්නහු ය. දැන් කුමක් හෙයින් නොදෙන්නහු දැ” යි විචාරා හෙතෙමේ “ස්වාමීනි! දැනුදු දෙන්නෙමි අවකාශ නැතියෙන් ප්‍රමාද වන්නෙමි” යි යම් තාක් කියයි ද, ඒ තාක් වෙළාලීම උන්නහනාය. නොහොත් උක් දණ්ඩක් අතේ ඇති වැ පැමිණි උපාසකයෙකු දැකැ “උපාසකය! මේ කොයින් ගෙනෙන ලදැ” යි විචාරා “ස්වාමීනි! කෙතින්” යයි කී කල්හි “කිමෙක උපාසකය එහි උක් මිහිරි දැ”යි විචාරා ස්වාමීනි! කාලා දැන ගත යුතුයි”යි කී කල්හි “උපාසකය! “භික්ෂූන්ට උක් දියයුතුය’යි කියන්නට නොවටනේය”යි කියමින් මෙසේ නිරවුල් වැ කථා කරන දායකයා අවුලේ ලා කථා කිරීම හෝ උන්නහනාය.
7. සමුන්නහනාව= සර්‍වප්‍රකාරයෙන් අවුලේ ලා කථා කිරීම සමුන්නහනාය.
8. උක්කාචනාව= “මෙ ගෙයි වැසියෝ ඉදින් මා හඳුනත් නම් මෙහි සියලු දෙය ධර්‍මය මට ම දෙති”යි උද්දීපනය උක්කාචනාවය.
තෙලන්‍දරික කථා වස්තුව මෙහි ලා නිදර්‍ශනයි.
9. සමුක්කාචනාව= සර්‍වප්‍රකාරයෙන් මෙසේ උද්දීපනය සමුක්කාචනාවය.
10. අනුප්පියභාණිතාව සත්‍යානුකුලත්‍වය හෝ ධර්‍මානුකුලත්‍වය නොබලා නැවත නැවත ප්‍රිය කථා කිරීම අනුප්පියභාණිතාවය.
11. චාටුකම්‍යතා= නීචවෘත්තියත්‍වයයි. හෙවත් තමා දායකයාට වඩා පහත් වැ පැවැත්ම යි.
12. මුග්ගසුප්‍යතාව= මුං ඇට තැම්බූ කල්හි කොටසක් පැසී කොටසක් නොපැසී තිබෙන්නා සේ යමෙක් කථා කරන කල්හි කොටසක් සත්‍ය වැ කොටසක් අසත්‍ය වැ තිබේ නම් ඒ පුද්ගලයා මුග්ගසුප්පය යි කියනු ලැබේ. ඔහුගේ ස්වභාවය මුග්ගසුප්‍යතාය.
13. පාරිහට්ටතාව= කිරි මවුන් මෙන් කුලදරුවන් ඇකයෙන් කරින් වඩා ගැන්ම පාරිහට්ටතාය.
ලපනා යන පදයෙහි විස්තරය යි.
නෙමිත්තිකතා
“තත්‍ථ කතමා නෙමිත්තිකතා? ලාභ සක්කාර සිලොක සන්නිස්සිතස්ස පාපිච්ඡස්ස ඉච්ඡාපකතස්ස යං පරෙසං නිමිත්තං නිමිත්තකම්මං, ඔහාසො ඔහාසකම්මං සාමන්නජප්පා පරිකථා අයං වුච්චති නෙමිත්තිකතා”[7]
එහි නෙමිත්තකතා නම් කිම?
ලාභ සත්කාර කිර්‍තතිකාමී වූ - පාපෙච්ඡ වූ - ඉච්ඡාපකත වූ - භික්‍ෂුව ගේ පරා පිළිබඳ යම් නිමිත්තයෙක් නිමිත්තකර්‍මයෙක් ඔහාසයෙක් ඔහාසකම්මයෙක් සාමන්තජප්පාවෙක් පරිකථාවෙක් වෙයි ද එය නෙමිත්තිකාතාය යි කියනු ලැබේ.
නිමිත්තාදීන්ගේ විවරණය මෙසේ ය.
1. නිමිත්ත නම්, ප්‍රත්‍යය දීම සඳහා මෙරමා හට සිත් උපදවන කාය කර්‍ම හා වාක් කර්‍මය.
2. නිමිත්තකර්‍ම නම්, කෑමක් ගෙන යන්නවුන් දැක “කිම කෑමක් ලැබුවහු ද යනාදි නියායෙන් නිමිති කිරීමය.
3. ඔභාස නම්, ප්‍රත්‍යය පිළිබඳ කථා කිරීමය.
4. ඔභාසකම්ම නම්, වසුපල්ලන් දැකැ ‘කිම මොහු කිරි වස්සෝ ද වෙඬරු වස්සෝ දැ”යි විචාරා “ස්වාමීනි කිරි වස්සෝය”යි කී කල්හි “මොවුන් කිරිවස්සනු වුව නොහැක ඉදින් කිරිවස්සෝ නම් භික්‍ෂූහු ද කිරි ලබන්නාහු”යි මේ ආදි නියායෙන් කියා කුඩා දරුවන් ලවා ඔවුන්ගේ මවුපියන්ට දන්වා කිරි දොවවා ගැනීම් ආදිය යි.
5. සාමන්තජප්පා නම්, කුලුපග භික්‍ෂු මෙන් ආසන්න කොටැ කථා කිරීමය.
කුලුපග භික්‍ෂු
එක් කුලුපග භික්‍ෂුවෙක් වළඳන රිස්සෙන් මැ ගෙයකට වැදැ අස්නෙක හුන්නේ ය. ගෙයි ඇත්තී උන්වහන්සේ දැක කිසිවක් නොදෙන අටියෙන් “අද ගෙදොර සහල් නැතැ”යි කියා ගෙන සහල් ගෙනෙන්නට යන ලීලාව සඟවා අසල් ගෘහයකට ගියා ය. ඒ අතර භික්‍ෂු ඇතුල් ගැබට වැදැ වට පිට බලන්නේ දොරමුල්ලේ උක්ගස ද, භාජනයක සකුරු ද, පැසෙක ලුණු මාලු ද, සැළියෙක සහල් ද කළයක ගිතෙල් ද තිබෙනු දැක නික්මැ අවුත් කිසිවක් නොදන්නා කෙනෙකුන් මෙන් උන් තැනැ මැ උන්නේ ය. ගෙයි ඇත්තී “සහල් ලබා ගත නොහැකි වීය”යා කියා ගෙන ගෙට ආවා ය. භික්‍ෂු කියන්නේ “උපාසිකාවෙනි! අද දන් නො ලැබෙන බව මම එද්දී ලත් පූර්‍ව නිමිත්තයෙන් මැ දැන ගතිමි”යි කීවේ ය. “ස්වාමීනි! කවර පූර්‍ව නිමිත්තයෙක්දැ යි”යි අසන ලද්දේ “උපාසිකාවනි! ගෙයි මුල්ලේ උක්ගස බඳු සර්‍පයකු දුටුයෙමි. “ඌ ගසා එළවමි”යි අවට බලන්නේ භාජනයෙහි සකුරු කැට බදු ගල් කැට ද, පහර කෑ සර්‍පයා විසින් පැසෙහි ලුණු මාලු පලුව මෙන් දැක්වූ පෙණය ද, කැට ගල් ඩහන්නට පැනගත් සර්‍පයාගේ සැළියෙහි සහල් බඳු දත් ද, කුපිත වූ සර්‍පයාගේ මුඛයෙන් ගිලිහුණු කළයෙහි ගිතෙල් බඳු විෂ මිශ්‍ර කෙළ ද දුටුවෙමි”යි යළිත් කීවේ ය. ඕ “මේ මුඩු ශ්‍රමණයා වංචා කළ නොහැකි”යි උක්ගස කපා පිළිගන්වා නැවත බත් පිසැ ගිතෙල් සකුරු හා මස් සමග පිලිගැන්වූවා ය.
මෙසේ ආසන්න කොටැ බිණීම සාමන්තජප්පාය යි දතයුතු.
6. පරිකථා නම් යම් සේ කථා කළ විට ලැබේ නම් එසේ පෙරළ පෙරළා කථා කිරීම ය.
නෙමිත්තකතා යන පදයෙහි විස්තරය යි.
නිප්පෙසිකතා.
“තත්‍ථ කතමා නිප්පෙසිකතා? ලාභසක්කාර සිලොක සන්නිස්සිතස්ස පාපිච්ඡස්ස ඉච්ඡාපකතස්ස යා පරෙසං අක්කොසනා වම්හනා ගරහණා උක්ඛෙපණා සාමුක්ඛෙපණා ඛිපනා සංඛිපනා පාපනා සම්පාපනා අවණ්ණාහාරිතා පරපිට්ඨිමංසිකතා අයං වුච්චති නිප්පෙසිකතා”[8]
‘එහි නිප්පෙසිකතා නම් කිම? ලාභ සත්කාර කීර්‍තතිකාමි වූ පාපෙච්ඡ වූ, ඉච්ඡාපකත වූ භික්‍ෂුවගේ පරහට යම් අක්කොසනාවෙක් ගරහණාවෙක් උක්ඛෙපනාවෙක් සමුක්ඛෙපනාවෙක් ඛිපනාවෙක් සංඛිපනාවෙක් පාපනාවෙක් සම්පාපනාවෙක් අවණණහාරිතාවෙක් පරසිට්ඨිමංසිකතාවෙක් වන්නේ ද එය නිප්පෙසිකතාය යි කියනු ලැබේ.
අක්කොසනාදීන්ගේ විවරණය මෙසේ ය.
1. අක්කොසනා = දශ ආක්‍රොශ වස්තුයෙන් ආක්‍රොශ කිරීමය
2. වම්හනා = බැණ දෙඩීම ය.
3. ගරහණා = “අස්සාද්‍ධාවන්තයා, අප්‍රසන්නයා” යනාදී නයෙන් දොෂාරොපනය කිරීම ය.
4. උක්ඛෙපණ = “කට වහගනු” යනාදින් වචනයෙන් ඔසවා දැමීම ය.
5. සමුක්ඛෙපණා = සර්‍වප්‍රකාරයෙන් හේතු සහිත වැ එසේ ඔසවා දැමීම නොහොත් නොදෙන්නෙකුට “අනේ දානපතිය!” යනාදීන් වචනයෙන් උසස් කිරීම උක්ඛෙපනාවය, මොනවට එසේ උසස් කිරීම සමුක්ඛෙපනාව ය.
6. ඛිපනා = “බිජුවට කන මොහුගේ ජීවිතය කිමදැ”යි කවට කම් කිරීම ය.
7. සංඛිපනා = මොහුට නොදෙන්නා යයි කුමට කියත් ද ඇම කල්හි මෙතෙමේ නැත යනු දෙන්නේ ය”යි කියා වඩාලාත් කවටකම් කිරීම ය.
8. පාපනා = නොදෙන බව නොහොත් නුගුණ සැම තැන පැමිණවීම ය.
9. සම්පාපනා = සර්‍වප්‍රකාරයෙන් එසේ පැමිණවීම ය.
10. අවණ්ණහාරිතා = “දොස් කීමට බියෙන් වත් දෙන්නේ ය” යි සිතා ගෙන් ගෙට ගමින් ගමට දනව්වෙන් දනව්වට නුගුණ ගෙන යාම ය.
11. පරපිට්ඨිමංසිකතා = සම්මුඛයෙහි මිහිරි සේ ගුණ කියා අසම්මුඛයෙහි නුගුණ කීමයි. මේ වනාහි ඉදිරිපිටදී බැලීම් මාත්‍රයකුදු නොකොටැ පිටු පෑවිට පිටු මස් කෑම වැනි එකෙක. එබැවින් පරපිට්ඨිමංසිකතාය යි කියනු ලැබේ.
මේ යට දැක්වුණු අක්කෝසනාදි කථා වනාහි හුණ පතුරෙන් ඇඟ සූරා පිස දමන්නා සේ මෙරමාගේ ගුණ සූරා පිස දමන්නේ ය. නැතහොත් සුවඳ ද්‍රව්‍ය සුණු කොටැ සුවඳ ආඝ්‍රාණය කරන්නා සේ මෙරමා ගුණ සුණු කොටැ ලාභ සොයා ගන්නේ යි එබැවින් නිප්පෙසිකතා යයි කියනු ලැබේ.
නිප්පෙසිකතා යන පදයෙහි විස්තරය යි.
ලාභෙන ලාබං නිජිගිංසනතා.
“තත්‍ථ කතමා ලාභෙන ලාභං නිජිගිංසනතා? ලාභ සක්කාර සිලොකසන්නිස්සිතො පාපිච්ඡො ඉච්ඡාපකතො ඉතො ලද්ධං ආමිසං අමුත්‍ර හරති අමුත්‍ර වා ලද්‍ධං ආමිසං ඉධාහරති. යා එවරූපා ආමිසෙන ආමිසස්ස එට්ඨි ගවෙසි පරියෙට්ඨි එසනා ගවෙසනා පරියෙසනා අයං වුච්චති ලාභෙන ලාභං නිජිගිංසනතා”ති.[9]
එහි ලාභයෙන් ලාභය සෙවීම නම් කිම?
ලාභ සත්කාර කීර්‍තතිකාමි = පාපෙච්ඡ - ඉච්ඡාපකත - භික්‍ෂු මේ ගෙයින් ලත් ආමිෂය අනෙක් ගෙයකට ගෙනයයි. ඒ ගෙයින් ලත් ආමිෂය මේ ගෙට ගෙන යයි. මෙ බඳු වූ ආමිෂ පිළිබඳ යම් කැමැත්තෙක් සෙවීමෙක් නැවැත නැවැත සෙවිමෙක් වේ ද, එය ලාභයෙන් ලාභය සෙවීම යයි කියනු ලැබේ. යනු භාවයි. මුල පටන් ලත් භික්‍ෂාව ඒ ඒ ගෙවල දරුවන්ට දීලා අන්තයෙහි කිරිකැඳක් ලබා ගෙන ගිය භික්‍ෂුවගේ කථාව මෙහි දැක්විය යුතුවේ.
ආදි ශබ්දයෙන් “යථා වා පනෙකෙ භොන්තෙ සමණ බ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්‍ටා තෙ එව රූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති. සෙය්‍යථීදං? අඞ්ගං නිමිත්තං උප්පාතං සුපිනං ලක්ඛණං මූසිකච්ඡින්තං අග්ගිහොමං දබ්බිහොමං”[10] යනාදි වශයෙන් බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාළ අනේකවිධ පාප ධර්‍ම ගත යුතුය. “මේ ලෝකයෙහි ඇතැම් මහණ බමුණු කෙනෙක් සැදැහැවතුන් දුන් බොජුන් වළඳා මෙබඳු වූ තිරශ්චින විද්‍යායෙන් මිච්ඡාජීවයෙන් ජීවත් වෙත්. කෙබඳු තිරශ්චීන විද්‍යාවෙන් ද යත්? අඞ්ගශාස්ත්‍රය, නිමිත්ත ශාස්ත්‍රය, අග්නි ආදි උත්පාත ශාස්ත්‍රය, ස්වප්න ශාස්ත්‍රය, ලක්‍ෂණ ශාස්ත්‍රය, මීයන් වස්ත්‍රාදිය කෑ කල වන පල කීමය. මෙනම් ගින්නෙන් හෝම කළ කල මෙනම් සැන්දෙන් හෝම කළ කල මෙබඳු ඉෂ්ට විපාක වන්නේය යි දැක්වීම”ය යනු පාළියේ භාවය යි.
මෙසේ ආජීවය හේතු කොට ගෙන පණවා වදාළ සවැදෑරුම් ශික්‍ෂාපද ව්‍යතික්‍රමණය කිරීම වශයෙන් ද, කුහනා කපනා නෙමිත්තකතා නිප්පෙසිකතා ලාභෙන ලාභං නිජිගිංසනතාදි පාප ධර්‍මයන්ගේ වශයෙන් ද, දිවි පැවැත්වීම මිච්ඡාජීවය යි. ඒ සර්‍වාකාර මිථ්‍යා ජීවයෙන් වෙන්වීම ආජීව පාරිසුද්ධි සීලයයි. “එතං ආගම්ම ජීවතී ති ආජීවො - කො සො? පච්චය පරියෙසන වායාමො. පාරිසුද්‍ධි’ති පරිසුද්ධතා ආජීවස්ස පාරිසුද්ධි ආජීවපාරිසුද්ධි” යනු මෙහි වචනාර්ථයි.
ආජීව පාරිසුද්ධි සීලය නිමියේ ය.