නමො තස්ස භගවතො සම්මා සම්බුද්ධස්ස
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙවුරම් වෙහෙර වැඩ වසන කල්හි එක්තරා දේවපුත්‍රයෙක් එක් මධ්‍යම රාත්‍රියෙක උන්වහන්සේ කරා එළඹැ වැඳැ එකත්පස් වැ සිටැ මෙසේ විතාළේය.
“අන්තොජටා බහි ජටා - ජටාය ජටිතා පජා
තං තං ගොතම පුච්ඡාමි - කො ඉමං විජටයෙ ජටං[1]”
“ඇතුළත ද අවුල ය පිටත ද අවුල ය. මුළු සත්ත්‍ව වර්‍ගයා මේ අවුලෙන් අවුල් වැ සිටිති. ගෞතම සර්‍වඥයන් වහන්ස එබැවින් මම ඔබගෙන් විතාරමි. මේ අවුල කවුරු නිරවුල් කෙරෙත් ද” යනු එහි භාවයි.
හුණ ලැහැබෙක අතුපතුර මුල පටන් අග දක්වා ද අග පටන් මුල දක්වා ද හැසී ගැවැසී සිටිනා සේ තෘෂ්ණාව රූපාලම්බනයෙහි පටන් ධර්මාලම්බනය දක්වා ද ධර්මාලම්බන යෙහි පටන් රූපාලම්බනය දක්වා ද හැසී ගැවසී පවත්නේ ය. එබැවින් තෘෂ්ණාවට මෙහි දී ජටා හෙවත් අවුල යයි කියන ලදී. ඒ තෘෂ්ණාව වනාහි ස්වකීය ආත්ම භාව අධ්‍යාත්මික ආයතන පිළිබඳ වැ උපදනා කල අන්තො ජටා ඇතුළ අවුල යයි ද, පරකීය පරිෂ්කාර පරකීය ආත්ම භාව බාහිර ආයතන පිළිබඳ වැ උපදනා කල බහිජටා- පිටත අවුල යයි ද කියනු ලැබේ. තුන්ලෝ වැසි සියලු සත්ත්වයෝ මේ අන්තො ජටායෙන් හා බහිජටායෙන් අවුල් වැ සිටිති. යම් හෙයකින් අවුල් වැ සිටිත් ද එහෙයින් ගෞතම ස්වාමිදරුවාණෙනි මම ඔබවහන්සේගෙන් විචාරමි. මේ අවුල කපාලන්නට කවුරු සමර්ථ ද
මෙසේ පුළුවුත්නා ලද සර්‍වඥ ශාසතෘන් වහන්සේ ඒ දෙව් පුත්හු ගේ ප්‍රශ්නය විසඳන සේක්
යී වදාල සේක.
මේ ගාථාව වර්‍ණනා කිරීම් වශයෙන් අර්‍ථකථාචාර්‍ය්‍ය බුද්ධඝොස මහා ස්ථවිරයන් වහන්සේ සසුන් වැදැ පැවිදි වූ නිවන් කැමැති යෝගීන්ගේ ප්‍රමෝදය සඳහා මහා වීහාර වාසීන්ගේ පරිශුද්ධ විනිශ්චයයෙන් හා නානාවිධ දේශනා නයින් ප්‍රතිමණ්ඩිත වූ විශුද්ධිමාර්‍ග නම් උතුම් ධර්‍මග්‍රන්‍ථය පාළිභාෂායෙන් රචනා කරන ලද්දේය. පාළි භාෂාව නොදත් ශ්‍රද්ධා සම්පන්න බෞද්ධ සාධූන්ගේ ප්‍රයෝජනය සඳහා මවිසින් එය සිංහල භාෂාවට පරිවර්‍තනය කරනු ලැබේ. ආදර උපදවා සියල්ලන් විසින් ශ්‍රවණ ධාරණ කළයුතු.