සංඝානුස්මෘතිය වඩනු කැමැති යෝගී විසින් යට කීසේ රහසිගත වැ විවේක වැ හිඳැ “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා එස භගවතො සාවකසඞ්ඝො, ආහුනෙය්‍යො, පාහුන්‍යෙයා, දක්ඛිණෙය්‍යො, අඤ්ජලිකරණියො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස”[1] යි මෙසේ ආර්‍ය්‍යසංඝයාගේ ගුණ මෙනෙහි කළ යුතු යි.
“සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො,”
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ග සුපටිපන්න ය. සුපටිපන්න නම් සම්‍යක් ප්‍රතිපදාවට - අනිවර්‍තති ප්‍රතිපදාවට - අනුලොම ප්‍රතිපදාවට - අවිරුද්ධ ප්‍රතිපදාවට - ධර්‍මානුධර්‍ම ප්‍රතිපදාවට මනාව පිළිපන්නේ ය. (සම්‍යක් ප්‍රතිපදා නම් යහපත් ආර්‍ය්‍යමාර්‍ග ප්‍රතිපත්තිය යි. ඒ යහපත් - ආර්‍ය්‍යමාර්‍ග ප්‍රතිපත්තිය ප්‍රතිපක්‍ෂ වූ ක්ලේශයන් නැවත හැරී නො එන සේ දුරු කරන බැවින් අනිවර්‍තතිප්‍රතිපදා නම් වේ. අවබෝධ කැරැ ගත යුතු වූ නිර්‍වාණයට ඒකාන්තයෙන් අනුලොම් වන බැවින් අනුලෝම ප්‍රතිපදා නම් වේ. අනුලෝම බැවින් ම විරුද්ධ නො වන බැවින් අවිරුද්ධ ප්‍රතිපදා නම් වේ. නිර්‍වාණ ධර්‍මයට අනුරූප ස්වභාව ප්‍රතිපත්ති බැවින් ධර්‍මානුධර්‍ම ප්‍රතිපදා නම් වේ. මෙසේ සම්‍යක් ප්‍රතිපත්තියට පිළිපන් බැවින් ශ්‍රාවක සංඝ සුප්‍රතිපන්න යි. ශ්‍රාවකයෝ නම් භාග්‍යවතුන්ගේ අවවාද අනුශාසනා සකසා අසන්නෝ ය. (කළ වරද දැකැ කරන ධර්‍ම දේශනා අවවාද ය. කළ වරද නො දැක ආදියෙහි ම කරන ධර්‍ම දේශනා අනුශාසන යි. කළ වරද දැකැ හෝ ආදියෙහි කරන ධර්‍ම දේශනා අවවාද ය. පසු පසු වැ කරන ධර්‍ම දේශනා අනුශාසන යි. ඒ අවවාද අනුශාසනා පරිදි පිළිපැදීමෙන් කාර්‍ය්‍යය සිදුවන බැවින් ආර්‍ය්‍ය භාවයට පමුණුවන ඇසීම සකසා ඇසීම යි. මෙයින් ආර්‍ය්‍යයෝ ම නිෂ්පර්‍ය්‍යායයෙන් ශ්‍රාවකයෝ වෙති යි දත යුතු යි.) ශ්‍රාවකයන්ගේ සංඝ - සමූහ ශ්‍රාවක සංඝ ය ආර්‍ය්‍ය සීල සමානත්‍වයෙන් හා ආර්‍ය්‍ය දෘෂ්ටි සමානත්‍වයෙන් සමූහ භාවයට පැමිණි පිරිස මෙයින් කියනු ලැබේ.
“උජුපටිපන්නො භගවතො සාවකසංඝො”
“ඤායපටිපන්නො භගවතො සාවකසංඝො”
“සාමීචිපටිපන්නො භගවතො සාවකසංඝො”
‘භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සංඝ උජුපටිපන්න ය’
‘භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සංඝ ඤායපටිපන්න ය’
‘භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සංඝ සාමීචිපටිපන්න ය’
ඒ සම්‍යක් ප්‍රතිපදාව සෘජු ය, ගොමූත්‍ර වංක සේ හෝ වංක නැති බැවින් අවංක ය. චන්‍ද්‍ර වංක සේ වංක නැති බැවින් අකුටිල ය. නගුල් අග වංක සේ වංක නැති බැවින් අජිමභ ය. එ බඳු සෘජු - අවංක - අකුටිල - අජිම්භ ප්‍රතිපදාවට පිළිපන්නේ උජුපටිපන්න ය.
ඒ සම්‍යක් ප්‍රතිපදාව ඤාය ය. ඤාය නම් ආර්‍ය්‍ය වූ - නිර්දෝෂ උපාය යි. ඒ සම්‍යක්ප්‍රතිපදා සංඛ්‍යාත ආර්‍ය්‍ය වූ නිර්දෝෂ උපායයට පිළිපන්නේ ඤායපටිපන්න ය. (“අපණ්ණක භාවෙන ඤායමිති නිබ්බාණං තං වා ඤායති පටිවිජ්ඣි තෙනා ති ඤායො” අවිරුද්ධ බැවින් ඤාය යනු නිර්‍වාණය ය. ඒ නිර්‍වාණය යමකින් ප්‍රතිවේධ කරනු ලැබේ ද එය හෝ ඤායය යි එනම් සම්‍යක් ප්‍රතිපදාව යි. ආර්‍ය්‍ය මාර්‍ගය යි සේ යි.)
ඒ සම්‍යක් ප්‍රතිපදාව සාමීචි ය. සාමීචි නම් සසර දුකින් බැහැරලීමට සමර්‍ථ ය. සාමීචි සංඛ්‍යාත සසර දුකින් බැහැරලීමට සමර්ථ ප්‍රතිපදාවට පිළිපන්නේ සාමීචිපටිපන්න ය.
මේ දැක්වුණු අර්‍ථ වශයෙන් මාර්‍ගස්ථයෝ ම සුපටිපන්න ය. ඵලස්ථායෝ වනාහි ඒ සම්‍යක් ප්‍රතිපත්තියෙන් ලැබගත යුත්ත ලැබැගත් බැවින් අතීත ප්‍රතිපදාව ගෙනැ සුපටිපන්නයහ යි දත යුතු.
“මෙසේ ආදි පදයට අර්‍ථ නිර්‍දෙශ භාවයෙන් සෙසුපදයන් ගේ ද අර්‍ථ කියා ඉක්බිති සතර පදයන්ගේ අමිශ්‍ර වූ අර්‍ථ දක්වති.”
ස්වාක්ඛාත ධර්‍ම විනයයෙහි අනුශාසනා පරිදි පිළිපන් බැවින් ද, අවිරුද්ධ ප්‍රතිපදාවට පිළිපන් බැවින් සුපටිපන්න ය. උභයාන්තයට නො ගොස් මධ්‍යම ප්‍රතිපදාවට පිළිපන් බැවින් ද, කය-වචන-සිත යන තන්හි ඇද-කුද දුරු කිරීම පිණිස පිළිපන් බැවින් ද උජුපටිපන්න ය. ඤාය නම් නිර්‍වාණය යි. ඒ ඤාය පිණිස පිළිපන් බැවින් ඤායපටිපන්න ය. යම් පරිදි පිළිපන් කෙනෙක් අනුන් විසින් කරනු ලබන උපස්ථානාදි සාමීචියට සුදුසු වෙද් ද එසේ පිළිපන් බැවින් සාමීචිපටිපන්න යි.
“යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එස භගවතො සාවකසංඝො, ආහුනෙය්‍යො, පාහුනෙය්‍යා, දක්ඛිණෙය්‍යො, අඤ්ජලිකරණියො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.”
‘යම් මේ පුරිස යුග සතරෙක් වේ ද පුරුෂ පුද්ගලයෝ අටදෙනෙක් වෙද් ද, භාග්‍යවතුන් වහන්සේ මේ ශ්‍රාවක සංඝ ආහුනෙය්‍ය ය, පාහුනෙය්‍ය ය, දක්ඛිණෙය්‍ය ය, අඤ්ජලිකරනීය ය. ලෝකයාගේ නිරුත්තර පුණයක්‍ෂෙත්‍ර යි.
පුරිස යුග සතර නම් - සොතාපත්ති මාර්‍ගස්ථ-ඵලස්ථ එක් පුරිස යුගයෙක සකෘදාගාමි මාර්‍ගස්ථ-ඵලස්ථ එක් පුරිස යුගයෙක අනාගාමි මාර්‍ගස්ථ-ඵලස්ථ එක් පුරිස යුගයෙක. අර්‍හත් මාර්‍ගස්ථ ඵලස්ථ එක් පුරිස යුගයෙකි.
පුරුෂ පුද්ගලයෝ අටදෙන නම් තෙලේ සතර යුග වෙන් වෙන් වූවෝ යි. පුරුෂයනුදු පුද්ගලයනුදු ඒකාර්‍ථ යි. වේනෙය්‍ය වශයෙන් මෙසේ එක් කොටැ වදාරන ලදී.
යුග වශයෙන් සතරෙක් ද, පුද්ගල වශයෙන් අටෙක් ද වූ මේ භාග්‍යවතුන්ගේ ශ්‍රාවක සංඝ ආහුනෙය්‍ය ය. ආහුන යනු ගෙනවුත් දිය යුත්ත ය. දුරින් හෝ ගෙනවුත් සිල්වතුන් කෙරෙහි දිය යුතු සිව්පස ආහුනය යි කී සේ යි. ඒ ආහුනයට සුදුස්සේ ආහුණෙය්‍ය ය. පිළිගැන්වූවනයට මහත් ඵල සිද්ධ කරන බැවිනි. තවද දුර සිටැ හෝ අවුත් සියලු වස්තුව යම් තැනෙක හෝම කළ යුතු ද - පිදිය යුතු ද, ඒ ආභවනීය ය. ශක්‍රාදීන් විසින් පවා හෝම කළ යුතු. පිදිය යුතු දානයට සුදුසු වූයේ හෝ ආහවනීය ය. බ්‍රාහ්මණයන්ගේ ආහවනීය නම් වූ ගින්න හෝම කරන ලද්දේ මහත් ඵල දෙන්නේ යයි ඔව්හු විශ්වාස කරති. එසේ ම සංඝයා ද පුදන ලද්දේ මහත් ඵල දෙන්නේ ය. වදාළේ මැ යි.
“යො චෙ වස්සසතං ජන්තු - අග්ගිං පරිවරෙ වනෙ
එකං ච භාවිතත්තානං - මුහුත්තමයි පූජයෙ
සා යෙව පූජනා සෙය්‍යො - යං චෙ වස්සසතං හුතං”[2]
‘යම් මනුෂ්‍යයෙක් ශත වර්‍ෂයක් මුළුල්ලෙහි වල්හි වසමින් ගිනි දෙවියා පුදන්නේ ද, යම් මනුෂ්‍යයෙක් එක මොහොතකුදු භාවිතාත්මයන් පුදන්නේ ද අර ශත වර්‍ෂ පූජාවට වඩා මේ මුහුර්‍ත පූජාව ශ්‍රෙෂ්ඨ ය’ යනු අර්‍ථ යි.
සර්‍වාස්තිවාදි නිකායිකයෝ ආභවනීය යනු ආහුනෙය්‍ය වී යයි කියති. ව්‍යඤ්ජන වශයෙන් එහි මඳ වෙනසෙක් ඇත ද අර්‍ථ වශයෙන් සමාන යි.
“පාහුනෙය්‍යා”
පාහුන නම් දිශානුදිශායෙන් පැමිණෙන ප්‍රිය මනාප ඥාති මිත්‍රයන් උදෙසා ගෞරවයෙන් පිළියෙළ කළ ආගන්තුක භෝජනය යි. එය ඔවුන්ට නො දී පවා සංඝයාට දිය යුතු ය. සංඝයාම එය පිළිගන්නට සුදුසු ය. සංඝයා බඳු පාහුතකයන් නැති බැවිනි.
ඒ එසේ මැ යි:- සංඝයා වනාහි එක් බුද්ධාන්තරයක් ඉක් මැ ගිය කල්හිම, අසංඛ්‍ය ගණන් කල්ප ඉක්ම ගිය කල්හි ම දැකැ ගන්නට ලැබේ. සෙසු පාහුනකයෝ මුළු දා දැක්ක හැකි ය. එසේ ම සංඝයා ප්‍රතිපක්‍ෂයන් විසින් අසම්මිශ්‍ර ය. ප්‍රිය මනාප බැව් වඩන ශීලාදි ධර්‍මයෙන් සමන්විත ය. මෙසේ පාහුනය දෙන්නට සුදුසු ය, පාහුනය පිළිගන්නට සුදුසු ය. යන අර්‍ථයෙන් සංඝයා පාහුනෙය්‍ය වේ. (“ඥාති මිත්‍රයෝ විප්‍රවාසයට ගියාහුද නොබෝ කලකින් ම එති. ඔවුන් කෙරෙහි ප්‍රිය මනාප බව ද අනවස්ථිත ය. ආර්‍ය්‍ය සංඝයා කෙරෙහි වනාහි නො එසේ නු යි. සංඝ තෙමේ පාහුනෙය්‍ය නම් වේ” යනු අභිප්‍රාය යි.
ඇතැම්හු “පාහුනෙය්‍යො” යනු පාභවනීයො” යි කියති. සියල්ලට පළමු වැ ගෙන වුත් හෝම කළ යුතු ය, පිදිය යුතු ය. යනු එහි අර්‍ථ යි. සංඝයා පූර්‍වකාරයට සුදුස්සේ ය. සර්‍වප්‍රකාරයෙන් හෝ පිදිය යුත්තේ පාභවනීය ය. (මුල තන්හි ප කාරය ආදි කමාර්‍ථ ය දෙවන තන්හි ප්‍රකාරාර්‍ථ යි) පාහුනෙය්‍යො යනුදු ඒ අර්‍ථයෙන් කියනු ලැබේ.
“දක්ඛිණෙය්‍යො”
දක්ඛිණා නම් පරලොව සුව තකා දිය යුතු දානය යි. දක්ඛිණාවට සුදුසු වූයේ හෝ දක්ඛිණාවට හිත වූයේ හෝ දක්ඛිණෙය්‍ය ය. සංඝයා වනාහි මහත් ඵල කිරීම් වශයෙන් දක්‍ෂිණාව පිරිසිදු කරන්නේ යි.
“අඤ්ජලිකරණීයො”
දොහොත් මුදුණෙහි තබා සියලු ලෝකයා විසින් කරනු ලබන අඤ්ජල කර්‍මයට සුදුසු වූයේ අඤ්ජලිකරණීය යි.
“අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස”
ලෝකයාගේ නිරුත්තර පින් කෙත ය. අසදෘශ වූ පින් පල දෙන ස්ථානය යි සේ යි. රජ්ජුරුවන්ගේ හෝ ඇමතියන්ගේ හෝ හැල් හෝ යව හෝ පැලවෙන තැන රජ්ජුරුවන්ගේ හැල් කෙත ය යව කෙත ය, ඇමැතියන්ගේ හැල්කෙත යව කෙත යි කියන්නා සේ සියලු ලෝකයාගේ පින් පැලවෙන තැන ලෝකයාගේ පින් කෙතය යි කියත්. සංඝයා නිසා ලෝකයාගේ නානාවිධ හිතසුව එළවන පින් නැඟෙන්නේ ය. එහෙයින් සංඝයා ලෝකයාගේ අනුත්තර පුණ්‍යක්‍ෂෙත්‍රය යි.
මෙසේ සුපටිපන්නතාදි සංඝ ගුණ සිහිකරත් ම ඒ යෝගීහුගේ සිත රාගයෙන්, ද්වේෂයෙන් මෝහයෙන් අභිභූත නො වන්නේ ය. සෘජු ම වන්නේ ය. එයින් නීවරණ විෂ්කම්භනය වන්නේ ය. නීවරණ විෂ්කම්භනය වත් ම එවිට ම ධ්‍යානාඞ්ග උපදනේ ය. සංඝගුණ ගැඹුරු බැවින් ද, නානාවිධ සංඝ ගුණ සිහිවන බැවින් ද ධ්‍යානය අර්‍පනා ප්‍රාප්ත නො වැ උපචාර ප්‍රාප්ත වන්නේ ය. සංඝ ගුණ සිහි කිරීමෙන් ලැබුනු බැවින් මෙය සංඝානුස්මෘතිය යි කියනු ලැබේ.
මේ සංඝානුස්මෘති භාවනායෙහි යෙදුණු යෝගාවචර සංඝයා කෙරෙහි සගෞරව, සප්පතිස්ස වන්නේ ය. ශ්‍රද්ධාදියෙන් විපුලත්‍වයට පැමිණෙන්නේ ය. ප්‍රීති-ප්‍රමොද්‍ය බහුල වැ භයහෙරවසභ වැ දුක් ඉවසීමෙහි ද සමර්‍ථයෙක් වන්නේ ය. සංඝයා සමග සහවාස සංඥාව ලබන්නේ ය. සංඝානුස්මෘතියෙන් යුත් ඔහුගේ ශරීරය පවා සංඝයා රැස් වූ පොහෝ ගෙයක් මෙන් පූජාර්‍භ වන්නේ ය. සංඝගුණාධිගමය සඳහා ඔහුගේ සිත නැමෙන්නේ ය. ශික්‍ෂා ව්‍යතික්‍රමයක් සඳහා සිත නැඟෙත්ම සංඝයා සම්මුඛයෙහි පෙනී ගියා සේ හිරි-ඔතප් එළඹැ සිටින්නේ ය. මතු ධ්‍යාන-මාර්‍ග - ඵල නොලබන්නේ සුගතිගාමි වන්නේ යි.
“තස්මා භවෙ අප්පමාදං - කයිරාථ සුමෙධසො,
එවං මහානුභාවාය - සංඝානුස්සතියා සදා.”
‘මෙසේ හෙයින් මහානුභාව ඇති සංඝානුස්මෘතිය සඳහා සුප්‍රාඥ එකාන්තයෙන් අප්‍රමාද වන්නේ යි’
සංඝානුස්මෘති භාවනා විධිය යි.