එක් කලෙක බෝසතාණන් වහන්සේ බමුණු කුලයක ඉපද වැඩිවිය පැමිණ තක්සලා නුවර දිසාපාමොක් ආචාරීන් වෙතට ගොස් එහි සිප් උගන්නා පන්සියයක් මාණවකයන්ට ප්‍රධාන ව ශිල්ප උගනිමින් උන්හ. දිසාපාමොක් ඇදුරුතුමාගේ තරුණ දියණියක් ද වූවාය. ඒ ඇදුරුතුමා තමා වෙත ශිල්ප ඉගෙන ගන්නා මාණවකයන් පරීක්ෂා කොට ඔවුන් අතුරෙන් සිල්වත් කෙනකුට තමාගේ දියණිය දෙන්නට සිතා එක් දවසක් මාණවකයන් සෑම දෙනා ම අමතා කියනුයේ “දරුවෙනි, මාගේ දියණියට විවාහ මංගලයක් කරන්නට දැන් කාලය පැමිණ තිබෙන්නේය. ඒ සඳහා ඇයට ඇඳුම් පැළඳුම් වුවමනාය. නුඹලා තම තමාගේ නෑ ගෙවලින් ඇඳුම් පැළඳුම් සොරා ගෙනවුත් මට දුන මැනව. අනෙකකු දන්නා පරිදි ගෙන ආ දෙයක් මම නො පිළිගන්නෙමි. මෙය සොරෙන් ම කරන්නට ඕනෑ ය”යි කීය.
මාණවකයෝ ද මැනව යි පිළිගෙන තම තමාගේ නෑ ගෙවලට ගොස් තම තමාට අසුවූ වස්ත්‍රාභරණ සොරා ගෙනවුත් ඇදුරුතුමාට දුන්හ. එතුමා ද ගෙනෙන ගෙනෙන ලද දෙය සලකුණු කොට වෙන් වෙන් ව තබා ගත්තේ ය. බෝසතාණන් වහන්සේ පමණක් කිසිවක් නො ගෙනාහ. ඉක්බිති ඇදුරුතුමා බෝසතාණන් වහන්සේට කියනුයේ “දරුව, අන් සෑම දෙනා ම මාගේ දියණිය පිණිස වස්ත්‍රාලංකාරයන් ගෙන ආවෝය. නුඹ පමණක් කිසිවක් නො ගෙනාවෙහිය”යි කීය. එකල්හි බෝසතාණන් වහන්සේ තමා වස්ත්‍රාභරණ නො ගෙන ඒමට කාරණය පවසන්නාහු. –
“නත්ථි ලෝකේ රාහෝ නාම - පාපකම්මං පකුබ්බතෝ
පස්සන්ති වන භූතානි - තං බාලො මඤ්ඤතේ රහෝ
-
අහං රහෝ න පස්සාමි - සුඤ්ඤං වාපි න විජ්ජති
යත්ථ අඤ්ඤං න පස්සාමි - අසුඤ්ඤං හෝති තං මයා”
“ආචාර්යයෙනි, පව් කරන්නා වූ තැනැත්තා හට ලෝකයෙහි රහස් තැනක් නම් නැත. පාපය මිනිසුන් නුදුටුයේ ද වන දෙවියෝ හෝ දක්නාහුය. එය අඥයා රහසකැ යි සිතන්නේ ය. මම වනාහි පව් කිරීමට රහස් තැනක් නො දැක්කෙමි. කිසිවකු නැති හිස් තැනක් ද ලොව නැත්තේ ය. යම් තැනක අනෙකකු නො දක්නෙම් ද එබඳු තැනක් නැති බැවින් මට පාපය රහසක් නො වන්නේ ය. ඔබ පිළිගනුයේ ද රහසින් ගෙනා දෙයක්ම ය. එබැවින් මම කිසිවක් නො ගෙනාවෙමි”යි කීය. දිසාපාමොක් ඇදුරුතුමා බෝසතාණන් කෙරෙහි පැහැදී දියණිය බෝසතාණන්ට විවාහ කර දිණ. අන්‍යයන් සොරා ගෙන ආ බඩු නුඹලාගේ ගෙවලට ම ගෙන යව් ය යි ඔවුනට ම දුන්නේ ය.
මේ බෝසත් සිරිත ආදර්ශයට ගෙන මායාව නමැති චිත්තෝපක්ලේශය චිත්තවඞ්කතාව දුරු කරගෙන සෘජු ගුණයෙන් යුක්ත වී නියම සත්පුරුෂයෝ වෙත්වා!