10. සාඨෙය්‍යං චිත්තස්ස උපක්කිලේසෝ

තමා කෙරෙහි අවිද්‍යමාන ගුණ ඇති සේ දක්වන්නා වූ ද, සමහර භාණ්ඩවල බඩුවල නැති ගුණ, නැති ස්වභාවයන් දක්වන්නා වූ ද, එක් අදහසකින් කරන ක්‍රියාවක් අනිකක් පිණිස කරන්නා වූ දෙයක් සේ දක්වන්නා වූ ද කෛරාටික භාවය සාඨෙය්‍ය නමි. රවටන ස්වභාවයයි ද එයට කියනු ලැබේ. ධර්ම වශයෙන් කෛරාටික බවය යනු පව් කිරීමෙහි උපාය සිතීම් වශයෙන් පවත්නා වූ ප්‍ර‍ඥාවක් නොවූ ප්‍ර‍ඥා ප්‍ර‍තිපරූපක මෝහය යි. මෙය ප්‍ර‍ඥාවට සමාන වන බැවින් පරමාර්ථ ධර්මයන්ගේ විශේෂ විභාග නොදන්නෝ ප්‍ර‍ඥාව යයි කියති. නමුත් කෛරාටික බව ප්‍ර‍ඥාව නොවේ. කිසිවක් ආවරණය කරන ස්වභාවයක් ප්‍ර‍ඥාවෙහි නැත. කෛරාටිකයාට ඒ ඒ පව් සිදු කිරීමේ උපාය පෙනෙනුයේ, වඤ්චාවෙහි හා වඤ්චාවෙන් කරන්නට යන පාප කර්මයාගේ ද ආදීනව වසාගෙනය. ඒ ආදීනව පක්ෂය මුවාවන්ට වන්නට පව් කිරීමේ උපාය වඩ වඩා වැටහෙන්නේ ය. මෙසේ ආදීනව පක්ෂය වැසීම ඇති නිසා කෛරාටික බව ප්‍ර‍ඥාව නොව මෝහය ම යයි දතයුතු. කෛරාටික බව වූ වඤ්චක ස්වභාවය ඒකාන්ත කුශලයකි. කුශල සිත් සියල්ලෙහි ම ඒ ඒ සිත්වල හා සම්ප්‍ර‍යුක්ත චෛතසිකයන්ගේ ද වංක බව දුරු කොට සෘජු බව සිදුකරන්නා වූ කායුජුකතා, චිත්තුජුකතා චෛතසිකයෝ ඇතහ. ඒ දෙකින් වියුක්ත වූ එකද කුශල් සිතක් නැත. කෛරාටික කම වනාහි අවංක බව නොව වංක බවයි. එබැවින් එය කිසි කලෙක කුශලයක් විය නොහේ. අකුශලයක් වුවහොත් එය ඒකාන්තයෙන් මෝහයෙන් යුක්ත වෙයි. මෝහයෙන් වෙන්ව උපදනා අකුශල සිතක් නැති බැවිනි. අන්‍යොන්‍ය විරුද්ධ වූ මෝහ ප්‍ර‍ඥා දෙක කිසිකලෙක එක් සිතෙක නො යෙදේ. එබැවින් කෛරාටික බව අකුසලයක් වීමෙන් ද ප්‍ර‍ඥාන නොව, මෝහය ම බව දත හැකි ය.

කෛරාටි බව වූ මේ මෝහය සිත්හි හටගත් කල්හි සිතට බබළන්නට නො දෙයි. අඳුරු කරයි. එබැවින් එය චිත්තෝපක්ලේශයකි. මෙයින් සිත අඳුරු වීම කොතරම් ද කියතහොත්, මෙය සිත්හි හටගත් කල්හි පාපයෙහි ආදීනවය සම්පූර්ණයෙන් වැසීමෙන් ඒ පුද්ගලයා මම කිසිවකුට නොරැවටෙමිය, කිසිවකුගේ ගැටයකට උගුලකට අසු නො වෙමිය, නමුත් මට නම් අන්‍යයන් රැවටිය හැකි ය. ගැටවලට අසු කළ හැකිය කියා ආඩම්බර ද වෙයි.

නැති ගුණ දක්වන කෛරාටිකයෝ ආඳුන් වැනි වෙති. ආඳුන්ගේ හිස් සර්පයන්ගේ හිස් වැනිය. වල්ගය මසුන්ගේ වැනිය. ඌ සර්පයන් දුටු කල්හි වල්ගය සඟවා හිස දක්වා සර්පයකු බව අඟවන්නේ ය. මසුන් දුටු කල හිස සඟවා ඔවුන්ට වල්ගය දක්වා තමා ද මසකු බව අඟවන්නේ ය. එසේ ම කෛරාටිකයෝ අනිකකුගෙන් යම්කිසි ප්‍රයෝජනයක් ලබනු රිසි වූ කල්හි ඒ තැනැත්තා කරා ගොස් අන්‍යයන්ගේ නුගුණ කියා ඔහුගේ ගුණ කියා තමාගේ නැත්තා වූ පක්ෂ බව හිතවත් බව පවසා සිත් ගෙන ප්‍රයෝගයෙන් තමාගේ කටයුත්ත සිදු කර ගනිති. නැවත පළමු අගුණ කී තැනැත්තා වෙත ගොස් ඔහුගේ ගුණ කියා අනික් තැනැත්තාගේ අගුණ කියා ඔහුට පක්ෂපාත බව හා හිතවත් බව දක්වා එතනින් ද තමාගේ අදහස් සිදු කර ගනී.

ඇතැම් කෛරාටිකයෝ තමා කෙරෙහි නැත්තා වූ සිල්වත්කම් ආදි තමා කෙරෙහි නැති ගුණ දක්වා ලොව පුළා කරවති. එසේ කරනුවන් බොහෝ සෙයින් ඇත්තේ පැවිද්දන් අතරය. ඔවුහු මිනිසුන් මුළා කරවා ලාභ ලබනු පිණිස පරණ දුර්වල සිවුරු දැරීම්, සුවපහසු නැති අසුන්වල විසීම්, කැපවූ ද ඇතැම් වස්තූන් පරිභෝග නො කිරීම්, අනුන්ගේ අගුණකීම් ආදියෙන් තමන් අන්‍යයන්ට වඩා සිල්වත් බව ලොවට අඟවති. ඇතැමෙක් වඩ වඩා ප්‍ර‍ත්‍යය ලබන අටියෙන් දායකයන් විසින් යම්කිසි දෙයක් පුදන්නට යන විට ඕවා හොඳ වැඩිය, ඕවා සිල් රක්නවුන්ට ඕනෑ නැත. ඕවා ලෝභය වැඩි කරන දේවල්ය යනාදීන් කියා ප්‍ර‍තික්ෂේප කිරීමෙන් තමාගේ ගුණවත් බව අඟවති.

අනු මාතෘකා
keyboard_arrow_rightකූට භික්ෂුවක්
keyboard_arrow_rightකූට තවුසා