ඔහු එහි පොකුණු තෙර ඇඳ තබා නාන්නට දියට බටහ. දෙව්දත් තෙර ද ඇඳෙන් නැඟිට දෙපා බිම තබා හුන්නේ ය. එ කෙණෙහි පොළොව පැළී ක්‍රමයෙන් දෙව්දත් එහි ගිලුණේ ය. බෙල්ල දක්වා ගිලී හනු ඇටය පොළොවැ සැපී සිටි කල්හි,
“මේ හනුකාස්ථින් නිමිතිකොට ගෙන නො හොත් මේ කරුණු කොට, අග්‍ර පුද්ගල වූ දෙවියනට අධිදේව වූ පුරුෂදම්‍ය සාරථි වූ සමතැස් ඇති සිය පින් ලකුණු ඇති ඒ සර්වඥයන් වහන්සේ දිවි හිමියෙන් සරණ ගියෙම් වෙමි.” යි කියා බුදුන් සරණ ගියේ ය. හෙ තෙම පොළෙහි ගිලී මැරී අවීචි නිරයෙහි උපන්නේ ය.
දෙව්දත් තෙරුන් පොළේහි ගිලුණු බව භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ ට සැළ කළහ. මේ කාරණය ඇරැබ එයින් පෙරත් දෙව්දතු තමන් වහන්සේට ද්‍රෝහි ව පොළෝහි ගිලුණු බව දැක්වීම් වශයෙන් ඡද්දන්ත ජාතකය ද එ ගැන කථා ඇති වූ තවත් අවස්ථාවල දී ක්ෂාන්තිවාදී ජාතකය හා චුල්ල ධම්මපාල ජාතකය ද, දෙව්දතු ගේ මරණයෙන් බොහෝ නුවර වැස්සන් සතුටුවන බව භික්ෂූන් දැන් වූ විට, පෙරත් ඔහු මළ කල මහ ජනයා සතුටු වූ බව දක්වමින් පිංගල ජාතකය ද වදාළ සේක.
“දෙව්දත් තෙර කොහේ උපන්නේ දැ?” යි භික්ෂුහු ඇසූහ. අවීචි නිරයේ උපන් බව වදාරා
“පව් කරනා මේ ලොව ද තැවේ. පරලොව ද තැවේ. “මා විසින් පව් කරන ලදැ”යි සිත සිතා මෙලොව දී තැවේ. දුගතියට ගොස් දුක් විපාක විඳිමින් බොහෝ සෙයින් තැවේ.” යැයි176 වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ දෙව්දතුද ඇරැබ ඒ අවස්ථාවෙක දී,
දෙව්දතු ගේ අනාගතය
“දෙව්දත් මෙසේ අපරාධකාරයකු වුවත් පෙර බොහෝ කල් පැරුම් පිරුවෙකි යි” ද නිරයෙන් මිදී අවුත් පින් දහම් පුරා මතු කලෙක සට්ඨිස්සර නම් පසේ බුදු වන්නේ177 යැ” යි වදාළ සේක.