පිය රජුන්ගේ මරණයෙන් පසු අජාසත් රජුට කිසි ම දිනෙක සුවසේ නිදා ගත හැකි නො වී ය. “නිදමි” යි ඇස් පියා ගත්තේ අදිසියෙන් බිය ව ඇස් හරී. දෙව්දතු පොළො ගිලීම අසා රජ වඩාත් බිය විය.
මෙසේ කල් යවන රජ රාත්‍රියෙහි “කිසි උතුමකු දක්නට යමැ” යි සිතයි. නිගණ්ඨනාතපුත්තාදී ෂට් ශාස්තෘන් බැලීමට වෙන වෙන ම ස වරක් මෙසේ හෙ තෙම ගියේ ය. තමා ගේ සැක දුරු කැරැලීමට ඔවුන් අසමර්ථ වූ බැවින් එයින් පසු ඔවුන් වෙත නො ගියේ ය.
හේ සඳ රැසින් යුත් එක් රැයෙක “කිසි උතුමකු දක්නට යමි” යි සිතා ඇමැතියන් විචාළේ ය. ඔවුන් නිගණ්ඨනාතපුත්තාදීන් ගේ නම් සඳහන් කළ විට රජ තුෂ්ණිම්භූත විය. කොමාරභච්ච ජීවක වෙදහු අතින් පුළුවුත් විටැ “බුදුරජුන් වහන්සේ දක්නට යෑම මැනැව”යි හේ කී ය.
ඉක්බිති රජ සිය පිරිස් කැටුව ගොස් භාග්‍යවතුන් වහන්සේ දැක පිළිසඳර කථා කොට, මහණ දම් පිරීමෙන් මෙම අත්බව්හි ලැබෙන ඵල විචාළේ ය. භාග්‍යවතුන් වහන්සේ එය විස්තර කොට වදාළ සේක. මෙය දික් සඟියේ සාමඤ්ඤඵල සූත්‍රය නමින් ඇතුළත්ව ඇත. රජ ඒ ධර්ම කථාව අසා පැහැද තෙරුවන් සරණ ගිය උපාසකයෙක් විය. තමා කළ ද්‍රෝහිකම් සඳහන් කොට ඒවාට ක්‍ෂමාව ද ඉල්ලී ය. භාග්‍යවතුන් වහන්සේ ක්ෂමාව දී ආයතිසංවරයෙහි පිහිටීමේ අගය වදාරා රජු සැනසූ සේක. රජ භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට පිටත් ව ගියේ ය. එ තැන් සිට රජුට රාත්‍රියේ නිදිවැරීම අවශ්‍ය නොවී ය. හොඳට නින්ද ගියේ ය. පියා නො මැරැවී නම් මෙ රජ එදා ම සෝවාන් විය හැකි ව සිටියේ ය. මොහු තරම් ලෞකික ශ්‍රද්ධාවෙන් සමන්විත අන් කිසිවෙක් නො වීය.