එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් රටැ සැරි සරා වඩනාසේක් කාලාම නම් ක්‍ෂත්‍රියයන් වසන කේසපුත්ත නම් නියම් ගමට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩි බව ඇසූ කාලාම ගොත්‍රිකයෝ ඔබ කරා පැමිණියහ. සමහරු වැඳ ද සමහරු තමන් නම අස්වාද සමහරුන් කිසිත් නො කොට නිහඬ ව ද පසෙක ඉඳගත්හ. එසේ හුන් ඔවුන් හැම වෙනුවෙන් එක් කාලාමයෙක් භාග්‍යවතුන් වහන්සේ ට මෙසේ කරුණක් සැළකෙළේ ය. “වහන්ස මේ කේසපුත්ත නිගමයට කලින් කල නානාවිධ මහණ බමුණෝ එති. ඔහු එකෙක් අනෙකා කී දැයට විරුද්ධව කියති. අනෙකා හෙලා දකිති. ඔවුන් ගේ කථා ඇසූ අපට කවුරු ඇත්ත කියද් ද? කාගේ බස පිළිගත යුතු ද? යි සැක ඇති වෙයි, මෙය කෙසේ විසඳා ගනිමෝ දැ”යි කීහ.
එවිට භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්,
“කාලාමයෙනි, එබඳු එකට එකක් විරුද්ධ කථා අහන විට ඔබට සැක ඇති වනු සුදුසු ම ය. සැක කටයුතු කරුණෙහි ම ඔබ කාටත් සැක ඇති වී ඇත. කාලාමයෙනි, ළදරු කලැ සිට අසා ඇති පමණින් මේ ඒකාන්ත සත්‍යයෙකැයි නො පිළිගන්න.(කථාවල සැබෑත් ඇතිවිය හැක්ක, බොරුත් තිබිය හැක්ක) පරම්පරාවේ පිළිගෙන රැක ගෙන තිබුණු පමණිනුත් සත්‍ය ම යැ යි නො පිළි ගන්න (මුතුමිත්තන් පරම්පරාවේ රැක ගෙන ආ දැයෙහිත් හැබෑත් තිබිය හැක්ක, බොරුත් තිබිය හැක්ක). “මෙන්න මෙහ ම ලු” යි යමක් ආරංචි වූ පමණෙනුත් නිගමනයට නො පැමිණෙන්න (එසේ තියෙන දැයේ ඇත්තත් නැත්තත් තිබිය හැක්ක). අප ඉගෙන ගත් පොතේ දැක්වෙන දැය හා ගැළැපේ යැ යි කියාත් එපමණින් සත්‍ය යැ යි නො පිළිගන්න (පොතේ ඇති ඇතැම් දෑ හරි වන්නටත් හැකි ය. ඇතැම් දෑ වැරැදි වන්නටත් හැකි ය). කෙනෙකු තර්ක විතර්ක කොට කී ඔහුගේ සංකල්පය ඇසූ පමණින් නො පිළිගන්න (එහිත් හරි දෑත් ඇතිවිය හැක්ක වැරැදි දෑත් ඇති විය හැක්ක) මේ යුක්තිය අනුව මෙසේ වියැ යුතු යැ යි අනුමානයෙන් බැස ගත් නය ක්‍රමයක් පෙන්වා කී පමණිනුත් නො පිළිගන්න.(අනුමානයෙන් සිතා ගන්නා දැයෙත් හරිදෑ මෙන් ම වැරැදි දෑත් ඇති විය හැක්ක). තමන් කල්පනා කරන ආකාරයෙන් එක එක දෑ කියන්නහුගේ කථාත් එ පමණින් නො පිළිගන්න (ඇතැම් එවැනි කතා හරි වන්නටත් පිළිවන, ඇතැම් දෑ වැරැදි වන්නටත් පිළිවන). කරුණු සිතා ගෙන යන විට තමනට රිසි වූ කරුණක් දැක එය ප්‍රත්‍යක්‍ෂ සත්‍යයක් සේ දැඩිකොට සිතින් ගෙන කියා පාන කථාවන් ඇසූ පමණින් නො පිළිගන්න (එවැන්නෙහි ද හරි දෑත් තිබිය හැකි, වැරැදි දෑත් තිබියැ හැකි). පිටතට පැනෙන සැටිය බලා මේ තෙම පිදියැ යුතු ගුණ ඇත්තෙකැ යි සිතා ඔහු කී පමණිනුත් ඒ කී දෑ නොපිළිගන්න.(සිල්වත්කම තිබුණ පමණින් ඔහු කියන සියල්ල ම හරි විය නො හැක්ක.) මේ මහණ තෙම අපේ ගුරුවරයා යි සලකා ඔහු කී පමණින් නො පිළිගන්න (මහණහට ද ගුරුනට ද වරදින දෑ කොතෙකුත් ඇත.)
මේ දෑ කුසල් යැ යි මේ දෑ අකුසල් යැ යි තම නුවණින් ම සලකා බලා තමන් අත්දැක්මෙන් ම දැන, මේ කුසල් යැ මේ අකුසල් යැ, මේ නුවණැත්තන් වැණූ දෑ යැ මේ නුවණැත්තන් ගැරහූ දෑ යැ යි වැටහුණු කල ඒ අකුසල් අත හරින්න, කුසල් කරන්න. කාලාමයෙනි, ලෝභය තමන් සිතැ ඇති වූ විට එයින් හොඳක් වේ ද නරකක් වේ දැ යි තුමූ ම සිතා බලවු සිතැ හටගන්නා ලෝභයට වහල් වීම නිසා සතුනුත් මරයි සොරකමුත් කරයි පරදාර සේවනයත් කරයි, බොරුත් කියයි, අනුන් ලවාත් ඒ දෑ කරවයි. එයින් ඔවුනට වන්නේ අවැඩක්ම ය.
ද්වේෂයෙන් (තරහවෙන්) ඇවිස්සුණු තැනැත්තේ ත් ඒ ප්‍රාණවධාදිය කරයි, මුළාව (මෝඩ බව) ඇති වූ කල ද එයට වහල් වූයේ ප්‍රාණවධාදී ඒ සියලු වැරැදි කරයි. එයින් අවැඩ ම වෙයි.
ඉතින් කාලාමයෙනි, මේ ලෝභ, ද්වේෂ, මෝහ යන තුන කුසල් ද අකුසල් ද?
“අකුසල් ය, වහන්ස.”
“ඉතින් කාලාමයෙනි, ළපැටි කල පටන් ඇහූ දෑ ය කියා එපමණින් නො පිළිගන්න යනාදීන් කීයෙත් තුමූ ම සිතා බලා වටහා ගන්නැයි කීවේත් මෙසේ කරුණු තවත් දුරට හිතා බලා ඒවායේ ආදීනව හෝ ආනිසංස හෝ සලකා බලා නිශ්චයයට බසිනු පිණිසය.
කාලාමයෙනි, අලෝභය අද්වේෂය අමෝහය සිතැ ඇති වූවොත් එකී ප්‍රාණ වධාදි නපුරු දෑ නොකරයි.
“ඉතින් ඒ කුසල් ද අකුසල් ද වැරැදි දෑ ද, නිවැරැදි දෑද?”
“කුසල් ය, වහන්ස, නිවැරැදි දෑය, වහන්ස,”
“ළපැටි වියේ සිට අසා ඇති පමණින් නො පිළිගන්න යන ආදීන් මා කීයේ මෙසේ තමන් ම සිතා බලා ආදීනව ඵල විපාක සලකා බලා කුසල් අකුසල් හැඳින අකුසල් අතහැර කුසල් කරන්නට ය.
කාලාමයෙනි, මෙසේ තමා ම සිතා බලා කුසල් අකුසල් හැඳින ගත් ආර්ය ශ්‍රාවකයා ඒ ලෝභ ද්වේෂ මෝහයන් මැඩ, සිහිනුවණින් යුතු ව මෛත්‍රී කරුණා මුදිතා උපෙක්ෂා යන සතර බ්‍රහ්මවිහාර භාවනා වඩනුයේ ලෝ හැම දෙනා කෙරෙහි එකසේ ම පතුරුවයි. එය පළමු දිසාවට දෙවෙනි දිසාවට තෙවෙනි දිසාවට සතරවන දිසාවට උඩ දිසාවට යට දිසාවට පතුරුවා සිහි නුවණින් යෙදී වෙසෙයි. මෙසේ භාවනා වඩනා ඔහුට හිතට සැනැසිලි සතරෙක් ඇති වෙයි.
පරලොවක් ඇත්නම්, කළ කර්මවලට විපාක ඇත්නම්, මරණින් මතු මට සුගති සැප ලැබේ යැයි සිතට සැනසිල්ලෙක් ඔහුට ඇති වෙයි. මේ පළමු වන සැනසිල්ල යි.
පරලොව කියා එකක් නැත්නම්, කළ කර්මයට පරලොවදී විපාක ලැබීමක් නැත්නම්, මෙසේ මා ලෝභාදියෙන් දුරු වැ මෛත්‍රී භාවනාදියෙන් යුතු ව ඉන්නා බැවින් මෙලොවැ සුවසේ සුවපත් සිතින් වෙසෙමි යි සිතෙයි. මේ දෙවෙනි සැනසිල්ල ය.
වරද කරන්නාට දඬුවම් ලැබෙන්නේ. මම් කිසි වරදක් සිතින් හෝ කයින් හෝ වචනයෙන් හෝ නො කරමි, එබැවින් මට කරදරයක් වෙතැ යි බිය ගන්නට කරුණක් නැතැ” යි සිතයි. මේ තුන්වැනි සැනසිල්ල යැ.
වරදක් නො කරන්නහුට දුක් විපාක නො ලැබෙතොත් ඒ අතින් ද වරදක් නො කරන මට කිසිසේත් දුකක් කරදරයක් ඇති නො වේ යැ’යි හේ සිතයි. මේ සතර වන සැනසිල්ල ය.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. කාලාමයෝ ද “එසේ ය වහන්ස, ඔබ වහන්සේ වදාළ සේ මැනැ වැ” යි භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාව පිළිගෙන පැහැද තෙරුවන් සරණ ගොස් තමන්ගේ උපාසක බව වචනයෙන් ද පවසා වැඳ පැදකුණු කොට නික්මියාහ.