අනේපිඬු සිටුහුගේ මිත්‍ර සිටුවරයෙක් උග්‍ර නම් නුවරෙක විසී ය. දිනෙක හේ අනේපිඬු සිටු වෙත අවුත් ඔහුගේ දියණියන් වූ චුල්ල සුභද්‍රාවන් තම පුතුට පාවාදීමට කතා කෙළේ ය. උග්‍ර සිටු වනාහි නිර්වස්ත්‍ර නිගණ්ඨයන් සරණ ගිය මිසදිටුවෙකි. එබැවින් අනේ පිඬු සිටු භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් තම දියැණියන් උග්‍ර සිටුහුගේ පුතුට පාවාදීම සුදුසුදැ?යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසූයේ ය. භාග්‍යවතුන් වහන්සේ අනාගතය බලා ඇය එහි යෑමෙන් උග්‍ර සිටු සමදිටු වන බව දැක “ඇය එහාට පාවාදීමේ වරදක් නැතැ” යි වදාළ සේක.
නොබෝ කලෙකින් චුල්ලසුභද්‍රා තොම උග්‍ර සිටුහු ගේ පුතුට විවාහ කොට දෙන ලද්දී ය.
මංගලෝත්සව දිනවලැ උග්‍ර සිටු තෙම සිය යෙහෙළිය ලවා අචේලකයන් වැන්දවීමට උත්සාහ කෙරෙයි. ඕ තොමෝ ලජ්ජායෙන් එ නග්න තීර්ථකයන් දක්නට යෑමට පවා නො කැමැති වෙයි.
උග්‍ර සිටු තෙම ඇයට ඇප වශයෙන් එවන ලද ගෘහපතියන් අට දෙනාට මෙ පවත් කීය. ඔහු කාරණය පරීක්ෂා කොට ඇය නිදොස් බව සිටුහට දැන්වූහ. නැවත සිටු තෙම “මැය මගේ ශ්‍රමණයන් වහන්සේ නිර්ලජ්ජහු යැ යි නො වඳිති” යි සිය බිරින්දෑට කී ය.
ඕ තොම “තොප ගේ ශ්‍රමණයෝ වනාහි කෙ බඳු වෙත් දැ”යි චුල්ලසුභද්‍රාව විචාළා ය. එ විට සුභද්‍රා තොම භාග්‍යවතුන් වහන්සේගේත් බුද්‍ධ ශ්‍රාවකයන්ගේත් ගුණ වණන්නී,
“මගේ ශ්‍රමණයන් වහන්සේ වනාහි සන්හුන් ඉඳුරන් ඇත්තෝ ය. ශාන්ත සිත් ඇත්තෝ ය. උන්වහන්සේ ගේ යෑම් ඊම් සිටීම් ශාන්ත ය. බිමට හෙලූ ඇස් ඇතියෝ ය. ප්‍රමිත වචන ඇතියෝ ය.
උන්වහන්සේ ගේ කාය කර්මය පිරිසිදු ය. වාක් කර්මය නොකිලුටු ය. මනඃකර්මය සුවිශුද්ධ ය.
උන්වහන්සේ ගේ ඇතුළ පිට දෙපස ම මල රහිත ය. සක් මුතු සේ ශුද්ධ ය. ශුද්ධ ගුණ දහමින් පූර්ණ ය. මගේ ශ්‍රමණයන් වහන්සේ ඔ වැන්නෝ ය.
ලෝවැස්සා වනාහි ලාභයෙන් උස්ව නගී, අලාභයෙන් මිටි ව පහත් වේ. එහෙත් මගේ ශ්‍රමණයන් වහන්සේ ලාභාලාභ දෙක්හිදීම නො වෙනස් ව සිටිති.
යසස් හේතුයෙන් ලෝවැස්සා උන්නත ද අයසින් අවනත ද වේ. මාගේ ශ්‍රමණයන් වහන්සේ වනාහි යස අයස දෙක්හි ම වෙනස් නොවී එකසේ ම සිටිති.
ලෝවැස්සා වනාහි ප්‍රශංසායෙන් උන්නත ද නින්දායෙන් අවනත ද වේ. මා ගේ ශ්‍රමණයන් වහන්සේ වනාහි නින්දා ප්‍රශංසා දෙක්හි ම අචලහ, සමහ.
සුවයෙන් ලොව උන්නත ද දුකින් අවනත ද වේ. මගේ ශ්‍රමණයන් වහන්සේ මෙ දෙක්හි දීම අකම්පිත ව සිටිති. මාගේ ශ්‍රමණයන් වහන්සේ ඔ වැනියහ.”
යන ආදීන් කියා සිය මයිලණුවන් විස්මිත කළා ය. හෙතෙම “තොප ශ්‍රමණ යන් අපට දැක්විය හැකි දැ?” යි ඇසී ය. “හැකි යැ” ඕ කීවා ය.
“එ සේ නම් දක්වව”යි හේ කී ය.
ඕ ද බුද්‍ධ ප්‍රමුඛ සංඝයා පිණිස මහදන් පිළියෙල කරවා පාය මතු මහලට නැඟී දෙවුරම දිශාවට හැරී පසඟ පිහිටුවා වැඳ බුදු ගුණ අවජා, සුවඳ දුම් මලින් පුදා, වහන්ස, සෙට පිණිස බුද්‍ධ ප්‍රමුඛ භික්ෂූ සංඝයාට නිමන්ත්‍රණය කරමි. මේ ලකුණින් එ බව දැන වදාරන සේක් වා”යි ඉටා සමන් මල් අට මිටක් අහසට දැමුවා ය. එ මල් ගොස් දෙව්රමැ සිවු පිරිස් මැද දම්දෙසන භාග්‍යවතුන් වහන්සේ මත්තෙහි මල් වියන් වැ දෘශ්‍යමාන වී ය.
ධර්මදේශනාවසානයෙහි අනේපිඬු සිටු තෙම පසු දා දනට භාග්‍යවතුන් වහන්සේට නිමන්ත්‍රණය කෙළේ ය. “ගෘහපතිය, .සෙට දනට කළ නිමන්ත්‍රණයක් ඉවසන ලදැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“වහන්ස, මට පෙරාතු ව මෙහි කිසිවෙක් නායේ ය. කාගේ නිමන්ත‍්‍රණයක් ඔබ ඉවසූ සේක් දැ?”යි සිටු විචාළේ ය.
“ගැහැවිය. චුල්ල සුභද්‍රාව විසින් නිමන්ත්‍රිතය ම්හැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“වහන්ස. චුල්ලසුභද්‍රා මෙයින් එක්සිය විසි යොදුන් පමණ දුර වසන්වී නො වේ දැ?”යි සිටු ඇසී ය. මේ කාරණය මුල්කොට භාග්‍යවතුන් වහන්සේ දම්දෙසන සේක්,
එසේ ය, “දුර වසතත් සත්පුරුෂයෝ හිමවත් පව්ව සේ බුදුවරයන් ගේ ඥාන පථයට වදින්නෝ ප්‍රකට වෙත්. අසාධුහු වනාහි මෙහි (දකුණු දන මඬල) සමීපයේ හුන්නෝ ද, දැඩි කළුවර රැයෙක විදි ශරයක් සේ නො පැණෙත්”යැ යි වදාළ සේක. දේශනාවසානයෙහි බොහෝ ජනයෝ ස්‍රෝතආපත්ති ඵලාදියට පැමිණියහ.
පසු දා භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් රහතන් පිරිවරා සක්දෙව් එවූ පන්සියක් කුළුගෙවල්හි නැගී උග්‍ර පුරයට වැඩි සේක.
උග්‍ර සිටු තෙම මහත් ගෞරවයෙන් බුද්‍ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා පිළිගෙන දන් දී යලි නිමන්ත්‍රණය කොට සතියක් මහදන් පැවැත්වීය. මෙහි දී භාග්‍යවතුන් වහන්සේ දෙසූ ධර්මය ඇසූ උග්‍ර ආදී බොහෝ ප්‍රාණීනට ධර්මාභිසමය විය.
භාග්‍යවතුන් වහන්සේ සුභද්‍රාවට අනුග්‍රහ පිණිස අනුරුද්ධ තෙරුන් එ පුරැ රඳවා සැවැත්පුර වැඩි සේක. එතැන් සිට එ පුර වැස්සෝ සස්නෙහි පැහැදුණෝ වූහ.