“දුස්සීලොති අසීලො නිස්සීලො” යනුවෙන් අටුවාවල සිල් නැති තැනැත්තා දුශ්ශීලයා බව දක්වා තිබේ. ගිහි දුශ්ශීලයා ය. ශ්‍රමණ දුශ්ශීලයා ය කියා දුශ්ශීලයෝ දෙදෙනෙකි.
පඤ්ච ගහපති, භයානි වෙරානි අප්පහාය දුස්සීලො ඉති වුච්චති, නිරයඤ්ච උපපජ්ජති, කතමානි පඤ්ච? පාණාතිපාතං අදින්නාදානං කාමෙසුමිච්ඡාචාරං මුසාවාදං සුරාමෙරය මජ්ජපමාදට්ඨානං. ඉමානි ඛො ගහපති, පඤ්ච භයානි වෙරානි අප්පහාය දුස්සීලො ඉති වුච්චති, නියරඤ්ච උපපජ්ජති.
තේරුම :-
ගෘහපතිය! පසක් වූ භය වෛර ප්රහාණය නො කිරීමෙන් දුශ්ශීලයා ය යි කියනු ලැබේ. කවර පසක් ද යත්? ප්‍රාණඝාතය අදත්තාදානය කාමමිථ්‍යාචාරය මෘෂාවාදය සුරාපානය යන මේ පසක් වූ භය වෛර ප්රහාණය නො කිරීමෙන් දුශ්ශීලයා ය කියනු ලැබේය, නරකයෙහිත් උපදින්නේ ය.
මේ දේශනයෙන් දැක්වෙන්නේ ගිහි දුශ්ශීලයා ය. ප්‍රාණඝාතාදි පව් පසම හෝ එයින් එකක් හෝ දෙක තුනක් හෝ අත් නො හැර කරගෙන යන තැනැත්තා දුශ්ශීලයා ය. ගිහියන් තමන් දෙස නො බලා දුශ්ශීලයෝය යි පැවිද්දන්ට ගර්හා කරන නමුත් බෙහෙවින් දුශ්ශීලයන් ඇත්තේ ගිහි සමාජයේ ය. එබැවින් තථාගතයන් වහන්සේ “දුස්සීලොහි බහුජනො” යනු වදාළ සේක.
ශීලය බිඳගත්තා වූ නැතිකර ගත්තා වූ භික්ෂුව හෝ සාමණේරයා ශ්‍රමණ දුශ්ශීලයා ය. ශීලභේදය වන කරුණු මනෝරථ පූරණී අටුවාවෙහි මෙසේ දක්වා තිබේ.
පුථුජ්ජනස්ස සීලං පඤ්චහි කාරණෙහි භිජ්ජති පාරාජිකාපජ්ජනෙන සික්ඛාපච්චක්ඛානෙන තිත්ථිය පක්ඛන්දනේන අරහත්තේන මරණෙනා ති.
පාරාජිකාවට පැමිණීමය, උපසම්පදාව ප්‍රතික්ෂේප කිරීමය, තීර්ථක ශාසනයට ඇතුළු වීමය, අර්හත්වයට පැමිණීමය, මරණය යන කරුණු පසින් පෘථග්ජන භික්ෂු ශීලය බිඳෙන බව මේ පාඨයෙන් දැක්වේ. පෘථග්ජනයා ගේ ශීලය කුශල ශීලයකි. අර්හත්මාර්ගයෙන් කුශලා කුශලය ක්ෂය කරනු ලැබේ. පෘථග්ජන ශීලය රහත්වීමෙන් බිඳෙන බව දක්වා ඇත්තේ එහෙයිනි. රහතුන්ට ඇත්තේ කුශල් ද අකුශල් ද නො වන ශීලයෙකි. මහණකම හා උපසම්පදාව මරණයෙන් ඔබ්බට මතු ජාතියට යන්නේ නො වේ. මරණින් ශීලය කෙළවර වෙනවාය කියන්නේ එහෙයිනි. දුශ්ශීලයකු ඇති වන්නේ පරිජි වීමෙන් වන ශීල භේදය නිසා ය. පාරාජිකාපත්තියට පැමිණි තැනැත්තා දුශ්ශීල වන්නේ ය. පරිජිවීමෙන් පසු එය වසා ගෙන උපසම්පන්නයකු ලෙස පෙනී සිටින තාක් පමණෙකි.
භික්ෂු ශීලය වූ උපසම්පදාව පාරාජිකාපත්තිය හැර අනික් ආපත්තියකට පැමිණීමෙන් නැති නො වේ. පාරාජිකා නො වූ සියලු ම භික්ෂූහු සිල් ඇත්තෝ ය. විකාල භෝජනාදි දේවල් කිරීමෙන් භික්ෂුවට ඇවැත් සිදු වන්නේ උපසම්පදා ශීලය ඇති නිසා ය. එබඳු ශීලයක් නැති ගිහියාටත් ඇවැත් නැත. පාරාජිකාවට පැමිණි තැනැත්තාටත් ඇවැත් නැත. විනය පිටකයෙහි පාරාජිකාවෙන් අන්‍ය නොයෙක් ගරුක ලහුකාපත්තිවලට පැමිණියා වූ ද, බොහෝ ඇවැත්වලට පැමිණියා වූ ද භික්ෂූන් ගැන සඳහන් වන තැන් බොහෝ ය. ඒ එක තැනකවත් ඒ භික්ෂූන් දුශ්ශීල බව කියා නැත. දුශ්ශීල බව කියා ඇත්තේ පාරාජිකා වූ භික්ෂූන් ගැන පමණෙකි.
කුඩා ඇවතකට පැමිණීමෙන් ද දුශ්ශීල වන බව ‘විමති විනෝදනියෙහි’ පමණක් කියා තිබේ. සියලු ම අටුවාවලත් අනිකුත් ටීකාවලත් කියා තිබෙන්නේ “දුස්සීලොති නිස්සීලො” යි සිල් නැති පාරාජිකාපත්තියට පැමිණි අය පමණක් දුශ්ශීල බවය. විමති විනෝදනී මතය අන් අටුවා ටීකාවලට ගැලපෙන්නක් නො වන බැවින් එය ධර්මවිනයධරයෝ නො පිළිගනිති. විමති විනෝදනී මතයේ හැටියට නම් පෘථග්ජන භික්ෂූන් තබා රහතන් වහන්සේලාවත් දුශ්ශීල භාවයෙන් නො මිදෙති. කුඩා සික පද එකකුත් නො කැඩෙන සැටියට දිවි පැවැත්වීම පෘථග්ජන භික්ෂුවකට තබා රහතන් වහන්සේ කෙනකුට ද දුෂ්කර ය. රහතන් වහන්සේලාත් ඇතැම් ඇවැත්වලට පැමිණෙන බව මනෝරථ පූරණී අටුවාවෙහි මෙසේ දක්වා තිබේ.
“ඛීණාසවො තාව ලොකවජ්ජං නාපජ්ජති, පණ්ණත්ති වජ්ජමෙව ආපජ්ජති, ආපජ්ජන්තො ච කායෙන පි වාචාය පි චිත්තේන පි ආපජ්ජති. කායෙන ආපජ්ජන්තො කුටිකාරසහසෙය්යාදීනි ආපජ්ජති. වාචාය ආපජ්ජන්තො සඤ්චරිත්ත පදසොධම්මාදීනි, චිත්තෙන ආපජ්ජන්තො රූපියටිග්ගහණං ආපජ්ජති”.
ක්ෂීණාශ්රව පුද්ගල තෙමේ ලෝකවද්‍ය ආපත්තියට නො පැමිණේ. ප්‍රඥප්තිවද්‍ය ආපත්තීන්ට පමණක් පැමිණේ. පැමිණෙන්නේ ද කයින් ද වචනයෙන් ද සිතින් ද පැමිණෙන්නේ ය. කයින් පැමිණෙනුයේ කුටිකාර සහසෙය්යාදි ඇවැත්වලට පැමිණේ. වචනයෙන් පැමිණෙනුයේ සංචරිත්ත පදසොධම්මාදි ඇවැත්වලට ද, සිතින් පැමිණෙනුයේ රූපිය පටිග්ගහණාපත්තියට ද පැමිණේය යනු එහි තේරුම ය.
රහතන් වහන්සේලා ද පැමිණිය හැකි බව දක්වා ඇති මේ ඇවැත්වලින් කුටිකාර සඤ්චරිත්ත සික පද දෙකින් වන ඇවැත් ගරුකාපත්තීහු ය. විමති විනෝදනී මතය සත්‍යයක් නම්, රහත්හු ද සමහරවිට දුශ්ශීලයෝ වෙති. කලක් මහණකම කරතහොත් පෘථග්ජන භික්ෂුවකට නම් දුශ්ශීල නො වීම නො සිටිය හැකිය. හැමදෙනා ම දුශ්ශීල වෙතොත් මේ ශාසනයෙන් ඇති වැඩක් ද නැත. එබඳු නිෂ්ඵල ශාසනයක් බුදුන් වහන්සේ නො පිහිටවන සේක. උන් වහන්සේ මේ ශාසනය පිහිටුවා තිබෙන්නේ කලාතුරකින් කෙනකුට වැඩක් ගන්නට බැරි වුවත් බොහෝ දෙනකුන්ට පිහිට කර ගත හැකි පරිදි ය. බොහෝ දෙනකුන්ට වැඩ ඇති වන පරිදි ය. විකාලභෝජන රූපියපටිග්ගණාදි ඇවැත්වලට කෙතෙක් පැමිණියත් ලෝකයෙහි ප්‍රතිපත්ති ශාසනය පවත්නා බව මනෝරථ පූරණී අටුවාවෙහි මෙසේ දක්වා තිබේ.
“පටිපත්ති අන්තරධානං නාම ඣානවිපස්සනාමග්ගඵලානි නිබ්බත්තෙතුං අසක්කොන්තා චතුපාරිසුද්ධිසීලමත්තං රක්ඛන්ති. ගච්ඡන්තෙ ගච්ඡන්තෙ කාලෙ සීලං පරිපුණ්ණං කත්වා රක්ඛාම පදානඤ්ච අනුයුඤ්ජාම න මග්ගං වා ඵලං වා සච්ඡිකාතුං සක්කොම නත්ථි දානි අරියධම්මපටිවෙධො ති වොසානං ආපජ්ජිත්වා කොසජ්ජ බහුලා න අඤ්ඤමඤ්ඤං චොදෙන්ති න සාරෙන්ති අකුක්කුච්චකා හොන්ති, තතො පට්ඨාය ඛුද්දානුඛුද්දකානි මද්දන්ති ගච්ඡන්තෙ ගච්ඡන්තෙ කාලෙ පාචිත්තිය ථුල්ලච්චයානි ආපජ්ජන්ති, තතො ගරුකාපත්තිං, පාරාජිකමත්තමෙව තිට්ඨති, චත්තාරි පාරාජිකානි රක්ඛන්තානං භික්ඛූනං සතෙ පි සහස්සෙ පි ධරමානෙ පටිපත්ති අනන්තරහිතා නාම හොති. පච්ඡිමකස්ස පන භික්ඛුනො සීලභෙදෙන වා ජීවිතක්ඛයෙන වා පටිපත්ති අන්තරහිතා නාම හොති.”
තේරුම :-
ප්‍රතිපත්ති අන්තර්ධානය මෙසේ ය, අනාගතයෙහි භික්ෂූහු ධ්යානමාර්ග විදර්ශනාවන් උපදවන්නට නො හැකි වන්නාහු චතුපාරිශුද්ධිශීලය පමණක් රක්නාහු ය. කල් යත් යත් ම අපි සිල් සම්පූර්ණ කොට රක්ෂාකරන්නෙමු ය. එහෙත් අපට මාර්ගයක් ඵලයක් උපදවන්නට නුපුළුවන. දැන් ආර්ය්යධර්ම ප්රතිවේධයක් නැතය යි අවසානයට පැමිණ අලසකම බහුල කොට ඇත්තාහු වරද දුටු කල්හි ඔවුනොවුන්ට චෝදනා නො කෙරෙති. වරද සිහි නො කරවති. සිකපද ගැන කුකුස් නැත්තාහු වෙති. එතැන් පටන් කුඩා කුඩා සිකපද කඩ කෙරෙති. කල් යත් යත් පචිති ථුලැසි ඇවැත්වලට ද පැමිණෙන්නට වෙති. ඉන් පසු ගරුකාපත්තිවලට ද පැමිණෙති. පාරාජිකා සතර පමණක් ඒ භික්ෂූන් කෙරෙහි ඉතිරි වේ. සතර පාරාජිකාව ආරක්ෂා කරන භික්ෂූන් වහන්සේලා සියයක් හෝ දහසක් ඇති කල්හි ප්‍රතිපත්තිය අන්තර්ධාන වූයේ නො වේ. අන්තිම භික්ෂුව ගේ ශීල භේදයෙන් හෝ මරණයෙන් හෝ ප්‍රතිපත්තිය අන්තර්ධාන වූයේ වේ. මේ ඉහත දැක් වූ පාඨයේ තේරුම ය.
මේ පාඨයෙන් දැක්වෙන්නේ පාරාජිකා නො වූ භික්ෂුව කෙරෙහි ප්‍රතිපත්තිය හෙවත් ශීලය ඇති බවය. එබඳු භික්ෂූන් ලෝකයෙහි ඇතිතාක් ප්‍රතිපත්ති ශාසනය පවත්නේ ය. අනාගතයෙහි පාරාජිකාව පමණක් රකින භික්ෂූන් ඇතිවන බවත් ඔවුන්ගෙන් අන්තිමයා ගේ ශීලභේදයෙන් හෝ මරණයෙන් ප්‍රතිපත්ති ශාසනය නැතිවන බවත් දක්වා තිබීමෙන් ඒ භික්ෂූන් සිල්වත් බව හොඳට ම ඔප්පු වේ. දුශ්ශීලයාට බිඳෙන්නට ශීලයක් නැත. අන්තිම තැනැත්තා ගේ ශීලභේදයක් ගැන කියන්නේ බිඳෙන්නට ශීලයක් ඒ භික්ෂූන් කෙරෙහි ඇති නිසා ය. කුඩා සික පද කැඩීමෙන් භික්ෂුවක් දුශ්ශීල නො වන බව මේ කාරණයෙන් ද තේරුම් ගත හැකි ය.
සමාදානය - සංවරය කියා ශීලය පිළිබඳ කරුණු දෙකක් ඇත්තේ ය. ගුරුවරයකු වෙතින් තිසරණය සමාදන් වීමෙන් සාමණේර ශීල සමාදානය සිදු වේ. සීමාවේ දී කර්මවාක්යය කියා අවසන්වනු සමග ම උපසම්පදාපේක්ෂකයා ගේ උපසම්පදා ශීලසමාදානය සිදු වේ. පාරාජිකා වන වරදක් කළ හොත් සාමනේරයාගේත් උපසම්පන්නයාගේත් සමාදානය බිඳීම් වශයෙන් සම්පූර්ණ ශීලය නැති වී දුශ්ශීලත්වයට පැමිණේ. කුඩා සික පද බිඳීමෙන් ඒ ඒ සිකපදය පිළිබඳ සංවරය පමණක් බිඳේ. උපසම්පදා ශීලසමාදානය නො බිඳේ. සමාදානය නො බිඳෙන බැවින් කුඩා වරද කොතෙක් සිදු වුවත් පාරාජිකා නො වූ උපසම්පන්නයා ගේ ශීලය පවත්නා බවත් ඔහු දුශ්ශීල නො වන බවත් තේරුම් ගත යුතු ය. කුඩා ඇවැත්වලට පැමිණෙන භික්ෂුව ද, ඇතිතාක් කුඩා ඇවැත්වල පැමිණෙන්නේ ද නො වේ. ඔහු අතින් රැකෙන කුඩා සිකපදත් දහස් ගණනින් ඇත්තේ ය. එබැවින් ඇතැම් කුඩා සිකපද කැඩෙන භික්ෂුව ගේ ශීලය ද සුළු කොට නො සිතිය යුතු ය.