ප්‍රාණඝාත කිරීමේ ක්‍රම තුනක් ඇත්තේ ය. අනික් තැනැත්තා ගේ අණ කිරීමක් හෝ උත්සාහවත් කරවීමක් හෝ අනුකූලවීමක් හෝ දැනීමක් හෝ නැතිව ප්‍රාණඝාත කිරීම එක් ක්රමයකි. නෑයකු ගේ හෝ මිතුරකු ගේ හෝ ගෙදරකට ගියා ම ගිය තැනැත් ගේ නියෝගයක් හෝ කැමැත්තක් හෝ දැනීමක් හෝ නැතිව ඔහුට සංග්‍රහ කරනු පිණිස සමහර විට සතුන් මරති. සමහරවිට පියවරු දූදරුවන් උදෙසාත්, දූදරුවෝ මාපියන් උදෙසාත් සමහරු නෑයන් උදෙසාත් ස්වාමිවරුන් උදෙසාත් එසේ සතුන් මරති. මරවති. එයින් ප්‍රාණඝාතය කළවුන්ට පමණක් පාපයක් වෙනවා මිස අන්‍යයන්ට පාපයක් නො වේ.
සමහරු තමන් ප්‍රාණඝාතය නො කොට අනුන් ලවා කරවති. අනුන් ලවා ප්‍රාණඝාතය කරවන්නවුන්ට තමන් කළාක් මෙන් ම ප්‍රාණඝාත අකුශලය සිදුවේ. අනුන් ගේ අණ පරිදි ප්‍රාණඝාතය කරන්නවුන්ට අනුන් ගේ අණට කළාය කියා නිදහසක් නැත. තමා ගේ කැමැත්තෙන් ප්‍රාණඝාතය කිරීමෙන් වන පාපයට නො වෙනස් පාපයක් අනුන් ගේ අණ පිළිපැදීම් වශයෙන් ප්‍රාණඝාතය කරන්නාට ද අත් වේ. අණකොට ප්‍රාණඝාත කරවීමේ දී එක සතකු ගේ මරණයෙන් අණ කරන මරන දෙදෙනාට ම ප්‍රාණඝාත අකුශලය සිදුවේ. අණට කීකරු වීම් වශයෙන් කළාය කියා පාපයෙහි අඩුවක් නැත. අනුන් ලවා ප්‍රාණඝාතය කරවන්නෝ සතුන් ගේ දිවි නසමින් අනුන්ට ද පව් ඇතිකර දෙති. එබැවින් අනුන් ලවා ප්‍රාණවධය කරවීම තමන් කරනවාට ද වඩා වරදක් බව කිය යුතු ය.
ඇතැම්හු තුමූ සත්ත්ව ඝාතනය නො කරති. අනුන් ලවා ද නො කරවති. එහෙත් අනුන් කරනවා නම් එයට කැමති වෙති. අනුන් සතුන් මරා මස් ගෙනැවිත් දෙනවා නම් ඒ ගැන සතුටු වෙති. එසේ කරන්නවුන්ට අනුබල දෙති. සතුන් මරා ගෙනැවිත් දෙන අයට එය ගැන සැලකිලි කරති. එබඳු අය බොහෝ සෙයින් ඇත්තේ උසස් ය යි සම්මත අය අතර ය. ඔවුන් සතුටු කරවීමට ඔවුන්ගෙන් ප්‍රයෝජන ලබනු පිණිස ඇතැම්හු ප්‍රාණඝාතය කරති. ඒ ප්‍රාණඝාතය ඔවුන් නිසා සිදු වුව ද ඔවුනට ප්‍රාණඝාත අකුශලය නො වේ. කරන ලෙස නියම කිරීමක් නැති බැවිනි. එහෙත් ප්‍රාණවධය ගැන සතුටු වීමෙන් එය අනුමත කිරීමෙන් ඔවුනට ද තරමක පාපයක් සිදුවේ. පින් අනුමෝදන් වීම පිනක් වන්නාක් මෙන් පව් අනුමෝදන් වීම පාපයකි. බුදුරජාණන් වහන්සේ බෝසත් කාලයේ කෙවුල් ගමක ඉපිද එක් දවසක් මසුන් මරන තැනකට ගොස් බොහෝ මසුන් මරා තිබෙනු දැක සතුටු වූහ. ඒ පාපයෙන් ලොවුතුරා බුදු බවට පැමිණීමෙන් පසුත් තථාගතයන් වහන්සේට හිසරදය ඇති වූ බව,
“අහං කෙවට්ටගාමම්හි කෙවට්ටො ආසි දාරකො,
මච්ඡකෙ ඝාතකෙ දිස්වා ජනෙසිං සොමනස්සකං
තෙන කම්ම විපාකෙන සීසදුක්ඛං අහූ මම.”
යනුවෙන් බුද්ධාපදානයෙහි වදාරා ඇත්තේ ය.
තමා අනුන් පව්කම් කරනවාට සතුටු නො වෙනවා නම්, පව්කම් කිරීමට අනුබල නො දෙනවා නම්, අනුන් ලවා පව්කම් නො කරනවා නම්, තමා නිසා අනුන් කොපමණ පව්කම් කළත් ඒ නිසා තමාට පාපයක් නො වන බව දත යුතු ය. සමහර විට සකල ක්ලේශයන් ප්‍රහීණ කළ රහතන් වහන්සේලා නිසාත් පසේ බුදුවරයන් වහන්සේලා නිසාත් ලොවුතුරා බුදුවරයන් වහන්සේලා නිසාත් ඇතැම්හු පව් කරති. තමා නිසා අනුන් කරන පව්වලින් තමාට කොටසක් හිමි වෙනවා නම්, ලොවුතුරා බුදුවරුන්ටත් පවෙන් නිදහස් විය නො හැකි ය. එසේ පව් සිදුවීමක් නො වන බවට තිත්තර ජාතකය හොඳ සාධකයෙකි. ඒ මෙසේය:-
එක් කලෙක අප මහ බෝසතාණන් වහන්සේ පැවිදිව ධ්‍යානාභිඥා උපදවා හිමවත් පෙදෙසෙහි වාසය කරන සේක්; ලුණු ඇඹුල් වළඳනු පිණිස පිටිසර ගමකට පැමිණ, ඒ ගම් වැසියන් විසින් කර දෙන ලද කුටියක වැඩ හුන් සේක. එකල්හි එක් ලිහිණි වැද්දෙක් වටුවකු අල්ලා කූඩුවක ලා පෝෂණය කෙළේ ය. ඔහු ඒ වටුවා වනයට ගෙන ගොස් එහි තැනක තබා උගේ හඬට එන වටුවන් මරාගනිමින් ජීවත් වූයේ ය. වටුවා “මා නිසා පැමිණ මාගේ බොහෝ නෑයෝ නැසෙන්නාහ. එයින් මට මහත් පාපයක් වන්නේය” යි නො හඬා සිටියේ ය. එසේ ඉන්නා කල්හි වැද්දා උගේ හිසට උණ පතුරකින් පහර දෙන්නේ ය. එය ඉවසිය නොහෙන වටුවා දුකින් කෑගාන්නේ ය. මෙසේ කොට ඒ වැද්දා බොහෝ වටුවන් මරා ගන්නේ ය.
“තමා ගේ හැඬීම අසා පැමිණි වටුවන් මරණයට පත්වන නිසා එයින් තමාටත් පාපයක් හිමිවේ ද?” යන සැකයක් වටුවාට ඇති විය. මේ සතුන් මරා දැමීමේ චේතනාවක් නම් මට නැත. එහෙත් මා නො හඬනවා නම් මේ සත්තු වැද්දාට හසුවන්නට නො එන්නාහ. ඔවුන් එන්නේ මාගේ හැඬීම නිසා ය. මෙයින් මටත් පාපයක් වේ ද? නො වේ ද? කියා මම නො දනිමි. මේ ප්රශ්නය මට තීරණය කරදෙන පණ්ඩිතයෙක් කවදා හමුවේ දැයි සිතමින් කල් යැවීය.
දිනක් ලිහිණි වැද්දා බොහෝ වටුවන් මරාගෙන වතුර බීම සඳහා බෝසතුන් වෙසෙන අසපුවට ගොස් පැන් බී වටුවා වෙසෙන කූඩුව බෝසතාණන් සමීපයේ තබා සමීපයෙහි තිබෙන වැලිතලාව මත නිදා ගත්තේ ය. ඒ අතර වටුවා මගේ ප්රශ්නය මේ තාපසයාගෙන් අසා විසඳා ගත හැකි වෙතැයි සිතා කූඩුව තුළ ම හිඳ “ස්වාමීනි, මම සුවසේ ජීවත් වෙමි, ආහාරත් ලබමි, එහෙත් මාගෙ නෑයන් මාගේ හඬට අවුත් නැසෙන බැවින් සැකයෙන් වෙසෙමි. ස්වාමීනි, මාගේ මතු උත්පත්තිය කෙසේ වේද” කියා තාපසයන් වහන්සේගෙන් විචාළේ ය. එකල්හි බෝසතාණන් වහන්සේ;
“මනෝ චෙ තෙ න පණමති - පක්ඛි! පාපස්ස කම්මුනො,
අව්යාවටස්ස භද්රස්ස - නා පාප මුපලිප්පති”
යනුවෙන් “පක්ෂිය, ඉදින් තාගේ සිත පාපකර්මයට නො නැමේ නම් පව් කිරීමෙහි ව්‍යාවෘත නො වන යහපත් වූ තා කෙරෙහි පව් නො තැවරෙන්නේය” යි වදාළ සේක. එකල්හි වටුවා කියනුයේ “ස්වාමීනි, මා නො හඬතොත් වටු සමූහයා නො එන්නාහ. මා හඬන කල්හි අපේ නෑයකු ඉන්නේය යි බොහෝ පක්ෂීහු එන්නාහ. වැද්දා ඔවුන් අල්ලා මරන්නේ ය. ඒ මරණය මා නිසා වන බැවින් මටත් ඒ පාපය ඒ දෝයි සැක ඇත්තෙමි” යි කීය. එකල්හි බෝසතාණන් වහන්සේ ඔහු ගේ සැක දුරු කරනු පිණිස-
“පටිච්ච කම්මං න ඵුසති - මනො චෙ නප්පදුස්සති
අප්පොස්සුක්කස්ස භද්රස්ස - න පාප මුපලිප්පති”
යනුවෙන් “පක්ෂිය, ඉදින් තාගේ සිත පවට නො නැමේ නම්, තා නිසා සිදුවන දෙයින් තට පාප කර්මයක් නො වේ. පාපයෙහි ඇල්මක් නැති පරිශුද්ධ වූ තාගේ සන්තානයෙහි චේතනාවක් නැති බැවින් ඒ පාපය තැවරීමක් නො වේ ය” යි වදාළ සේක. මේ ගාථාවෙන් කියවෙන කෙටි අදහස ප්‍රාණඝාත චේතනාවක් නැති බැවින් වටුවා නිසා වැද්දා කරන ප්‍රාණඝාත කර්මය වැද්දාට මිස වටුවාට හිමි නො වන බව ය. බෝසතාණන් වහන්සේ ගේ ධර්මය අසා වටුවා තමා ගේ කුකුස දුරුකර ගත්තේ ය.