අසමොහසම්පජඤ්ඤ

අසමොහසම්පජඤ්ඤ ….. නුමුළා වී මේ ඤාණයයි. ඒ ඤාණය පහළ වන ආකාරය අටුවායෙහි එන අයුරින් මෙහි දක්වනු ලැබේ. “අභික්කමාදීසු පන අසම්මුය්හනං අසම්මොහසම්පජඤ්ඤං, තං එවං වෙදිතබ්බං, ඉධ භික්ඛු අභික්කමන්තො වා පටික්කමන්තො වා යථා අන්ධපුථුජ්ජනා අභික්කමාදීසු අත්තා අභික්කමති, අත්තනා අභික්කමො නිබ්බත්තිතොති වා අහං අභික්කමාමි, මයා අභික්කමො නිබ්බත්තිතොති වා සම්මුය්හන්ති, තථා අසම්මුය්හන්තො අභික්කමාමීති චිත්තෙ උප්පජ්ජමානෙ තෙනෙව චිත්තෙන සද්ධිං චිත්තසමුට්ඨානා වායොධාතු විඤ්ඤත්තිං ජනයමානා උප්පජ්ජති, ඉති චිත්තකිරියවායොධාතු විප්ඵාර වසෙන අයං කායසම්මතො අට්ඨි සඞ්ඝාටො අභික්කමති, තස්සෙවං අභික්කමතො එකෙකපාදුද්ධරණෙ පථවීධාතු ආපොධාතූති ද්වෙ ධාතුයො ඔමත්තා හොන්ති. මන්දා ඉතරා ද්වෙ අධිමත්තා හොන්ති බලවතියො. තථා අතිහරණවීතිහරණෙසු.”

ඉදිරියට යෑම් ආදියෙහි දී නොමුළාවීම අසම්මොහ සම්පජඤ්ඤ ය යි. එය මෙසේ දතයුතු යි: - මේ ශාසනයෙහි භාවනානුයෝගී තෙමේ ඉදිරියට යන්නේ හෝ ආපසු එන්නේ හෝ අන්ධ පෘථග්ජනයා මෙන් මුළා නොවන්නේ ය. කෙසේ ද යත්: සුතමය ඤාණ, චින්තාමය ඤාණ, භාවනාමය ඤාණයන්ගෙන් තොරව අන්ධ පෘථග්ජනයා වනාහි ආත්මය ඉදිරියට යෑම ආත්මය විසින් නිපදවන ලද්දේ ය යි කියා හෝ දෘෂ්ටි ග්‍රාහයෙන් තදින් ම වරදවා අල්වාගෙන මුළා වන්නේ ය. මම ඉදිරියට යමි. ඉදිරියට යෑම මා විසින් නිපදවන ලද්දේ ය යි කියා හෝ මාන ග්‍රහයෙන් තදින් ම වරදවා අල්වාගෙන මුළා වන්නේ ය. යෝගී පුද්ගලයා එසේ වූ දෘෂ්ටි - මාන ග්‍රහයන්ගෙන් තදින් අල්වා නො ගන්නා නිසා මුළා නො වන්නේ ය.

ඉදිරියට යන්ට ඕනෑ ය යි සිතක් උපදනා කල්හි ඒ චිත්තය සමග උපදින චිත්තජ වායෝ ධාතුව ශරීරය පුබුදු කරවා හරින - ශරීරය ඔසවන - සොලවන කාය විඤ්ඤත්ති නමැති චලන ශක්ති විශේෂය උපදවයි. මෙසේ සිතෙන් ඇති වන වායෝ ධාතුව ශරීරයෙහි පැතිර යෑම් වශයෙන් කාය සම්මත වූ මේ රූපය පුඤ්ජය ඉදිරියට ගමන් කරයි.

ඉදිරියට යන ඒ රූප පුජයාගේ ම එක් එක් පාදයක් එසවීමේ දී පඨවී - ආපෝ ධාතු දෙක පිළිබඳ ශක්තිය අඩු වෙයි. මඳවෙයි. ඉතිරි තෙජොවායා ධාතු දෙක පිළිබඳ ශක්තිය අධික වෙයි. බලවත් වෙයි. පය ඉදිරියට යැවීමය, එයිනුත් එහාට යැවීමය යන දෙතන්හි ද ඒ ධාතු සතරේ පැවැත්ම එසේමැ යි.

“වායෝධාතුයා අනුගතා තෙජොධාතු උද්ධරණස්ස පච්චයො. උද්ධරණ ගතිකා හි තෙජොධාතු” යි ටීකායෙහි කී පරිදි තෙජෝ ධාතුව සැහැල්ලු ගති ඇත්තී ය. මේ සැහැල්ලු ගතිය “මද්දවානුප්පාදන පච්චුපට්ඨාන” ය යි කියන ලදී. මොළොක් බව නිසාම සැහැල්ලු බව සිදු වේ. පාදය ආදී, ශරීරාගයන් එසවීම වායොධාතුව අනුව පවත්නා සියුම් තේජෝ ධාතුවේ ශක්තියෙන් සිදුවෙයි. එහෙයින් පය එසවීමේ දී පයේ සැහැල්ලු බව වැටහිම තෙජෝ ධාතුවේ “මද්දවානුපාදන පච්චුපට්ඨාන” ය යි.

“තෙජොධාතුයා අනුගතා වායොධාතු අතිහරණ වීතිගරණානං පච්චයා තිරියගතිකාය හි වායොධාතුයා අතිවරණ වීතීහරණෙසු සාතිකයො ඛ්‍යාපාරා” යි ටීකායෙහි කී පරිදි වායෝ ධාතුවේ ස්වභාවය හරහට යෑමය. පය එසවීම් ආදී අනික් අවස්ථාවලදී ද එහි ව්‍යාපාරය ඇති නමුත් පය ඉදිරියට ගෙන යන අතිහරණ - එයිනුත් ඉදිරියට ගෙන යන වීතිහරණ අවස්ථා දෙකෙහි වායෝ ධාතුවේ ව්‍යාපාරය ඉතා ප්‍රකට වෙයි. එය එසේ ම ය. පය ඔසවමින් පවත්නා විට එහි ඇතිවන ක්‍රියා විශේෂය වායෝ ධාතුවේ විස්ථාන ලක්ෂණ ය යි. විශේෂයෙන් ප්‍රකට ව පෙනෙන සෙලවෙන ගතිය වායෝ ධාතුවේ සමුදීරණ රස ය යි. ඉදිරියට තල්ලුවෙමින් පවත්නා ආකාරය වැටහෙන බව වායෝ ධාතුවේ අගිනීහාර පච්චුපට්ඨාන ය යි. ඒ නිසා පය එසවීම් - ඉදිරියට යෑම් ක්‍රියාවෝ තෙජෝ ධාතුවෙන් ලත් අනුබලය ඇති වායෝ ධාතුවෙන් සිදුවෙති. එහෙයින් පය ඔසවමින් පවත්නා විට - පය ඉදිරියට යමින් පවත්නා විට සිදුවන චලනය දැනීම වනාහි වායෝ ධාතුව විත්ථම්භන ලක්ෂණ ආදි වශයෙන් දැන ගැනීම යි. මෙහි දී පය එසවීම උද්ධරණ ය යි. පසෙන් තිබෙන පය ළඟට ගෙන ඊම අතිහරණ ය යි. ඉන් ඉදිරියට ගෙන යාම විතිහරණ ය යි.

“වොස්සජ්ජනෙ ……. තෙජොධාතු වායොධාතූති ද්වෙ ධාතුයො ඔමත්තා හොන්ති මන්දා, ඉතරා ද්වෙ අධිමත්තා හොන්ති බලවතියො, තථා සන්නික්ඛෙපනසන්නිරුම්භනෙසු. තත්ථ උද්ධරණෙ පවත්තා රූපාරූපධම්මා අතිහරණං න පාපුණන්ති, තථා අතිහරණෙ පවත්තා වීතිහරණං, වීතිහරණෙ පවත්තා වොස්සජ්ජනං, වොස්සජ්ජනෙ පවත්තා සන්නික්ඛෙපනං, සන්නික්ඛෙපනෙ පවත්තා සන්නිරුම්භනං න පාපුණන්ති. තත්ථ තත්ථෙව පබ්බං පබ්බං සන්ධි සන්ධි ඔධි ඔධි හුත්වා තත්ත කපාලෙ පක්ඛිත්ත තිලා නි විය තටතටායන්තා භිජ්ජන්ති.”

ඒ වොස්සජ්ජනයෙහි දී තෙජෝ වායෝධාතු දෙකේ ශක්තිය අඩුවීමෙන් දුර්වල වෙයි. ඉතිරි පඨවි ආපෝ ධාතු දෙකේ ශක්තිය අධිකවීමෙන් බලවත් වෙයි. සන්නික්ඛෙපන - සන්නිරුම්භන යන දෙතන්හි ද එසේ ම පඨවි ආපොධාතු දෙකේ ශක්තිය බලවත් වෙයි. එහි එසවීමේ ශක්තිය ඉවත්කර පය පහත් කිරීම වොසජ්ජන ය යි. පය බිම තැබීම සන්නික්ඛේපන ය යි. පය බිමට තද කිරීම සන්නිම්භන ය යි.

“පඨවිධාතුයා අනුගතා ආපොධාතු වොසජ්ජනස්ස පච්චයො, ගරුතර භාවා හි ආපොධාතු” යනුවෙන් ටීකාවෙහි කී පරිදි ආපොධාතුව බර ගතියෙන් යුක්ත වූ පඨවිධාතුවට වඩා වැඩි බර ගතියෙන් යුක්ත වේ. එහෙයින් ම එය වැගිරෙන - පග්ඝරණ ලක්ෂණයෙන්ද යුක්ත වෙයි. ගමන් වේගය නවත්වා සිටීමේ දී ඒ සිටීම පයේ බර ගතිය අනුව යමින් අනුබල දෙන පඨවි ධාතුව සමග පවත්නා ආපෝ ධාතුවෙන් සිදුවෙයි. ආපොධාතු වේගය බර නිසා වැගිරෙන බව දැනගත හැකිවීම පග්ඝරණ ලක්ෂණයාගේ වශයෙන් ආපෝ ධාතුව දැන ගැනීම ය.

“ආපොධාතුයා අනුගතා පථවීධාතු සන්නික්ඛෙපනස්ස පච්චයො, පතිට්ඨාභාවෙ විය පතිට්ඨාපනෙ පි තස්සා සාතිසයකිච්චත්තා, ආපො ධාතුයා තස්සා අනුගතභාවො, තථා ඝට්ටනකිරියාය පථවීධාතුයා වසෙන සන්නිරුම්භනස්ස සිජ්ඣනතො. තත්ථාපි පථවීධාතුයා ආපො ධාතු අනුගතභාවො” යන මේ ටීකා පාඨය අනුව පය බිම තබමින් පවත්නා කල්හි පිහිටා පැවැත්ම ප‍්‍රකට වෙයි. “පතිට්ඨානරසා” යි කී බැවින් පිහිටීම් කෘත්‍යයගේ වශයෙන් ප්‍රකටවන සුලු වූ පඨවි ධාතුව පිහිටුවීමෙහි අධික වූ කෘත්‍යය ඇති බැවින් ඒ පිහිටු වීම් කෘත්‍යය පඨවි ධාතුව ගේ ශක්ති විශේෂ ය යි. එහෙයින් පය බිම තැබීම - පිහිටුවීම එයට අනුව පවත්නා ආපෝ ධාතුව හා එක්ව පැවති පඨවි ධාතුවෙන් සිදු වෙයි. බිම පාගමින් පවත්නා කල්හි ඒ පෑගීම් ක්‍රියාව ද තද ගතිය ඇති පඨවී ධාතුවෙන් ම සිදු වෙයි. එහෙයින් පය බිම තබමින් පවත්නා කල්හි - එය බිමට තද කරමින් පවත්නා කල්හි පය පිහිටුවිම හා බිම හැපෙන බව දැන ගැනීම කක්ඛල ලක්ඛණ ආදී වශයෙන් පඨවි ධාතුව දැන ගැනීම ය.

මෙහි සැඟවී පවත්නා තත්වය මෙසේ ය:- අත පය ආදිය ක්‍රියා කරවීමේ දී සැහැල්ලු ගතිය දැනේ නම්, එය තෙජෝ ධාතුව ය යි සැලකිය යුතු ය. එහාට මෙහාට සෙලවෙන ගතිය දැනේ නම් එය වායො ධාතුව ය යි ද, පහළට බරවන ගතිය දන්නේ නම් එය ආපෝ ධාතුව ය යි ද, තද ගතිය හෝ හැපෙන ගතිය දැනේ නම් එය පඨවි ධාතුව ය යි ද, සැලකිය යුතු ය. මේ නය ක්‍රමයෙන් පය එසවීමක් ඇතුළත – අතපය හැකිලීමක්, දිග හැරීමක් ඇතුළත ම පෘථිවි ආදී පරමාර්ථ ධාතු සතර පිරිසිඳ දැන ගැනීම සම්පූර්ණ වන බව සැලකිය යුතු යි.

එහි පය ඉසීමේ දී නොකඩවා පවත්නා ඔසවනු කැමති සිත හා සමග ඔසවන රූපධර්ම සමූහය අතිවරණ (ගෙනයන) අවස්ථාවට නො පැමිණෙ යි. “රූපාරූපධම්මාති උද්ධරණාකාරෙන පවත්තා රූපධම්මා. තං සමුට්ඨාපකා අරූප ධම්මා ච” යි ටීකායෙහි කියන ලදී. මෙතන්හි සලකා බලන නාම ධර්‍ම ද සලකා බැලීමේ අරමුණු වශයෙන් ගතයුතු ය. මෙහි දී වරදක් ඇති විය හැකි ය. එනම්, ඒ සලකා බැලීම හෝ මෙනෙහි කිරීම එකෙණෙහි ම නිරුද්ධ වන බව - නැතිව යන බව නො වැටහුන හොත් තනි පුද්ගලයෙක් වූ මම ම සිතමින් - සලකා බලමින් නිතර ඉන්නා සත්වයෙකැ යි නිත්‍ය සංඥාව හෝ ආත්ම සංඥාව ඇතිවිය හැකි ය. ඇත්ත වශයෙන් කියතහොත් සලකා බලන මෙනෙහි කරන මොහොතක් පාසා ඒ සලකා බැලීම් - මෙනෙහි කිරීම් ක්‍රියා සියල්ල නිරුඩව - නැතිව යන ආකාරය යෝගී පුද්ගලයා උදයබ්බය ඤාණයේ පටන් පැහැදිලිව දැන වටහා ගන්නේ ය. භංගඤාණයෙහි පටන් විශේෂයෙන් ප්‍රකට කොට දැන වටහා ගන්නේ ය. එහෙයින් එය සලකා බලන නාමය ද අරමුණු කළ යුතු ය. මෙය සම්මසන ඤාණයෙහි දී ගත් නිසා මෙහි නොකියන ලදී.

උද්ධරණයෙහි දී පැවති නාම රූප ධර්‍ම අතිවරණ අවස්ථාවට නො පැමිණෙති. අතිවරණයෙහි දී පැවති නාම රූප ධර්ම වීතිහරණ අවස්ථාවට නොපැමිණෙති. වීතිහරණයෙහි දී පවැති නාම රූප ධර්ම වොස්සජ්ජන විදිනා අවස්ථාවට නොපැමිණෙති. වොස්සජනයෙහි දී පැවති නාම රූප ධර්ම සන්නිඛෙපන අවස්ථාවට නොපැමිණෙති. සන්නිඛෙපනයෙහි දී පැවති නාම රූප ධර්ම සන්නිරුන අවස්ථාවට නොපැමිණෙති.

පය එසවීම ආදී ඒ ඒ ක්ෂණයෙහි දී ම සියලු නාම රූප ධම් පුරුක් පුරුක් වශයෙන් - සන්ධි සන්ධි වශයෙන් - වෙන් වෙන් වශයෙන් - කොටස් කොටස් වශයෙන් - කැබලි කැබලි වශයෙන් රත් වූ කබලක දමු තලමිටක් පට පට යන අනුකරණයෙන් පුපුර පුපුරා නැතිව යන්නාක් මෙන් ඒ ඒ නාම රූප ධම් ඒ ඒ උපන් උපන් තැනදී ම සිඳී සිඳී බිඳී බිඳී නැති ව යන්නාහු ය. .

“තත්ථ කො එකො අභික්කමති, කස්ස වා එකස්ස අභික්කමනං, පරමත්ථතො හි ධාතූනං යෙව ගමනං, ධාතූනං ඨානං, ධාතූනං නිස්සජ්ජා, ධාතූනං සයනං”

එසේ වහා කැඩි කැඩී - බිඳී බිඳී - යන්නා වූ නාම රූප සමූහයෙහි ඉදිරියට යන්නේ කවරෙක් ද? එසේ ඉදිරියට යනෙක් නැතේ ම ය. (මෙහි ද කිං ශබ්දය ප්‍රතික්ෂෙපාර්ථවාචී වෙයි) මෙය කිනම් පුද්ගලයෙකු ගේ ඉදිරියට යාමක් ද? අසවලාගේ ඉදිරියට යාමක් ය කියා දැක්විය යුත්තෙක් මෙහි නොමැත්තේ ය. මෙහි දී පරමාර්ථ වශයෙන් දතයුතු විද්‍යාමාන ස්වභාවය නම්, සත්වයෙක් - පුද්ගලයෙක් නො වන - නාම රූප ධාතු ස්වභාවයක් ම ඇති බව ය. මෙහි ඇත්තේ නාම රූප ධාතු ස්වභාවයගේ ම යෑමය, සිටීම ය, ඉඳීම ය, හොවීම ය, යන මේ ක්‍රියා මාත්‍රයෙකි. (නාම ධර්මයෝ ද ඒ ඒ මොහොතේ දී ම නිරුද්ධ වෙති. නැති වි යති. යන එන සත්වයෙක් නොමැත්තේ ය.)

“තස්මිං තස්මිඤ්හි කොට්ඨාසෙ සන්ධි රූපෙන

අඤ්ඤං උප්පජ්ජතෙ චිත්තං

අඤ්ඤං චිත්තං නිරුජ්ඣති,

අවීචිමනු සම්බයො

නදී සොරොව වත්තති.

එවං අභික්මාදීසු අසම්මුය්හනං අස්ම්මොහ සම්පජඤ්ඤං”

යෑම් ඊම් ආදී ඒ ඒ කොටසෙහි දී ම ගමන් කිරීම ආදී වශයෙන් ඇතිවන රූපය හා සමග යනු කැමති සිත ය. ‘යනවා’ ය යි මෙනෙහි කරන සිත ය යන ආදි වශයෙන් අනික් පරණ සිතක් ඇති ව නිරුද්ධ (නැති) වෙයි. නිරුද්ධ වූ සිත අනිකකි. නැවත වෙන අලුත් සිතක් උපදී. ඒ උපන් සිත ද අනිකකි. මෙකී පෙර පසු චිත්ත පරම්පරාව අතර නොකැඩී - නොසිඳී පවත්නා බව වටහා ගත යුතු ය. වේගයෙන් ගංගාවේ ගලා බසින දිය පාර අතර නොසිදී ගලා බසින්නාක් මෙන් වැටහෙන සේ දැන ගත යුතු ය. මෙසේ මේ කියන ලද නයින් අභික්කමන (ඉදිරියට යෑම්) ආදියෙහි දී මුළා නොවී ශරීරය ගැන ඇති සැටියෙන් දැන ගැනීම “අසමොහසම්පජඤ්ඤ ය” යි.

මෙහි දී දතයුතු කෙටි අදහස නම්, ආපස්සට - පෙරලා ඊමක් පාසා අනුදිසාවන් බැලීමක් පාසා තමාගේ ශරීරය චලනය වීමක් පාසා ඒ හැම ක්‍රියාවක් ම අත්නොහැර අරමුණු කර සිහිනුවණින් දැනගෙන කිරීම ගොචර සම්පජඤ්ඤය යි. මේ ගෝචර සම්පජඤ්ඤය බලවත් වූ කල්හි සම්මසන ඤාණය පහළ වෙයි. එතැන් පටන් හමුවන හැම අරමුණක් ම ඇසට පෙනෙන්නාක් මෙන් මුළා නොවී දත හැකි වන්නේ ය. යන විට “යනවා යනවා” යන ආදිය මෙනෙහි කරමින් සිටියදී ම “යනවා” ය යි මෙනෙහි කරන සිත ඇති ව නැතිවන බව ද ප්‍රත්‍යක්ෂව වැටහෙන්නේ ය. ඒ සිත නිසා පය නැඟීම්, සෙලවීම් ආදිය පිළිවෙලින් පහළවන බව ද ප්‍රත්‍යක්ෂව දත හැකි ය. මෙසේ චලනය වන ආකාරයෙන් මුලු සිරුරෙහි හටගන්නා රූප සමූහය ක්‍රම ක්‍රමයෙන් ඇති ව නැති වන බව ද ප්‍රත්‍ය වශයෙන් පැහැදිලි ව දත හැකි වෙයි. පය හෝ කය ඔසවන විට ද ‘ඔසවනවා ඔසවනවා’ ය යි මෙනෙහි කරද්දී ම ඔසවනු කැමති සිත ය, එසවීම ය, එය දැනීම ය, යන මේ ආදී නාම රූප සියල්ල එසවීම් ආදී අවස්ථා වලට නො පැමිණ ම ඒ ඒ මොහොතේ දී ම කොටස් කොටස් වශයෙන් කැඩි කැඩී බිඳී බිඳී යන බව වැටහෙන්නේ ය. එහෙයින් යෝගී පුද්ගලයා හට ඒ මොහොතේ දී ම ඇසට පෙනෙන්නාක් මෙන් ඒ නාම රූපයන් පිළිබඳ විශේෂ දැනුමක් ඇති වන්නේ ය. දැනීම උපදින ආකාරය නම්, යෑම් ඊම් ආදිය සිදු කරන සත්වයෙක් හෝ ආත්මයෙක්- “මම” ය යි කිව යුත්තෙක් නොමැත්තේ ය. ක්ෂණයක් පාසා ඇති ව නැති ව යන නාම රූප ස්වභාව මාත්‍රයක් ම ඇත. එය අනිත්‍ය ස්වභාවයක් ම ය, දුකක් ම ය. යනු කැමැත්ත හා යෑම ද සවභාව ධර්මයගේ ආකර මාත්‍රයක්ය ම ය යි මෙසේ මුළා නො වී ඤාණයෙන් ප්‍රකට කොට දත හැකි ය. මේ ඤාණය අසම්මොහසම්පජඤ්ඤ ය යි. මෙය වනාහි ගොචර සම්පජඤ්ඤයෙන් තොර ව නො ලැබිය හැකි ය.

ඒ ගොචර සම්පජඤ්ඤය ද කමටහන් අරමුණ මෙනෙහි කිරීමෙන් ම පහළ වන්නේ ය. ඒ නිසා යෝගී පුද්ගලයා විසින් අසමෝහ සම්පජඤ්ඤය උපදවා ගනු පිණිස කමටහන් මෙනෙහි කිරීම ය යි කියන ලද ගොචර සම්පජඤ්ඤය ම නොකඩවා වැඩිය යුතු යි.