ඉතිරි පද විස්තරය

පාලි

ආලෝකිතෙ විලෝකිතෙ සම්පජානකාරී හොති.

කෙටි අදහස

ඉදිරිය බලන කල්හි ද අනුදිසාවන් බලන කල්හි ද සම්පජානකාරී (නුවණින් දැන දැන බලන්නේ) වෙයි.

එහි විස්තරය:

මෙහි දැක්වෙන පරිදි ඉදිරිපස කෙලින් බැලීම හා සරස බැලීම ද යන දෙවිධිය ම සිහි නුවණින් බලන යෝගි පුද්ගලයාහට සුදුසු බැවින් එය ඍජුව ම දක්වන ලදී. යට බැලීම හා උඩ බැලීම ද පසුපස බැලීම ද ඔහුට නුසුදුසු බැවින් නොදක්වන ලදී. එහෙත් එසේ බැලිය යුතු අවස්ථාවක් ඇති වුවහොත් එය ද සිහි නුවණින් ම බැලිය යුතු ය. එහෙයින් බැලීමක් බැලීමක් පාසා දැකීමක් දැකීමක් පාසා දකිනු කැමති සිත අත් නොහැර දකින්ට ඕනෑය යන ඒ සිත ද පළමුවෙන් මෙනෙහි කළ යුතු ය. ඉක්බිති “දකිනවා දකිනවා බලනවා බලනවා” යන ආදී වශයෙන් නොකඩවා මෙනෙහි කළ යුතුය. මෙසේ සලකා බැලීම මෙනෙහි කිරීම ගොචර සම්පජඤ්ඤ ය යි.

අටුවායෙහි දැක්වෙන පරිදි සමථ යෝගියා විසින් ද තමාගේ සමථ කර්මස්ථානය ගරුකොට මෙනෙහි කළ යුතු ය. කාක්කා ආහාරය දෙස බලන කල්හි සතුරා දෙස ද බලන්නාක් මෙනි. සමථ යෝගී පුද්ගලයා ද අවශයෙන් බැලිය යුත්තක් දෙස බලන නමුත් තමාගේ සමථ කමටහන් අරමුණ අත් නොහැර ම බැලිය යුතු ය.

ස්කන්ධ - ධාතු - ආයතනයන් අරමුණු කොට මෙනෙහි කරන විපස්සනා යෝගී පුද්ගලයා වනාහි තමා විසින් නිතර මෙනෙහි කරන විපස්සනා අරමුණක්ම අත් නො හැර මෙනෙහි කළ යුතු ය යි කියන ලදී. එය එසේමැ යි. දකිනු කැමැත්ත හා දැකීම යන ආදිය ද විදර්ශනාවේ අරමුණු ම ය. එබැවින් දකිනු කැමති සිත ය යි කියන ලද අරමුණ මෙනෙහි කොට දතහැකි වුවහොත් නාම ස්කන්ධ සතරය - නාම ආයතන දෙකය - නාම ධාතු දෙකය යන මොවුන් දැනගත හැකි විපස්සනා ඤාණය පහළ වන්නේ ය. ඒ දකිනු කැමති සිතින් හටගත් ඇස දැල්වීම (විවෘත කිරීම) ඇස කර කැවීම, ඔලුව හා මුහුණ දර්ශන ක්‍රියාවට යොමු කරවීම යන ආදිය සලකා බැලීමෙන් ද, රූප ස්කන්ධය හා රූප ආයතන රූප ධාතූන් දැන ගන්නා විදර්ශනා ඥානය පහළ වෙයි. ඒ පිළිබඳ දැකීම් ආදිය සලකා බැලීමෙන් ද, ස්කන්ධ පඤ්චකය සහ ආයතන සතරය ධාතු සතරය යන මෙකී ස්වකීය ධර්මයන් දැන ගන්නා විදර්ශනා ඥානය පහළ වෙයි. අතර නොකඩවා මෙනෙහි කළහොත් ඒ මෙනෙහි කිරීම සිදුකරන නාම ස්කන්ධයන් හා ආයතන - ධාතූන් දැන ගන්නා විදර්ශනා ඥානය පහළ වන්නේ ම ය. ඒ නිසා දකිනු කැමති සිත හා එහි අරමුණත් අත් නොහැර මෙනෙහි කරන යෝගී පුද්ගලයා හට ගොචර සම්පජඤ්ඤය දියුණු වී ශක්තිමත් වූ කල්හි, දකිනු කැමති සිත නිසා ඇස හා මුහුණ දැකීම පිණිස පිළියෙල කරන ආකාරයෙන් සිදුවන, චලනය වීම් - එහා මෙහා වීම් - දැකීම් - බැලීම් හා මෙනෙහි කිරීම් සියල්ල වෙන් වෙන්ව ඇතිව නැතිව යන බව සහ දකිනු කැමැත්ත ය, දැකීම සඳහා ඇස හා මුහුණ යෙදවීම ය, යන ආදිය සිදුකරන ආත්මයක් හෝ මම ය යි කියනුතෙක් නොමැත්තේ ය යි මුළා නො වී පැහැදිලිව දැනගන්නා අසමාහ සම්පජඤ්ඤය ඉෂ්ට ම වාගේ පහළ වන්නේ ය.

පාලි

සම්ම්ඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති

කෙටි අදහස

දිගු කළ අත් පා හැකිලීමෙහි ද, හැකිලු අත් පා දිග හැරීමෙහි ද, නුවණින් දැන දැන කරන්නේ වෙයි.

එහි විස්තර:

අත පය හැකිලීමේ දී “හකුලනවා, හකුලනවා” ය යි මෙනෙහි කළ යුතු ය. දිග හැරීමේ දී “දිගහරිනවා, දිග හරිනවා” ය යි මෙනෙහි කළ යුතු ය. එසේ ම අතපය ආදිය ගසා දැමීම, යමක් තල්ලු කිරීම, යමක් තමා දෙසට ඇදීම, සෙලවීම, එසවීම, පහත් කිරීම, ආදි හැම ක්‍රියාවක දී ම, “ගසා දමනවා, ගසා දමනවා” “තල්ලු කරනවා, තල්ලු කරනවා” යන මේ ආදී වශයෙන් ඒ ඒ හැම ක්‍රියාවක් ම - හැම අවස්ථාවක් පාසා ම, මෙනෙහි කළ යුතු ය. හැකිලීම් ආදිය සිදු කරන සිත සහ හැකිලීම් - දිගහැරීම් ආදී ආකාරයෙන් පවත්නා වායෝ ධාතුව ප්‍රධාන කොට ඇති රූපය ද ප්‍රකට වන්නේ ය. මෙසේ හැකිලීම හා දිග හැරීම අරමුණු කොට ඇතිවන දැනීම ගොචර සම්පජඤ්ඤ ය යි.

එය අටුවායෙහි එන මහාස්ථවිර වස්තුවෙන් මෙසේ දතයුතු යි:

එක්තරා මහාස්ථවිර ස්වාමීන් වහන්සේ කෙනෙක් එක් දිනෙක දවල් කාලයෙහි අතවැසි භික්ෂූන් හා පිළිසඳර කථාවක යෙදී සිටින කල්හි තමන් වහන්සේගේ දිග හැරී තිබුන අත වහා ම හකුලාගෙන නැවත පළමු තුබුන තැන ම තබා සෙමින් සෙමින් හකුලා ගත් සේක. එය දුටු අතවැසි භික්ෂුහු “ස්වාමීනි! නුඹ වහන්සේ එක් වරක් ඉක්මනින් අත හකුලාගෙන නැවත පළමු තුබුන තැන ම තබා ආපසු සෙමින් සෙමින් අකුලා ගත්තහු ය. එසේ කර වදාළේ කුමක් නිසාද? “යි විචාළාහු ය. එවිට උන්වහන්සේ “ඇවැත්නි! මම යම් දිනෙක සිට කමටහන් වඩන්ට පටන් ගත්තෙම් නම්, එදා සිට මේවන තෙක් කවරදාකවත් මට කර්ම ස්ථානයෙන් තොරව අත හැකිලීමේ හෝ දිග හැරීමේ පුරුද්දක් තිබුණේ නැත. එහෙත් අද මේ මොහොතේ තොප හා පිළිසඳර කථා කරමින් සිටියදී, සිහි මුළාවීම නිසා කමටහනින් තොරව ම අත හකුලා ගතිමි. ඒ බව පසුව මතක් වීමෙන් අත තිබුණ තැන ම තබා, නැවත සිහි නුවණින් යුක්තව ම ආපසු හකුලා ගත්තෙමැ”යි කීහ. එවිට අතවැසි භික්ෂූහු “සාධු! සාධු!! ස්වාමීනි, නියම භික්ෂුව විසින් පිළිපැදිය යුත්තේ ඒ ආකාරයෙන් ම ය”යි උන්වහන්සේට ප්‍රශංසා කළහ. මෙසේ කමටහන් අත් නොහැර මෙනෙහි කිරීම ම ගොචර සම්පජඤ්ඤ ය යි.

මේ මහා ස්ථවිර ස්වාමීන් වහන්සේ මෙන් අතපහ හැකිලීමක් දිග හැරීමක් පාසා කමටහන අත් නොහැර “හකුලනවා, දිග හරිනවා” ය යි මෙනෙහි කිරීමෙන් එසේ කරනු කැමති සිත සහ නමන - දිග හරින, ආකාරයෙන් චලනය වෙමින් ඇතිවන රූප කොටස් දැන ගැනීම ගොචර සම්පජඤ්ඤ ය යි. ඒ සම්පජඤ්ඤය දියුණු වූ කල්හි ශරීරය තුළ හැකිලීම දිග හැරීම සිදු කරන ආත්මයක් නැති බව හා, නමනු කැමති - දිග හරිනු කැමති සිත නිසා හට ගන්නා වූ, රූප කොටස් පමණක් ඇත්තේ ය. නමනු කැමති - දිග හරිනු කැමති, සිත නැවීම් - දිග හැරීම් අවස්ථාවට නො පැමිණ ම නිරුද්ධ (නැති) වෙයි. එසේ ම නැමෙන අවස්ථාවෙහි පැවති රූප කොටස ද, දිග හරින අවස්ථාවට නොපැමිණ ම, නිරුද්ධ (නැති) වෙයි. ඒ සියල්ල අනිත්‍ය ය, දුක් ය, අසුභ ය, අනාත්ම ය යි කියා, තමාට ම විනිශ්චය කරගත හැකි ඤාණය පහළ වන්නේ ය. එය අසම්මෝහ සම්පජඤ්ඤ ය යි.

“නමනවා, දිග හරිනවා” ය යි මෙනෙහි කරන විට නාම ප්‍රඥප්තිය හා සමග නමන දිග හරින අත පය යන මේ සණ්ඨාන (සටහන්) ප්‍රඥප්තිය දැන ගැනීම සිදු නොවන්නේ ද යත්? භාවනාව අරඹන මුල් කාලයෙහි දී නාම ප්‍රඥප්තිය හා සන්ධාන ප්‍රඥප්තිය ද මෙනෙහි විය හැකි ය. චලනය වන ඡායා රූපයන් දත හැකි ය. මෙසේ ප්‍රඥප්තිය හා මිශ්‍ර වූ දැනීමක් ඇති වෙයි. එහෙත් සිහිය හා සමාධි ඤාණයත් මෝරවා ගත් විට, එකී ප්‍රඥප්ති මෙනෙහි නොවීමෙන් හෝ, අමතක වීමෙන් හැකිලීම් දිග හැරීම් අරමුණු කරන සිත් සහ, රූපය පිළිබඳ චලන ක්‍රියා සන්තති එකක් එකක් පාසා ඇතිව නැතිවන ආකාරය ම දැන ගනිමින් විපස්සනා ඤාණය පැහැදිලිව දියුණු වන්නේ ය.

පාලි

සඞ්ඝාටි පත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති

කෙටි අදහස

දෙපටය, තනිපටය, අඳනය යන සිවුරු ඇඳීල්ලෙහි - පෙරවීමෙහි - දැරීමෙහි දී හා පාත්‍රය දැරීමෙහි දී ද දැන කරන්නේ වෙයි.

එහි විස්තරය:

සිවුරු හඳින - පොරවන කල්හි “හඳිනවා, පොරවනවා” යන ආදී වශයෙන් මෙනෙහි කළ යුතු ය. කෝප්ප හැන්ද ආදී උපකරණයන් අතුරෙන් යම්කිසිවක් අතින් අල්ලා පරිහරණය කරත හොත් හැපෙනවා, අල්ලනවා, ගන්නවා, තබනවා”

යන ආදී වශයෙන් මෙනෙහි කළ යුතු ය. මෙසේ මෙනෙහි කිරීමෙන් ඤාණය දියුණු වූ විට හැඳීම්, පෙරවීම්, ඇල්ලීම්, ගැටීම් ආදිය සිදු කරනු කැමති සිත සහ ඒ සිත නිසා චලනය වන ආකාරයෙන් හටගන්නා වායො රූපයන් ද, ඵොට්ඨබ්බය වූ හැපීම අරමුණු කරන කාය විඤ්ඤාණ ආදිය ද, ප්‍රධාන වශයෙන් ප්‍රකට ව දත හැකි ය. මෙසේ මෙනෙහි කිරීම භික්ෂුවට පමණක් නො ව භාවනා කරන ගිහි පක්ෂයටත් අයත් වූවකි. හැඟීම්, පෙරවීම්, ආහාර ගැනීම්, භාජන ආදිය අතින් ඇල්ලීම් ආදිය කරන විට “හැපෙනවා , අල්ලනවා” යන ආදී වශයෙන් මෙනෙහි කළ යුතු ය.

පාලි

අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති.

කෙටි අදහස

බත් ආදී බොජුන් වැළඳීමෙහි ද කැඳ ආදිය පානය කිරීමෙහි ද කැවුම් ආදිය විකා කෑමෙහි ද පැණි ආදියෙහි රස විඳීමෙහි ද දැන දැන කරන්නේ වෙයි.

එහි විස්තරය:

ආහාර අනුභව කිරීම ය, පානය කිරීම ය, විකා කෑම ය, රස ලෙව කෑම ය, ආහාර ගිලීම ය යන ආදිය ද මෙනෙහි කළ යුතු ය. මෙසේ සිහි නුවණින් මෙනෙහි කිරීමෙන්, ඤාණය මුහුකුරා ගිය කල්හි අනුභව කරනු කැමති සිත සහ අනුභව කිරීම් ආදී ආකාරයෙන් චලනය වන වායෝ රූපයන් ද, රස අරමුණ ද, රස විඳින ජීව්හා විඤ්ඤාණ ආදිය ද ප්‍රධාන වශයෙන් ප්‍රකටව දැනගත හැකි වන්නේ ය.

ඇතැමෙක් වනාහි අසම්මොහ සම්පජඤ්ඤය උපදනා ආකාරය දැක් වූ අටුවා නය මෙනෙහි කිරීමේ දී විදර්ශනාව හටගන්නේ ය යි කියති. ඒ කියමන ආහාරපටික්කුල සංඥාවෙන් අසම්මොහ සම්පජඤ්ඤය උපදනා ආකාරය දක්වන අටුවා කථාව හා සසඳා බැලිය යුතු ය.

ආහාරය සෙවීම සඳහා ගමන් කිරීම ය, ආහාරය සොයා (ලබා) ගැනීම ය, එය අනුභව කිරීම ය, උගුරෙන් පහලට ගිය ආහාරය පිත, සෙම, සැරව, ලේ යන මේ පිළිකුල් දැය පිහිටි ස්ථානයට පැමිණ, ඒ පිළිකුල් දැය හා මිශ්‍ර වීම ය, යන ආදී දශ ආකාරයකින් ආහාරයෙහි පිළිකුල් බව ප්‍රත්‍යවේක්ෂ කිරීම සමථ අසමොහ සම්පජඤ්ඤය යි.

නොහොත් අනුභව කිරීමක් පාසා “අනුභව කරනවා, සපනවා, ගිලිනවා” යන ආදී වශයෙන් මෙනෙහි කරන, ගොචර සම්පජඤ්ඤ ඤාණය මුහුකුරා යෑමෙන්, ඒ ආහාරය පිළිබඳ ආශාව දුරුවීම නිසා, ආහාරය පිළිකුල් දෙයක් බව ඇති සැටියෙන් දැනගත හැකි වෙයි. මෙසේ මෙනෙහි කර ඤාණය මෝරවා ගත් ඇතැමෙක් හට කනු බොනු පිණිස ආහාරය පිළියෙල කිරීමෙහි දී පටන් මෙනෙහි කරමින් කන බොන කල්හි ම, ඒ ආහාරය පිළිකුල් වස්තුවක් ය යි වැටහෙන්නේ ය. අනුභවය ද මහත් කරදරයක් ලෙස වැටහෙන්නේ ය. එවිට ඒ තැනැත්තා අනුභව කිරීම නවත්වා කමටහන් මෙනෙහි කරමින් ම ඉඳින්නේ ය. භාවනාව නොදියුණු වුවත් ඇතැමෙක් හට මෙනෙහි කරමින් සිටිද්දී ම, ආහාරය පිළිකුල් වශයෙන් වැටහෙන්නේ ය. ඒ නිසා කෑමට නොකැමැත්තක් ද ඇති වෙයි. මෙවැනි අවස්ථාවෙහි ආහාරය අසුචියක් සේ සිතන විට වමනය කරන තරම් පිළිකුල් වීම සම්පජඤ්ඤය නොව දෝමනස්සය ම ය යි සැලකිය යුතු ය. ගෝචර සම්පජඤ්ඤය තියුණු වූ කල්හි ඉබේට ම වාගේ ආහාරපටිකූල සඤ්ඤාව පහළ විය හැකි බැවින් එය ද අසම්මොහ සම්පජඤ්ඤ යෙහි ඇතුළත් වන බව අටුවා මතයෙන් පැහැදිළි වෙයි.

පාලි

උච්චාරපස්සාවකම්මේ සම්පජානකාරී හොති.

කෙටි අදහස

මල මුත්‍ර පහ කීරීමෙහි දී දැන දැන කරන්නේ වෙයි.

විස්තරය :

මල මුත්‍ර පහ කරන විට “පහ කරනවා, පහ කරනවා” යන ආදී වශයෙන් මෙනෙහි කළ යුතු ය. විදර්ශනාව වනාහි අරමුණේ උසස් බව හෝ පහත් බව හෝ නොසලකා වැඩිය යුතු භාවනාවකි. මෙසේ මෙනෙහි කිරීමෙන් ඤාණය තියුණු වූ කල්හි පහ කරනු කැමති සිත සහ පහ කිරීම් වශයෙන් පවත්නා රූප කලාප ද, පහ කිරීම පිළිබඳ ඝට්ටනය දැනෙන කාය විඤ්ඤාණය ද, ඒ පිළිබඳ දුක්ඛ වේදනාව ද, ප්‍රධාන කොටස් වශයෙන් ප්‍රකට කොට දත හැකි වෙයි.

පාලි

ගතෙ ඨිතේ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ තුණ්හි භාවෙ සම්පජානකාරී හොති.

කෙටි අදහස

යෑමෙහි ද, සිටීමෙහි ද, ඉඳීමෙහි ද, හොවීමෙහි ද, නොනිදා සිටීමෙහි ද, වචන කීමෙහි ද, වචන නොකියා නිසොල්මන්ව සිටීමෙහි ද නුවණින් දැන දැන කරන්නේ වෙයි.

එහි විස්තරය :

යෑම, සිටීම, ඉඳීම, නො නිදීම, කීම, තුෂ්ණීම්භූතව සිටීම යන මෙයින් යෑම, සිටීම, ඉඳීම පෙර කී සේ ම ය.

නිදිමත ඇති වුවහොත් “නිදිමතයි, නිදිබරයි, නිදා වැටෙනවා” යන මේ ආදී වශයෙන් ප්‍රකටව පවත්නා නාම රූප සියල්ලක් ම සිහි කළ යුතු ය. මෙනෙහි කළ යුතු ය. තද නිදිමත ඇති වූ කල්හි ඇඟපත දිග හැර “නිදියනවා, බුදියනවා, නිදාගන්නවා” යන ආදී වශයෙන් ප්‍රකටව පවත්නා නාම රූප ධර්මයන් මෙනෙහි කළ යුතු ය. මනස්කාරය අත් නොහළ යුතු ය. සිහිය ඇති තාක් මෙනෙහි කරමින් ම නිදාගත යුතු ය. අවදි වන විට ද පළමුවෙන් උපදින සිත අරමුණු කර මෙනෙහි කළ යුතු ය.

භාවනාව පටන් ගන්නා ආදි කම්මික යොගාවචරයා හට වනාහි මේ සිත මෙනෙහි කිරීම දුෂ්කර විය හැකි ය. එසේ වුවහොත් සිහි කළ හැකි අවස්ථාව එළඹෙන තෙක් එය නවත්වා සිහි කළ හැකි අවස්ථාව පැමිණි තැන සිට නොකඩවා සිහි කළ යුතු ය. ඥාණය තියුණු වූ කල්හි අවදි වීමත් සමග එක්වරට ම මෙනෙහි කළ හැකි වෙනවා ඇත.

එකල්හි නිදීමට පෙර ඇති වූ නාම රූපයෝ නිදන අවස්ථාවට නොපැමිණ ම නිරුද්ධ වූහ. නිදා ගැනීමේ දී පැවති නාම රූපයෝ නින්දෙන් පිබිදෙන අවදි වන අවස්ථාවට නොපැමිණ ම නිරුද්ධ වූහ.

නිදා ගැනීම ය යි කියනු ලබන්නේ දැකීම, ඇසීම, කල්පනා කිරීම, මෙනෙහි කිරීම යන ආදිය සිදු නොකළ හැකි භවාඞ්ග චිත්ත සන්තතිය ඇති වෙමින් පැවැත්ම ය.

පිබිදීම හෝ අවදිවීම ය යි කියනු ලබන්නේ දැකීම, ඇසීම, කල්පනා කිරීම, මෙනෙහි කිරීම යන ආදිය සිදුකරන වීථි සිත් ඇති වෙමින් පැවැත්ම ය.

මේ කයෙහි “නිදියන - අවදිවන සත්වයෙක් හෝ ආත්මයෙක් නැත. නිත්‍ය වූ දෙයක් ද නැත. සැප ය යි කියා ගතහැකි දෙයකුත් නැතැ” යි තමාට ම විනිශ්චය කර ගත හැකි ඤාණය පහළ වන්නේ ය. එය අසමොහ සම්පඤ්ඤය යි.

පාලි

ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති - පෙ - න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ භික්ඛු කායේ කායානුපස්සී විහරති.

මේ කොටස ආනාපාන - ඉරියාපථ පබ්බයන්හි කී පරිද්දෙන් දත යුතු යි.

සම්පජඤ්ඤ පබ්බය නිමි.