“පුන ච පරං භික්ඛවෙ භික්ඛු අභික්කන්තෙ පටික්කිත සම්පජානකාරී හොති.”
කෙටි අදහස:
මහණෙනි! නැවත ද අන්‍ය මනස්කාර ක්‍රමයක් කියනු ලැබේ. යෝගී තෙමේ ඉදිරියට යෑමෙහි ද ආපසු ඊමෙහි ද සම්පජානකාරී (නුවණින් දැන කරන්නේ නොහොත් නුවණ ඇති කරන්නේ නොහොත් දැන ගනිමින් හෝ දැන දැන කරන්නේ) වෙයි.
එහි විස්තරය:
අටුවාවෙහි වනාහි සම්පජාන පදය සම්පජඤ්ඤ පදය මෙන් ම ඤාණය ප්‍රකාශ කරන පදයක් යයි ගෙන “සම්පජඤ්ඤෙන සබ්බකිච්චකාරි සම්පජඤ්ඤ මෙව හා කාරී” ය යි දක්වන ලදී. ඒ අර්ථ වර්ණනාව අනුව “ඤාණයෙන් කරන්නේ ය යි” ද, ඤාණය ඇති කරන්නේ ය යි ද යන දෙයාකාරයකින් අර්ථය ප්‍රකාශ කරන ලදී. එහි ප්‍රථම අර්ථයාගේ වශයෙන් ඉදිරියට යෑම් ආදී හැම කෘත්‍යයක් ම කරනු කැමැති කල්හි ඤාණයෙන් ම කළ යුතු ය. ඤාණයෙන් තොරව නොකළ යුතු ය යනු එහි තේරුම යි. දෙවෙනි අර්ථයාගේ වශයෙන් ඉදිරියට යෑම් ආදිය කරන කල්හි ඤාණය ඉපදවිය යුතු ය යි කියන ලදී. තවද දැන ගනිමින් හෝ දැන දැන කරන්නේ ය යි කියන ලද තෙවෙනි අර්ථය වශයෙන් වනාහි “සම්පජානො හුත්වා කාරි සම්පජානකාරී” යන ශබ්ද නය අනුව වචනාර්ථය ප්‍රකාශ කිරීම සුදුසු ය යි හැඟෙනවා ත් හැර එය නියම අර්ථය කෙලින් ම දක්වන ලද වචනාර්ථයක් ම ය. මෙකී අර්ථයේ හැටියට ඉදිරියට ගමන් කිරීම් ආදිය පැවැත්වීමේ දී දැන දැන කළ යුතු ය. නො දැන නො කළ යුතු ය යන අදහස පැහැදිලි වෙයි. දැනගනිමින් හෝ දැන දැන කරන්නේ ය යන මේ තුන්වෙනි අර්ථය (සම්පජාන කතං, දැන ගනිමින් කරන ලද, සම්පජාන මුසාවාදෙ, දැන දැන බොරුකීම යන ආදී තන්හි එන සම්පජාන ශබ්දය සමග) සමානව පවත්නා බව සැළකිය යුතු ය.
සම්පජඤ්ඤ පදාර්ථය
“සම්මා සමන්තතො, සාමඤ්ච පජානතො, සම්පජානො අසම්මිස්සතො, වවත්ථානෙ අඤ්ඤ ධම්මානුපස්සිතා වෙන. සම්මා - අවිපරීතං, සබ්බාකාර පජානනෙන සමන්තතො, උපරුපරි විසේසාවහාභාවෙන පවත්තියා සයං පජානතොති අස්ථා” යනු සම්පජාන පදය වර්ණනා කළ ටීකා පාඨය යි.
“සමන්තතො පකාරෙහි, පකට්ඨං වා සවිසේසං පජානාතීති සම්පජානො, සම්පජානස්ස හාවො සම්පජඤ්ඤං, තථා පවත්ත ඤාණං සම්මාපජානනං සම්පජානං” යනු නිද්දෙසයෙහි එන සම්පජඤ්ඤ පදය පිළිබද ටීකා පාඨ ය යි.
මෙකී ටීකා පාඨයන්ට අනුව සම්පජාන සම්ජඤ්ඤ යන දෙපදයෙහි අර්ථ සයක් දැක්විය හැකි ය.
(1) මනාකොට ප්‍රකාරයෙන් දැන ගැනීම ය.
(2) මනාකොට වීශේෂයෙන් දැන ගැනීම ය.
(3) සම්පූර්ණ කොට ප්‍රභේද වශයෙන් දැන ගැනීම ය.
(4) සම්පූර්ණ කොට විශේෂයෙන් දැන ගැනීම ය.
(5) තමා විසින් ම ප්‍රකාරයෙන් දැන ගැනීම ය.
(6) තමා විසින් ම විශේෂයෙන් දැන ගැනීම ය යනු ඒ අර්ථ සය ය.
එහෙත් “මනා කොට දැන ගැනීම” යන මේ අර්ථය ගැනීමෙන්, දත යුතු දෑ ඇතිතාක් සම්පූර්ණ කොට දැන ගැනීම හා, තමා විසින් දැන ගැනීම ද දැක්විය හැකි ය. ප්‍රකාර (ප්‍රභේද) යෙන් දැන ගන්නා අර්ථයෙහි ද ස්වභාව ලක්ෂණය, සංඛත ලක්ෂණය, සාමාන්‍ය ලක්ෂණය යන මෙකී ප්‍රහෙද වශයෙන් දැන ගැනීම ම සිදුවන බැවින් එය ප්‍රකෘති දැනීමට වඩා විශේෂ දැනීමක් ම වේ. එහෙයින් උදෙසා වාරයෙහි සම්පජානො යන පදයට “මනාකොට ප්‍රකාරයෙන් දැන ගන්නේ” ය යන එක අර්ථයක් ම දක්වන ලදී. මෙහි අර්ථය කෙටි කරනු පිණිස ඤාණ ය යි කියා හෝ, දැන ගැනීම යයි කියා හෝ යන මෙපමණක් ම කියන ලදී. ඥාණය හෝ දැන ගැනීම යන මේ අර්ථයන්ගෙන් ද ඉහත දැක් වූ අර්ථ සය ම දක්වන ලදැ යි දත යුතු ය. දැන ගන්නා ඤාණය යනුවෙන් ඇති සැටි දැනීම ම උදුරා දක්ව යි. වරදවා දැනීම නොදක්ව යි. දත යුතු දෑ සියල්ල සම්පූර්ණ කොට දැන ගැනී මෙන් ම ඇති සැටි දැන ගැනීම සිදු වෙයි. එක කොටසක් දැන ගත් පමණින් ම ඇති සැටි දැන ගැනීම සිදු නො වෙයි. තමාට ම මුණගැසී ඇසින් දක්නා ලද්දක් මෙන් තමාගේ නුවණින් දැන ගැනීම ම ඥාණයෙන් දැන ගැනීම ය යි කිය යුතු ය. අනුන්ගෙන් අසන්නට ලැබී දැන ගැනීම වනාහි විදර්ශනා විෂයෙහි ඇති විය හැකි ඤාණයට ළං වූ දැන ගැනීමකුදු නො වන්නේ ය. තවද ස්වභාව ලක්ෂණ - සංඛත ලක්ෂණ - සාමාන්‍ය ලක්ෂණයන්ගේ වශයෙන් දැන ගැනීම ම විදර්ශනා විෂයයෙහි ඤාණයෙන් දැනගැනීම ය යි කියනු ලැබේ. මෙසේ වූ දැන ගැනීම ප්‍රකෘති දැන ගැනීමට වඩා විශේෂ වූ දැන ගැනීමක් ද වන්නේ ය. එහෙයින් මෙතන්හි ‘ඤාණයෙන් දැන ගැනීම හෝ දැන දැන කරන්නේ’ යන අර්ථ දෙක පමණක් ප්‍රමාණවත් ය යි සැලකිය යුතු ය.
සම්පජඤ්ඤ පබ්බය.
සම්පජඤ්ඤ ය යි කියන ලද ඤාණය සිවු වැදෑරුම් වේ.
එනම්:
1. සාත්ථක සම්පජඤ්ඤය.
2. සප්පාය සම්පජඤ්ඤය.
3. ගොචර සම්පජඤ්ඤය.
4. අසමොහ සම්පජඤ්ඤය යන මේ සතර ය.