2. ව්‍යපාද නීවරණය

(ධම්මානුපස්සනාව පිළිබඳ නීවරණපබ්බයේ)

පාලි

“සන්තං වා අජ්ඣත්තං බ්‍යාපාදං අත්ථි මෙ අජ්ඣත්තං බ්‍යාපාදොති පජානාති. අසන්තං වා අජ්ඣත්තං බ්‍යාපාදං නත්ථි මෙ අජ්ඣත්තං බ්‍යාපාදොති පජානාති. යථා ච අනුප්පන්නස්ස බ්‍යාපාදස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස බ්‍යාපාදස්ස පහානං හොති තඤ්ච පජානාති. යථා ච පහීනස්ස බ්‍යාපාදස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.”

කෙටි අදහස:

සිය සතන්හි ව්‍යාපාදය ඇති වුව හොත් එකල්හි මාගේ සන්තානයෙහි ව්‍යාපාදය ඉපදී ඇතැයි දැනගනී. සිය සතන්හි ව්‍යාපාදය ඇති නො වුවහොත් එකල්හි මා තුළ දැන් ව්‍යාපාදය නැතැ යි දැනගනී. මුල දී නූපන් ව්‍යාපාදය යම් අයෝනිසෝමනසිකාරයක් නිසා ඇති වුව හොත් ඒ අයෝනිසෝමනසිකාරය ත් දැන ගනී. උපන් ව්‍යාපාදය යම් යෝනිසෝමනසිකාරයක් හේතුකොටගෙන තදඞ්ග වශයෙන් හෝ විෂ්කම්භන වශයෙන් හෝ ප්‍රහීන වෙයි නම් එය ත් දැනගනී. තදඞ්ග විෂ්කම්භන වශයෙන් ප්‍රහීන වූ ව්‍යාපාදය යම් ආර්යය මාර්ගයක් නිසා නැවත නූපදී නම් ඒ ආර්ය මාර්ගය ද දැනගනී.

එහි විස්තරය:

සිතේ තරහ ඇතිවීම, සිත නරක් වීම, අනුන්ට හිංසා පීඩා කරනු කැමැත්ත, අනුන් විනාස කරනු කැමැත්ත, වනස් සිතුවිල්ල යන මේ ද්වේශය හෝ කෝධය පිළිබඳ ආකාර විකාර සියල්ල ව්‍යාපාදයයි කියනු ලැබේ.

ව්‍යාපාද ය යි කියනු ලබන ක්‍රෝධය යම්කිසි සවිඥාණක වූ හෝ අවිඥාණක සංස්කාරයක් නිතර පවත්නේ ය යි ද, සැප ඇති එකක් ය යි ද, ආත්මසාරයෙන් යුක්ත ය යි ද, එය සුභ දෙයක් ය යි ද වැටහී තිබෙන අතර, ඒ සත්වයා හෝ සංස්කාරය අරමුණු කරමින් ඇතැම් විටක දී ව්‍යාපාදය ඇති විය හැකිය. එයට හේතුවනුයේ අයෝනිසෝමනසිකාරය යි. ඒ ව්‍යාපාදය සහමුලින් පහ ව යන්නේ අනාගාමි මාර්ගයෙනි. ඒ අනාගාමි පුද්ගලයා ව්‍යාපාදය පහව යන්නේ අනාගාමි මාර්ගයෙන් ය යි ප්‍රත්‍යක්ෂව දැන ගන්නේ ය. මෙසේ අයෝනිසෝමනසිකාරයෙන් ව්‍යාපාදය ඇති වන බව හා යෝනිසෝමනසිකාරයෙන් ව්‍යාපාදය පහ ව ගොස් මෛත්‍රිය ඇති වන බව ද දත යුතු ය.

තවද ව්‍යාපාදය පහ කිරීමට උපකාරී වන ගුණධර්ම සයක් ද ඇත. එනම්,

1. මෙත්තා නිමිත්ත ඉගෙනීම ය,

2. මෙත්තා භාවනානුයෝග ය,

3. කම්මස්සකතාපච්චවෙක්ඛණ ය,

4. පටිසඞ්ඛාණබහුලතා ය,

5. කල්‍යාණ මිත්තතා ය,

6. සප්පාය කථා ය යන මොහුය.

අනුන්ට හිත වැඩ සලසන මෘදු මොලොක් අදහස් ඇති තැනැත්තා මිත්‍රයා ය. මිත්‍රයාගේ සිතේ පවත්නා මෘදු මොලොක් බව මෙත්තා හෝ මෛත්‍රිය යි කියනු ලැබේ. එහෙයින් සකල සත්ව ප්‍රජාව කෙරෙහි හිතාධ්‍යසය ඉපදවීමට හෝ පැවැත්වීමට දැන ඉගෙනීම මෙත්තානිමිත්ත ඉගෙනීම යි.

මෛත්‍රිය වැඩීම වනාහි ඕධිසක, අනෝධිසක, දිසාඵරණ නියමයෙන් බෙදා ගත යුතු ය. ඕධිසකනියමය නම්, තමා ය, ප්‍රිය පුද්ගලයා ය, මධ්‍යස්ථ පුද්ගලයා ය, සතුරා ය යන මේ වශයෙන් මෙය ලබන අය සීමාකර ගැනීම ය. සීමාරහිතව මෙත් වැඩීම අනෝධිසක නම් වේ. නැගෙනහිර බස්නාහිර ආදී දිසාවන්හි මෙත් පැතිර වීම දිසාඵරණය යි.

අසුවල් විහාරය, අසුවල් වීථිය, අසුවල් ගමය යන ආදී වශයෙන් හෝ ඕධිසක (සීමාසහිත) දිසාඵරණ මෙත්තාව ද, විහාරය, ගමය, වීථිය යන ආදිය නො උදෙසා නැගෙනහිර බනාහිර ආදී දිසා වශයෙන් අනෝධිසක (සීමාරහිත) දිසාඵරණ වශයෙන් මෛත්‍රිය ඉගෙන ගතයුතු බව කියන ලදී. ඉගෙනීම ද උපාචාර සමාධිය පහළ වීම දක්වා ම කළයුතු ය. මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් කළ යුතු ව ඇතත් මෙහි දී කෙටියෙන් මෙසේ සැලකිය යුතු යි. “සබ්බේ සත්තා අවෙරා හොන්තු අබ්‍යාපජ්ජා හොන්තු අනීඝා හොන්තු සුඛී අත්තානං පරිහරන්තු” යනුවෙන් පාලියෙන් හෝ “සියලු සත්වයෝ සතුරන්ගෙන් මිදෙත් වා! ව්‍යාපාදයෙන් හෝ ක්‍රෝධයෙන් මිදෙත් වා! දුකින් මිදෙත් වා! සුවපත් වෙත් වා” යනුවෙන් සිංහලෙන් හෝ මෙත් වැඩීමට ඉගෙන ගත යුතු ය. මෙසේ මෙත්තානිමිත්ත ඉගෙනීමෙන් ද ව්‍යාපාදය පහ කළ හැකි ය.

මෙත්තාභාවනානුයෝගය නම්, මෛත්‍රි භාවනාවෙහි යෙදීම ය. මෙය සබ්බන්ථක භාවනාවක් වූ බැවින් සැමදා ම ටික වෙලාවක් මේ භාවනාව වැඩිය යුතුය. විදර්ශනා භාවනාවේ හෝ සමථ භාවනාවක යෙදෙන්නා හට මෙය ඉතාම අවශ්‍ය භාවනාවකි. සතිපට්ඨාන භාවනාව විදර්ශනා භාවනාවකි. ඒ විදර්ශනාවට පටන් ගැනීමට ප්‍රථමයෙන් ටික වෙලාවක් යටකී නයින් ඉතා කෙටියෙන් සියලු සත්වයන්ට හා දේවතා ආදීනට ත් මෙත් පැතිර විය යුතු ය. මෙසේ මෙත් වැඩීමෙන් ද ව්‍යාපාදය පහකළ හැකි ය.

කම්මස්සකතාපච්චවෙක්ඛණය යනු: තමාට හෝ සතුරාට ඇතිවන අකුසල කර්මය සිහිනුවණින් සලකා බැලීම යි. තමාගේ අකුසල කර්මය ප්‍රත්‍යවෙක්ෂා කරන්නේ මෙසේ ය: “ඔබ ඒ සතුරාට කිපී කුමක් කරන්නෙහි ද? ඔබ ඒ සතුරාට අනර්ථයක් කළහොත් ඒ අකුසල කර්මය ඔබේ ම අනර්ථයට හේතුවන්නේ නො වේ ද? ඒ අකුසලය ඔබට ලෝකෝත්තර සම්පතක් හෝ දෙව් මිනිස් ආදි ලෞකික සම්පතක් හෝ නූපදවන්නේ ය. හුදෙක් එය මෙලොව දී සිරබන්ධන ආදී නොයෙක් දුක්වලට හා පරලොව නිරය තිරිසන් ආදී අපාය දුක් වලටත් හේතු වන අකුසල කර්මයකි. ඔබ අනුන්ට හිංසා පීඩා කරන්ට කල්පනා කිරීම ගිනි අඟුරු ගොඩක් දෑතින් ගෙන දෑත පුළුස්සා ගැනීම මෙනි. අසුචි ගොඩක් දෑතින් ගෙන දෑත අපිරිසිදු කර ගැනීම මෙනි. අනුන්ට පීඩා කරන්ට පෙර ඔබේ සන්තානයෙහි ක්‍රෝධය ඉපදීමෙන් පළමුකොට ම ඔබේ සිත දූෂ්‍ය වන බැවිනි.

එයට අනතුරු ව අනුන්ගේ කර්මයත් ප්‍රත්‍යවේක්ෂා කළ යුතු ය. කෙසේද යත්? “ඒ සතුරා ඔබට කිපී කුමක් කරන්නේ ද? ඒ කෝපය ඔහුගේ ම අනර්ථය පිණිස පවතින්නේ නො වේ ද? ඒ අකුසලය ඔහුට සැනසීම පිණිස හේතු නොවන්නේ ය. හුදෙක් ඒ ක්‍රෝධය ඔහුට මෙලොව පරලොව දෙක්හි බරපතල භයානක දුකට හේතුවන්නේය. මෙසේ කම්මස්සකතාව ප්‍රත්‍යවෙක්ෂා කිරීමෙන් ද ව්‍යාපාදය පහකළ හැකි ය.

පටිසඞ්ඛානබහුලතාව නම් අපගේ ශාස්තෘන් වහන්සේ පෘථග්ජනව සිට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පෙරුම් දම් පුරන කල්හි ඒ ඒ ආත්මවල දී හිරිහැර පීඩා කළ පසමිතුරන් කෙරෙහි ද ජීවිතක්ෂයට පත් කළ වධකයන් කෙරෙහි ද ක්‍රෝධයෙන් සිත දූෂ්‍ය කර නොගත් සේක. එනම්, සීලව ජාතකය, ඛන්තිවාදී ජාතකය, චූළධම්මපාල ජාතකය, ඡද්දන්ත ජාතකය, මහාකපි ජාතකය, භූරිදත්ත ජාතකය, සංඛපාල ජාතකය, මාතුපෝසක ජාතකය යන ආදියෙහි දී ආශ්චර්යය අද්භූත ආකාරයෙන් ක්‍රෝධයට වසඟ නොවී මෙත්‍රියෙන් ක්‍රියාකළ ආකාරය නුවණින් සලකා ව්‍යාපාදය දුරු කළ යුතු ය.

තව ද අගක් මුලක් නැති සංසාරයෙහි දී මා හට මවු නොවූ පියා නොවූ සොහොයුරු නොවූ සොහොයුරී නොවූ පුතා නොවූ දු නොවූ එකම සත්වයෙක් ලෝකයෙහි නැත. එහෙයින් සතුරා කෙරෙහි මෙසේ සිතිය යුතු ය. මේ තැනැත්තා අතීත කාලයෙහි මගේ මවුය. ඇය දසමසක් මුළුල්ලෙහි මා ඇගේ කුසෙහි දරාගෙන සිට බිහි වූ පසු මගේ සෙම්සොටු මලමුත්‍ර ආදී අසුචි රැස සඳුන් කල්කයක් සේ පිළිකුල් නොකර එය ඉවත්කර, පිරිසිදු කොට මා වඩාගෙන කවා පොවා පෝෂ්‍ය කළා ය. කලෙක දී ඇය මගේ පියා විය. එකල මට ඇති ආදරය නිසා ඔහුගේ ජීවිතය ද නොතකා නොයෙක් අයුරින් ධනය රැස්කොට මා පෝෂ්‍ය කෙළේ ය. එපමණකුත් නොව ඔහු මගේ සොහොයුරා වීමෙන් සොහොයුරිය වීමෙන් පුතා වීමෙන් දුවක් වීමෙන් මට නොයෙක් උදවූ උපකාර කොට ඇත. ඒ නිසා ද ඔහු කෙරෙහි සිත දුෂ්‍ය කිරීම නුසුදුසු ය යි නුවණින් සලකා ව්‍යාපාදය දුරු කළ යුතු ය.

කල්‍යාණ මිත්තතා නම්, මෙත් වඩන කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම ය. අස්සගුත්ත ස්වාමින් වහන්සේ නිතර මෙත් වඩන කෙනෙකි. එවැනි උතුමන් ඇසුරු කිරීමෙන් ව්‍යාපාදය පහව යයි.

විසාඛ ස්වාමීන් වහන්සේ වැනි අයද ව්‍යාපාදය දුරු කොට මෛත්‍රිය ඉපද වීම සඳහා ඇසුරු කිරීමට සුදුසුයහ. උන්වහන්සේගේ කථා පුවත මෙසේ ය:

දඹදිව පැලලුප් නුවර එක්තරා කෙළෙඹි පුත්‍රයෙක් විසුවේ ය. ඔහුට ලංකාද්වීපය ගැන මෙසේ අසන්ට ලැබුනා ලු. කෙසේද යත්? “තම්බ පණ්ණිදීප” නමැති ලංකාද්වීපය චෛත්‍ය විහාර මලු ආවාස පන්සල් ආදියෙන් අලඞ්කෘත ය. එහි වසන බොහෝ පැවිදි පිරිස නිසා මුලු ලක්දිව කසාය වස්ත්‍රයෙන් බබලන්නේ ය. සොර සතුරු භය අඩුය. එහි ඕනෑ තැනක ඉඳගන්ට හෝ සැතපෙන්ට හැකිය. එපමණකුත් නොව එහි දේශගුණය හොඳ නිසා ඍතු සප්පාය යහපත්ය. එසේ ම සේනාසන සප්පාය - පුද්ගල සප්පාය - ධම්ම සවණ සප්පාය යන මේ සියල්ල ඉතා සුලභය යනු යි.

එහෙයින් හෙතෙම තමා සතු භෝගස්කන්ධය පුත්‍ර දාරාවන්ට භාරදී එකම කහවනුවක් රෙදි අග කොණේ බැඳගෙන ගෙදරින් නික්ම ගොස් මුහුදු වෙරළෙහි නවා තැන් ගෙන ලක්දිවට යන නැවක් සොයමින් එක් මසක් එහි ම විසී ය. හෙතෙම වෙළඳාමෙහි දක්ෂයෙකු වූ බැවින් එහි දී බඩු මිලයට ගෙන විකුණමින් දැහැමි වෙළඳාමෙන් ඒ මාසය තුළ ම කහවණු දහසක් රැස්කර ගත්තේ ය. ඉක්බිති ලක්දිවට පැමිණ අනුපිළිවෙළින් අනුරාධපුරයෙහි මහා විහාරයට ගොස් මහණ වී උපසම්පදා කරවීමට සීමාවට පැමිණ වූ කල්හි මසුරන් දහසේ මඩිස්සලය ඔඩොක්කුවෙන් බිම හෙලුවේ ය. “මේ කුමක්දැ” යි මහ තෙරුන් වහන්සේ විචාළ කල්හි “ස්වාමීනි! මසුරන් දහසක්” ය යි කීවේ ය. “පැවිදි වුවාට පසු මුදල් පරිහරණය නොකළ හැකි ය. දැන් මේ මොහොතේ ම එයට සුදුස්සක් කරව” යි මහා ස්ථවිරයන් වහන්සේ කීහ. එවිට හෙතෙම “විසාඛ පැවිදි වූ තැනට පැමිණි අය හිස් අතින් නොයත් වා! මේ කහවනු ඇර

ගෙන යත් වා” යි කියා ඒ කහවණු මඩිස්සලය ලිහා ඒවා සීමා මලුවේ විසුරුවා හැර පැවිදිව උපසම්පදාව ලබාගත්තේ ය. ඉක්බිති විසාඛ භික්ෂුව උපසම්පදා වස් පසක් සම්පූර්ණ වූ පසු උභය ප්‍රාතිමෝක්ෂය ද ප්‍රගුණ කොටගෙන පස්වැනි වස පවාරණය කොට තමාට

සප්පාය මෛත්‍රී කර්මස්ථානය ගෙන එක් එක් විහාරයෙක සාර මස බැගින් වාසය කරමින් මෙති සමාධිය පාදක කොටගෙන විදසුන් වඩා රහත් බවට පැමිණි සේක.

උන්වහන්සේ යම් විහාරයක වෙසෙත් නම් ස්වකීය ස්ථානයක මෙන් හැමදීම් ආදී සියලු වත පිළිවෙත කරති. ඉක්බිති එක් විහාරයක වැස සාරවස ඉක්ම ගිය කල්හි සිතුල්පව් විහාරයට වඩිනසේක් දෙමං සන්ධියකට පැමිණ “අර මාර්ගයෙන් යම් දෝ මේ මාර්ගයෙන් යම් දෝ” යි සිතමින් සිටින කල්හි ඒ සමීපයෙහි පර්වතයක අධිගෘහිත ව සිටි දේවතාවෙක් අතදිගු කොට සිතුල් පව්වට යන්නේ මේ මාර්ගයෙන් ය යි දැක්වී ය. උන්වහන්සේ ඒ මාර්ගයෙන් සිතුල්පව් විහාරයට ගොස් එහි ද සාරමසක් වාසය කොට හෙට උදෑසන ම වෙන තැනකට වඩින්ට ඕනෑ ය යි සිතා සැතැපී සිටින කල්හි සක්මන් මලු කොණේ මනිලරුකෙහි අධිගෘහිතව වාසය කරන දේවතාවා සක්මන් කෙළවර සෝපාන පුවරුවෙහි ඉඳගෙන අඬන්නට පටන් ගත්තා ය.

“මෙතැන අඬන්නේ කවුදැ” යි උන්වහන්සේ විචාළ කල්හි “ස්වාමීනි! මේ මණිල රුකේ වාසය කරන දෙව්දුවක් වූ මා ය” යි කීවා ය. “අඬන්නී කුමක් නිසාද” යි විචාළ සේක. එවිට “නුඹ වහන්සේ ආපසු වඩින නිසා ය” යි කීවා ය. “මා මෙහි විසීමෙන් තොපට ප්‍රයෝජනයක් ඇත්දැ” යි ඇසූහ. “නුඹ වහන්සේ මෙහි වසන කල්හි අමනුෂ්‍යයෝ ඔවුනොවුන්ට මෙත් පතුරුවති. නුඹ වහන්සේ මෙතැන අතහැර වැඩිය හොත් මෙතැන් සිට ඔවුහු කෝලාහල කරති. කුණු හරුප කියා ගනිති ය” යි කීවා ය. එවිට “මා මෙහි විසීමෙන් තොපට පහසු විහරණයක් වේ නම් යහපතැයි” කියා තවත් හාර මසක් වාසය කොට නැවතද “යන්ට ඕනෑ ය යි සිතූවිට ඒ දෙව්දුව නැවතත් පෙර සේම ඇඬුවා ය. මේ උපායෙන් ම විසාඛ තෙරුන් වහන්සේ සිතුල් පව්වේ ම වාසය කොට එහිදී ම පිරිනිවන් පෑ සේක. මෙවැනි කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන් ද ව්‍යාපාදය පහ ව යයි.

සප්පාය කථා යනු මෛත්‍රිය ඉපදවීමට සුදුසු ධර්ම සාකච්ඡා පැවැත්වීමය. එයිනුත් ව්‍යාපාදය පහකළ හැකි වෙයි. ව්‍යාපාදය උපදින විට “ව්‍යාපාදය ව්‍යාපාද” යයි කීප වරක් මෙනෙහි කිරීමෙන් එය පහකළ හැකි වෙයි.