3. ථීනමිද්ධ නීවරණය

ධම්මානුපස්සනාව පිළිබඳ නීවරණ පබ්බයේ

පාලි

සන්තං වා අජ්ඣත්තං ථිනමිද්ධං අත්ථි මෙ අජ්ඣත්තං ථිනමිද්ධන්ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං ථිනමිද්ධං නත්ථි මෙ අජ්ඣත්තං ථිනමිද්ධන්ති පජානාති. යථා ච අනුප්පන්නස්ස ථිනමිද්ධස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස ථිනමිද්ධස්ස පහානං හොති තඤ්ච පජානාති. යථා ච පහීනස්ස ථිනමිද්ධස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.

කෙටි අදහස

සිය සතන්හි ථිනමිද්ධය ඇතිවුවහොත් එකල්හි මාගේ චිත්ත සන්තානයෙහි ථිනමිද්ධය ඉපදී ඇතැයි දැනගනී. සිය සතන්හි ථිනමිද්ධය ඇති නොවුවහොත් එකල්හි මාගේ චිත්ත සන්තානයෙහි දැන් ථීනමිද්ධය නැතැයි දැනගනී. මුල දී නූපන් ථීනමිද්ධය යම් අයෝනිසෝමනසිකාරයක් නිසා උපදී නම් එයට හේතුවන අයෝනිසෝමනසිකාරයත් දැන ගනී. උපන් ථිනමිද්ධය යම් යෝනිසෝමනසිකාරයක් කරන්න කොට ගෙන තද වශයෙන් හෝ විෂ්කම්භන වශයෙන් ප්‍රහීන වෙයි නම් එය ද දැනගනී. ප්‍රහීන වූ ථීනමිද්ධය යම් ආර්ය මාර්ගයක් නිසා නැවත නූපදී නම් ඒ ආර්ය මාර්ගය ද දැනගනී.

එහි විස්තරය

ඉහත කී නයින් අයෝනිසෝමනසිකාරය නිසා ථීනමිද්ධය උපදින බව සහ යෝනිසෝමනසිකාරය නිසා ථිනමිද්ධය පහව යන බවත් දතයුතුය.

අරති යයි කියනු ලබන කම්මැලිකම ද තන්දි ය යි කියනු ලබන කයේ අලසකම ද විජම්හිතා ය යි කියනු ලබන ඇඟමැලි කැඩීම ද භක්තිසම්මද ය යි කියනු ලබන බත් මත ද චෙතසොලීනත්ත ය යි කියන ලද කුසලයෙහි සිත පසු බැස හැකිලී යෑම ද යන මෙකී අරති ආදියෙහි අයෝනිසෝමනසිකාරය බහුලව පවත් වන තැනැත්තාහට ථීනමිද්ධය උපදී.

ථීනමිද්ධය පහකිරීමේ යෝනිසෝමනසිකාරය සඳහා ආරම්භ ධාතුය, නික්ඛම ධාතුය, පරක්කම ධාතුය යන මේ වීරිය ධාතු තුණ පළමුවෙන් වැඩිය යුතුය. එහි ආරම්භ ධාතු නම්, පුණ්‍ය ක්‍රියාවක් පටන් ගැනීමේ දී එයට ප්‍රතිවිරුද්ධ කරුණු ඉවත් කොට පළමුවෙන් පටන් ගන්නා ලද වීර්යය ය යි. නික්ඛම ධාතු නම්, කුසීත භාවයෙන් නික්ම යන බැවින් ආරම්භ ධාතුවට වඩා බලවත් වීර්යය ය යි. පරක්කම ධාතු නම්, පසු පසු උපදින වීර්යයයට උපකාර වන නිසා මතු මතු විශේෂ ප්‍රතිඵල ඉපදවිය හැකි අතිශයින් බලවත් වීර්යය ය යි. මෙකී තෙවැදෑරුම් වීර්යයයෙහි යෝනිසෝමනසිකාරය බහුලව පවත්වන්නාගේ ථිනමිද්ධය පහව ය යි. එය සහමුලින් පහව යන්නේ රහත් මගින්ය. “ථිනමිද්ධය ථීනමිද්ධය” ය යි කීපවරක් මෙනෙහි කිරීමෙන් රෝගී පුද්ගලයාහට එය තදඞ්ග වශයෙන් හෝ විෂ්කම්භන වශයෙන් පහකළ හැකි ය.

ඒ මේ වීර්යය කායික - චෛතසික වශයෙන් දෙවැදෑරුම් වේ. එහි කායික වීරිය යනු දවල් කාලය පෙරවරු පස්වරු වශයෙන් ද රෑ කාලය පූර්ව යාමය මධ්‍යම යාමය පශ්චිම යාමය වශයෙන් ද දිනය කොටස් පසකට බෙදා ගෙන සක්මන් කිරීමෙන් හා ඉඳගැනීමෙන් කයින් භාවනාව සඳහා වෑයම් කිරීම ය.

චෛතසික වීරිය යනු මේ භාවනාවෙන් ප්‍රතිඵලයක් ලැබෙන තෙක් මේ විවේක ස්ථානයෙන් නික්ම නො යන්නෙමැයි කියා ස්ථානය පිරිසිඳ ගැනීමෙන් හෝ ඒ ප්‍රතිඵලය ලැබෙන තෙක් මේ ඉඳින පර්යකය වෙනස් නොකරනෙමැයි කියා ඉඳීම් ආදී ඉරියවු පිරිසිඳීමෙන් හෝ කමටහන් අරමුණෙහි සිත තදින් බැඳ තබාගෙන වෑයම් කිරීම ය. මෙකී දෙවැදෑරුම් වීර්යයෙන් භාවනා කරන යෝගී පුද්ගලයාහට නුපන් ථිනමිද්ධය නූපදී. උපන් ථීන මිද්ධය පහව යයි. කවරෙක්හට මෙන්ද? මිලක්ඛ තිස්ස ස්වාමීන් වහන්සේය, මහාසිව ස්වාමීන් වහන්සේය, පීතිමල්ල ස්වාමීන් වහන්සේය, කුටුම්බිය පුත්තතිස්ස ස්වාමීන් වහන්සේය යන මේ ස්වාමීන් වහන්සේලාට මෙනි. එයින් පළමු කී තුන් නම සහ වෙනත් අයද කායික වීර්යයෙන් භාවනා කළහ. කුටුම්බිය පුත්තතිස්ස ස්වාමීන් වහන්සේ සහ වෙනත් අයද චෙතසික වීරියයෙන් භාවනා කළහ.

උච්චවාලික වාසී මහානාග ස්වාමීන් වහන්සේ වනාහි ඒ දෙවැදෑරුම් වීරියයෙන් ම භාවනා කළහ. උන්වහන්සේ එක් සතියක සක්මන් ඉරියවුවෙන්ද එක් සතියක සිටින ඉරියවුවෙන් ද එක් සතියක ඉඳින ඉරියවුවෙන් ද එක් සතියක හොවින (හාන්සිවන) ඉරියවුවෙන් ද කමටහන් වැඩුසේක. උන්වහන්සේගේ හැම ඉරියවුවක් ම භාවනාවට සප්පාය වීය. උන්වහන්සේ එසේ සතර ඉරියවුවෙන් සති හතරක් විදර්ශනා භාවනාවෙහි යෙදී සිට සිවුවෙනි සතියෙහි දී ථීනමිද්ධය ඇතුලු සියලු කෙලෙස් පහකොට රහත් ඵලයෙහි පිහිටි ස්ක.

තවද ථීනමිද්ධය පහ කිරීමට උපකාරවන වෙනත් කරුණු සයක් ඇත. එනම්,

1. අතිභොජනෙ නිමිත්තග්ගාහය,

2. ඉරියාපථසම්පරිවත්තනතාව,

3. ආලොකසඤ්ඤාමනසිකාරය,

4. අබ්භොකාසවාසය,

5. කල්‍යාණ මිත්තතාව,

6. සප්පාය කථාව යන මේ කරුණු සය යි.

අතිභොජනෙ නිමිතග්ගාහය යනු බොහෝ ආහාර අනුභව නො කොට යැපෙන පමණට ආහාර ගැනීමය. බොහෝ ආහාර ගෙන රාත්‍රි ස්ථාන, දිවාස්ථානයන්හි ඉඳ භාවනා කරන්නා අභිභවනය කරමින් ථීනමිද්ධය මහා හස්තියෙකු සේ පැමිණෙයි. ආහාර පිඬු සතරකට හෝ පහකට හෝ අවකාසය තබා ගෙන පැන් බොන යෝගී පුද්ගලයාහට ථීනමිද්ධය පීඩා නොකරයි. එහෙයින් එය පහකළ හැකි වෙයි.

ඉරියාපථ සම්පරිවත්තනතා නම්, යම් ඉරියවුවක දී ථිනමිද්ධය උපදී නම් ඒ ඉරියව්ව වෙනස් කිරීමය. මෙසේ ඉරියවු මාරු කරමින් වෙනස් කිරීමෙන් ද ථීනමිද්ධය පහවෙයි.

ආලොකසඤ්ඤාමනසිකාරය නම් රාත්‍රියෙහි චන්ද්‍රාලෝකය, ප්‍රදීපාලෝකය, දැල් වූ ගිනිසුලය යන මේ ආලෝකය සහ දවල් සුර්යයාලෝකය මෙනෙහි කිරිමෙන් ද ථිනමිද්ධය පහවෙයි.

අබ්භොකාස වාසය නම්, යමකින් නොවැසුනු, ආවරණයක් නැති, එලිමහන් තැනක විසීමය. එවැනි එලිමහන් තැනක විසිමෙන් ද ථිනමිද්ධය පහවෙයි.

කල්‍යාණ මිත්තතා යනු මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ වැනි ථිනමිද්ධය නැති කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමය. එවැනි උතුමන් ඇසුරු කිරීමෙනුත් ථිනමිද්ධය පහ වෙයි.

සප්පායකථා යනු ධූතාංග පිළිබඳ සාකච්ඡා කථාවය. ධූතාංග සමාදන්වීම හා රැකීම විර්යයෙන් කළ යුතු බැවින් එවැනි සප්පාය කථාවෙනු ත් ථීනමිද්ධය පහවෙයි.

චිත්ත චෛතසිකයන්ගේ අකර්මන්‍ය භාවය හෝ පුණ්‍ය ක්‍රියාවෙහි අලස බව ථීනමිද්ධ ය යි. එය නූපන් කුසල් උපදවා ගැනීමට හෝ උපන් කුසල් පවත්වා ගැනීමට හෝ ඉඩ නො දී ආවරණ කරන බැවින් වළක්වන බැවින් නීවරණ නම් වේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, ආදියටත් ඒ නම ව්‍යවහාර කරනු ලබන්නේ ඒ නිසාය.