ධම්මානුපස්සනාවේ (1) නීවරණ පබ්බය

මෙසේ සොළොස් ආකාරයකින් චිත්තානුපස්සනාව දේශනා කොට වදාරා දැන් විසි ආකාරයකින් ධම්මානුපස්සනාව දක්වනු පිණිස “කථඤ්ච භික්ඛවෙ” යන ආදිය වදාළ සේක.

නොහොත් භාග්‍යවතුන් වහන්සේ විසින් කායානුපස්සනාවෙන් තනිකර රූප ධර්මයන් පිළිබඳ විදර්ශනාව ද, වෙදනානුපස්සනා චිත්තානුපස්සනා දෙකින් තනිකර අරූප ධර්මයන් පිළිබඳ විදර්ශනාව ද වදාරා, දැන් රූප අරූප ධර්මයන්ගේ මිශ්‍රක විදර්ශනාව දක්වනු පිණිස “කතඤ්ච භික්ඛවෙ” යන ආදිය වදාළ සේක.

නොහොත් කායානුපස්සනාවෙන් රූප ස්කන්ධය ද, වෙදනානුපස්සනාවෙන් වෙදනාස්කන්ධය ද, චිත්තානුපස්සනාවෙන් විඤ්ඤාණ ස්කන්ධය ද විදර්ශනා වශයෙන් දක්වා, දැන් සංඥාස්කන්ධන සංස්කාරකන්ධයන් ද විදර්ශනා වශයෙන් දක්වනු පිණිස, “කථඤ්ච භික්ඛවෙ” යන ආදිය වදාළ සේක.

පාලි

“කථඤ්ච පන භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති. ඉධ භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු නීවරණෙසු. කථඤ්ච පන භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු නීවරණෙසු.ඉධ භික්ඛවෙ භික්ඛු සන්තං වා අජ්ඣත්තං කාමච්ඡන්දං අත්ථි මෙ අජ්ඣත්තං කාමච්ඡන්දොති පජානාති. අසන්තං වා අජ්ඣත්තං කාමච්ඡන්දං නත්ථි මෙ අජ්ඣත්තං කාමච්ඡන්දොති පජානාති. යථා ච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හොති තඤ්ච පජානාති. යථා ච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.”

කෙටි අදහස

මහණෙනි! යෝගී තෙමේ සත්වයෙක් පුද්ගලයෙක් නො වන නාම රූප ස්වභාව ධර්මයන් කෙරෙහි ස්වභාව ධර්ම අනුව බලන සුලු වූයේ කෙසේ වාසය කර යි ද? මහණෙනි! බුදුසසුනෙහි භාවනානුයෝගී පුද්ගල තෙම පස් වැදෑරුම් නීවරණ ධර්මයන් කෙරෙහි ස්වභාව ධර්ම අනුව බලන සුලුව වාසය කර යි. මහණෙනි, බුදු සසුනෙහි භාවනානුයෝගී පුද්ගලතෙම පස්වැදෑරුම් නීවරණ ධර්මයන් කෙරෙහි ස්වභාව ධර්ම අනුව බලන සුලුව කෙසේ වාසය කරයි ද? මහණෙනි! මේ සසුනෙහි භාවනා කරන යෝගී පුද්ගල තෙම තමා තුළ කාමච්ඡන්දය (බලවත් කාමරාගය) ඇති වුවහොත් දැන් මගේ සිත තුළ කාමච්ඡන්දය ඇතැ යි දැන ගනී. තමා තුළ කාමච්ඡන්දය නැතහොත් දැන් මගේ සිත තුළ කාමච්ඡන්දය නැතැයි දැන ගනී. යම් අයෝනිසෝමනසිකාරයක් නිසා නූපන් කාමච්ඡන්දය උපදී නම් ඒ අයෝනිසෝ මනසිකාරය ද දැන ගනී. යම් යෝනිසෝ මනසිකාරයක් නිසා උපන් කාමච්ඡන්දය පහව යි නම් ඒ යෝනිසෝමනසිකාරයත් දැන ගනී. තදඞ්ග විෂ්කම්භන වශයෙන් පහ වූ කාමච්ඡන්දය යම් ආර්ය මාර්ගයක් නිසා මතු නූපදී නම් ඒ ආර්ය මාර්ගය ත් දැන ගනී.

එහි විස්තරය:

කාම අරමුණු හෝ කාම වස්තූන් ලබා ගැනීමට බලාපොරොත්තු වී ම ය. එය ආස්වාද කිරීමය, එහි සිත ඇලවීම ය. එයට ආදරය කිරීමය, ප්‍රිය කිරීමය යන මේ බලවත් කාම රාගය -කාම ආසාව කාමච් ඡන්ද ය යි කියනු ලැබේ. මේ කාමච්ඡන්දය උපදනා වාරයක් පාසා “කාම ආසාව ඇති වෙනවා, කාම ආසාව ඇති වෙනවා” යන ආදී වශයෙන් මෙනෙහි කළ යුතු ය. මෙසේ කිප වරක් මෙනෙහි කිරීමෙන් ඒ කාමච්ඡන්දය සංසිඳී යන්නේ ය. “සන්තං වා අජ්ඣත්තං කාමච්ඡන්දං අත්ථි මේ අජ්ඣත්තං කාමච්ඡන්දෙති පජානාති” ය යි වදාළේ එසේ මෙනෙහි කිරීමට ය.