පස්සද්ධි සම්බොජ්ඣංගය

පාලි

“සන්තං වා අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං අත්ථි මෙ අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං නත්ථි මෙ අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.”

කෙටි අදහස:

තමා තුළ පස්සද්ධි සම්බොජ්ඣංගය විද්‍යමානව පවත්නා කල්හි දැන් මා තුළ පස්සද්ධි සම්බොජ්ඣංගය ඇත්තේ ය යි යෝගී පුද්ගලයා දැන ගන්නේ ය. තමා තුළ පස්සද්ධි සම්බොජ්ඣංගය නැතහොත් දැන් මා තුළ පස්සද්ධි සම්බොජ්ඣංගය නැතැ යි දැන ගන්නේ ය. යම් යෝනිසෝමනසිකාරයක් නිසා නුපන් පස්සද්ධි සම්බොජ්ඣංගය උපදී නම් එය ද දැන ගන්නේ ය. එසේම උපන් පස්සද්ධිසම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ වීම යම් ආර්‍ය්‍ය මාර්ගයකින් සිදුවෙයි නම් ඒ අර්හත් මාර්ගයත් දැන ගන්නේ ය.

එහි විස්තරය:

කමටහන් අරමුණ මෙනෙහි කිරීමෙන් ප්‍රීතිය ඇති වූ පසු නිරුත්සාහයෙන් ම සිතේ ඇතිවන සන්සුන්කම හෝ සැනසිල්ල පස්සද්ධිසම්බොජ්ඣංග ය යි. මේ ප්‍රීතිය හා පස්සද්ධිය උදයබ්බය ඤාණය පහළ වීමේ පටන් අතිශයින් ප්‍රකට වන්නේ ය. එකල්හි පෙර නූපන් විරූ සතුට හා සැනසිල්ල ඇති වන බැවින් ඒ සතුට හා සැනසිල්ල මෙතෙකැ යි ප්‍රමාණ නො කළ හැකි ය. “සබ්බං රතිං ධම්මරතී ජිනාති” ය යි වදාළ පරිදි ස්ත්‍රීන් කෙරෙහි ද, දු පුතුන් කෙරෙහි ද, රන් රිදී මුතු මැණික් ආදිය කෙරෙහි ද, නැටුම් ගැයුම් ආදිය කෙරෙහි ද, පවත්නා අනේක ප්‍රකාර වූ රතියක් ඇලීමක් - ප්‍රීතියක් වෙයි නම්, ඒ හැම රතියකට වඩා ඒ හැම ප්‍රීතියකට වඩා ධර්ම රතිය ම - ධර්ම ප්‍රීතිය උතුම් වෙයි. සංසාර වට්ට දුක්ඛය අවසන් කොට නිවන් දැකීමට උපකාර වන බැවිනි.

යෑම්, සිටීම්, ඉඳීම්, හොවීම්, අතපය හැකිලීම්, දිග හැරීම්, සිතින් මෙනෙහි කිරීම් ආදී හැම කාය චිත්ත ක්‍රියාවකදී ම සුඛ වේදනාවෙන් තොර නො වන බැවින් හැම විට ම සුවසේ විසිය හැකි බව දැනෙන්නේ ය. ප්‍රීති වේගය නිසා ශරීරයට පවන් සලන්නාමෙන් කාය චිත්ත දාහය සංසිඳෙනේ ය. පස්සද්ධිය දියුණු වූ කල්හි භාවනා අරමුණ මෙනෙහි නො කොට ද සන්සුන් බව සිහිල් බව දැනෙන්න පටන් ගනී. භඞ්ග ඤාණය ආදී විදර්ශනා ඥාන අවස්ථාවන්හි මේ ප්‍රීතිය හා පස්සද්ධිය ඇතැම් විටක දී පමණක් ප්‍රකට විය හැකි ය. එහෙත් සංඛාරුපෙක්ඛා ඤාණ අවස්ථාවෙහි වනාහි ඇතැම් විට වැඩි කාලවේලාවක් ප්‍රකටව පවතී.

මෙසේ විපස්සනා කමටහන් අරමුණ මෙනෙහි කිරීමේ දී විශේෂ උත්සාහයක් නැතිව ම යෝගාවචරයාගේ කයේ හා සිතෙහි දැවිල්ලක් හෝ වෙහෙසීමක් නො මැති ව පහළ වී එන සංසුන් සැප ගතිය පස්සද්ධි සම්බොජ්ඣංග ය යි. පස්සද්ධි සම්බොජ්ඣංගය උපදවා ගැනීමට උපකාර වන කරුණු සතක් ඇත.

එනම්,

1. පණීතභෝජනසේවනතා,

2. උතුසුඛසේවනතා,

3. ඉරියාපථ සුඛ සේවනතා,

4. මජ්ඣත්ත පයෝගතා,

5. සාරද්ධ කායපුද්ගලපරිවජ්ජනතා,

6. පස්සද්ධ කායපුග්ගලසේවනතා,

7. තදධිමුත්තතා යනු යි.

එහි පණීතභෝජනසේවනතා යනු රසවත් වූ, මිහිරි සප්පාය භෝජනය අනුභව කිරීම යි.

උතුසුඛසේවනතා යනු ශීත - උෂ්ණ ගුණයන් අතුරෙන් තමාගේ ශරීරයට ගැළපෙන - සැපවත් ඍතු ගුණයක් සේවනය කිරීම ය.

ඉරියාපථසුඛසේවනතා යනු යෑම ය, සිටීම ය, ඉඳ ගැනීම ය, හොවීම ය, යන සතර ඉරියව්වලින් යම් ඉරියවුවක් සුව සේ පැවැත්විය හැකි නම් එම ඉරියව් වෙන් භාවනා කිරීම ය.

මජ්ඣත්තපයෝගතා යනු තමාගේ හා මෙරමාගේ ස්වකීය වස්තුව කුශලාකුශල කර්මය බව සැලකීමෙන් හැම අවස්ථාවක දී ම මැදහත් පැවතුම් ඇති බව ය.

සාරද්ධකායපුද්ගලපරිවජ්ජනතා යනු ගල්කැට, දඬු මුගුරු ආදියෙන් අනුන්ට පීඩා කරමින් හැසිරෙන - නො සන්සුන් පුද්ගලයන් දුරින් ම දුරු කිරීම ය.

පස්සද්ධකායපුග්ගලසේවනතා යනු අත පය හික්මවා ගත් සන්සුන් කර ඇති පුද්ගලයන් ඇසුරු කිරීම ය.

තදධිමුත්තතා යනු පස්සද්ධිය උපදවනු පිණිස එයට නැමුණු සිත් ඇති බව ය. මෙකී කරුණු වලින් උපදවා ගත් පස්සද්ධිය භාවනාවෙන් ඉහළට ම සම්පුර්ණ වන්නේ රහත් මගින් යයි යෝගී පුද්ගලයා දැන ගන්නේ ය.