සමාධි සම්බොජ්ඣඞ්ගය

පාලි

“සන්තං වා අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣඞ්ගං අත්ථි මෙ අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣඞ්ගං නත්ථි මෙ අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස සමාධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.”

කෙටි අදහස

තමා තුළ සමාධි සම්බොජ්ඣංගය ඇතිව පවත්නා කල්හි දැන් මාගේ සන්තානයෙහි සමාධි සම්බොජ්ඣඩ්ගය ඇතිව පවතින්නේ ය යි දැනගන්නේ ය. තමා තුළ සමාධි සම්බොජ්ඣංගය නැති නම් ඒ බව ද දැන ගනේ ය. යම් යෝනිසෝමනසිකාරයකින් සමාධි සම්බොජ්ඣංගය උපදී නම් එයත් දැන ගන්නේ ය. උපන් සමාධි සම්බොජ්ඣඩ්ගය යම් ආර්ය මාර්ගයකින් භාවනාවෙන් පරිපූර්ණ වෙයි නම් ඒ රහත් මාර්ගය ද දැන ගන්නේ ය.

එහි විස්තරය:

කමටහන් අරමුණ මෙනෙහි කිරීමක් - මෙනෙහි කිරීමක් පාසා මෙනෙහි කරනු ලබන අරමුණෙහි ම සිත පිහිටුවාගෙන එහි ම සිත ඇලී ගැලී පවත්නා සේ වෙන අරමුණකට සිත නො යවා සිත තැන්පත් කොට තබා ගත යුතු ය. සිතේ තැන්පත්කම දියුණු වූ කල්හි මෙනෙහි කරනු ලබන නාම රූපයන්ගේ ස්වභාව ලක්ෂණ ආදිය සහ ඇතිවන, නැතිවන අනිත්‍ය ලක්ෂණය ආදී සාමාන්‍ය ලක්ෂණය ද ඇති සැටියෙන් දැනගත හැකි වන්නේ ය. මෙනෙහි කරන අවස්ථාවෙහි තීක්ෂණව පහළ වී එන ඛණිකසමාධිය සමාධිසම්බොජ්ඣඞ්ගය යි.

සමාධිසම්බොජ්ඣංගය ඉපද වීමට උපකාර වන අඞ්ග (කරුණු) එකොළොසක් ඇත.

එනම්:-

1. වත්ථුවිසදකිරියතා,

2. ඉන්ද්‍රියසමත්ත පටිපාදනතා,

3. නිමිත්තකුසලතා,

4. සමයේ චිත්තස්ස පග්ගණ්හනතා,

5. සමයේ චිත්තස්ස නිග්ගණ්හනතා,

6. සමයේ සම්පහංසනතා,

7. සමයේ අජ්ඣුපෙක්ඛණතා

8. අසමාහිත පුද්ගල පරිවජ්ජනතා,

9. සමාහිතපුග්ගලසේවනතා,

10. ඣානවිමොක්ඛ පච්චවෙක්ඛණතා,

11. තදධිමුක්තතා යනු යි.

ඒ අගයන් අතුරෙන් වත්ථුවිසදකිරියතා යනු අධ්‍යාත්මික බාහිර වස්තූන් පිරිසිදු කර ගැනීම ය.

ඉන්ද්‍රිය සමත්තපටිපාදනතා යනු ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් සම බවට පමුණුවා ගැනීම ය. මේ අංග දෙක ධම්මවිචය සම්බොජ්ඣංගයෙහි කී සෙයින් දත යුතු ය.

නිමිත්තකුසලතා යනු ධ්‍යාන ඉපදවීමට උපකාරී වන කසිණ නිමිති, අසුභ නිමිති ආදිය පිළියෙල කිරීම ය, එය අරමුණු කොට භාවනා කිරීම ය, එයින් උපදවා ගත් උග්ගහ නිමිති, පටිභාග නිමිති ආරක්ෂාකර ගැනීම ය යන මෙහි පළපුරුද්ද හෝ දක්‍ෂතාව ඇති කර ගැනීම ය.

සමයේ චිත්තස්සපග්ගණ්හනතා යනු යම් කලෙක්හි ඉතා ලිහිල් වූ වීර්යය ආදිය නිසා සිත මැලි වූයේ හෝ හැකිලී ගියේ නම් එකල්හි ධම්මවිචය සම්බොජ්ඣංගය හා විරිය සම්බොජ්ඣංගය ද පීතිසම්බොජ්ඣංගය ද උපදවා ලීමෙන් ඒ සිතට රුකුල් දීම යි.

සමයේචිත්තස්සනිග්ගහණතා යනු යම් කලෙක්හි වැඩියක් ඇරඹූ වීර්යය ඇති බව යන ආදියෙන් සිත උදහස් වූයේ හෝ විසිර ගියේ වේ නම් එකල්හි පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය හා සමාධිසම්බොජ්ඣඞ්ගය ද උපෙක්ඛා සම්බොජ්ඣංගය ද උපදවා ගැනීමෙන් ඒ සිතට නිග්‍රහ කිරීම ය.

සමයේ සම්පහංසනතා යනු යම් කලෙක්හි සිත, ප්‍රඥාව හා යෙදීමේ අඩුකම නිසා හෝ සන්සුන් බව හා සුවය නො ලැබීම නිසා හෝ ඒ සිත ආස්වාද රහිත වෙයි නම්, එකල්හි සංවේග වස්තු අට ප්‍රත්‍යවේක්ෂ කිරීමෙන් සිත සංවේගයට පමුණුවා ගෙන රත්නත්‍රය පිළිබඳ ගුණ සිහි කිරීමෙන් සිත සතුටු කර ගැනීම ය.

එහි සංවේග වස්තු අට නම්:- ජාතිය, ජරාවය, මරණය, සතර අපාය දුකය, අතීත වූ සසර දුකය, අනාගත සසර දුකය, දැන් පවත්නා සසර දුකය, ආහාර සෙවීමේ දුකය, යන මේ කරුණු අට ය.

“ජාති ජරා ව්‍යාධි චුතී අපායා

අතීත අපත්තකවට්ටදුක්ඛං

ඉදානි ආහාර ගවෙට්ඨි දුක්ඛං

සංවේගවත්ථූනි ඉමානි අට්ඨ”

යනු සංවේගවස්තු අට ඇතුළත් ගාථාව යි.

සමයේ අජ්ඣුපෙක්ඛණතා යනු යම් කලෙක්හි සම්‍යක් ප්‍රතිපත්තිය කරුණු කොට ගෙන මැලි නො වූයේ හෝ සන්සුන් වූයේ ආස්වාද සහිත ව අරමුණෙහි සමව පැවති භාවනා චිත්තය සමථ මාර්ගයට පිළිපන්නේ වෙයි ද, එකල්හි යෝගාවචර තෙම චිත්තයට අනුබල දීමය නිග්‍රහ කිරීමය සිත සතුටු කර වීමය යන මේ කෘත්‍යයන්හි උත්සාහ නො කොට මධ්‍යස්ථ වන්නේ ය. සම වේගයෙන් ගමන් කරන අශ්වයන් කෙරෙහි සම ව, මධ්‍යස්ථ ව බලන රියැදුරකු මෙනි.

අසමාහිතපුද්ගලපරිවජ්ජනතා යනු උපචාර සමාධිය හෝ අර්පනා සමාධිය ලබා නොගත් සිත හික්මවා ගත නොහැකි - නොයෙක් බාහිර අරමුණෙහි දුවන සිත් ඇති පුද්ගලයන් දුරින් ම දුරු කිරීම ය.

සමාහිතපුද්ගලසේවනතා යනු උපචාර සමාධියෙන් හෝ අර්පණා සමාධියෙන් එකඟ වූ සිත් ඇති උතුමන් සේවනය - භජනය - පයිරු පාසනය කිරීම ය.

ඣානවිමොක්ඛපච්චවෙක්ඛණතා යනු ධ්‍යාන, මාර්ග, ඵල ධර්මයන් ප්‍රත්‍යවේක්ෂා කිරීම ය.

තදධිමුත්තතා යනු ඉඳීම්, සිටීම් ආදී ඉරියව් පවත් වන කල්හි සමාධිය ඉපද වීමට ම නැමුණු සිත් ඇති බව ය.

මෙසේ උපදනා සමාධිය අවසාන වශයෙන් භාවනාවෙන් වැඩි දියුණු වන්නේ රහත් මගින් ය යි යෝගාවචරයා දැන ගන්නේ ය.