“යො පන භික්ඛු අනුපසම්පන්නේන උත්තරිං දිරත්තතිරත්තං සහසෙය්යං කප්පෙය්ය පාචිත්තියං.”[1]
යම් මහණෙක් අනුපසම්පන්නයා සමග දෙතුන් රැයකට වඩා එක් සෙනසුනක ශයනය කෙරේ නම් පචිති ඇවැත් වේ.
මේ සිකපදයෙහි “ශයනය කිරීම” යි කියනුයේ කය දිග හැර වැතිර ගැනීමය. එසේ වැතිර ගත් භික්ෂුවට නින්දයාම හෝ නො යෑම ඇවැත් වීමට හෝ නො වීමට කරුණු නො වේ. මෙහි “අනුපසම්පන්නය” යි කියනුයේ භික්ෂුව හැර සෙස්සන්ටය. තිරිසන් සත්ත්වයෝ ද අනුපසම්පන්න සංඛ්‍යාවට අයත් වෙති. තිරිසන් සතකු සමග වුව ද එක් සෙනසුනක තුන් රැයකට අධිකව ශයනය කළ භික්ෂුවට ඇවැත් වේ. මෙහි ඇවැත් වීමට ගණන් ගනු ලබන්නේ ඉතා කුඩා තිරිසනුන් හැර පාරාජිකාවට වස්තු වන තිරිසනුන් ය. බළල් තලගොටි මුගටි හෝතඹු කුකුළු පරෙවි ආදීහු පාරාජිකාපත්තියට වස්තු වන කුඩා සත්තුය. මිනිසුන් හා ලොකු සතුන් සමඟ ම නො ව පාරාජිකා වස්තු වන බළල් ආදීන් සමඟ වුව තුන් රැයකට අධික කාලයක් ශයනය කරන භික්ෂුවට ඇවැත් වේ. ලේන් ගේකුරුලු මී ආදී ඉතා කුඩා සතුන් හා ශයනයෙන් ඇවැත් නො වේ. බළල් ආදි සතුන්ගේ පාරාජිකාවට වස්තුවීම නො වීම පිළිබඳ විස්තරයක් කරත හොත් ලියන්නට වන්නේ අසභ්‍ය කථාවකි. එබැවින් ඒ ගැන විස්තරයක් නො කරමු.
සහසෙය්‍යාපත්තියට භූමිය වන්නේ සම්පූර්ණයෙන් සෙවිලි කොට සම්පූර්ණයෙන් ආවරණය කළ ගෙය හා වැඩිහරියක් සෙවිලි කළ වැඩිහරියක් ආවරණය කළ ගෙය ය. එබඳු ගෙයක භික්ෂුවක් අනුපසම්පන්නයකු හා ශයනය කිරීමේදී පළමුවන රාත්‍රියේ ඇවැත් නො වේ. දෙවන රාත්‍රියේ ද ඇවැත් නොවේ. තුන්වන රාත්‍රියේ ද ඇවැත් නො වේ. සතරවන රාත්‍රිය පැමිණි කල්හි අනුපසම්පන්නයකු ශයනය කරන ගෙට භික්ෂුව ගොස් ශයනය කළ ද භික්ෂුව ශයනය කරන ගෙන අනුපසම්පන්නයකු පැමිණ ශයනය කළ ද දෙදෙනා එකවර ශයනය කළ ද භික්ෂුවට පචිති ඇවැත් වේ. භික්ෂුව සතරවන රාත්‍රියෙන් පසු නො කඩ කොට අනුපසම්පන්නයන් හා ශයනය කෙරේ නම් කොතෙක් කල් වුව ද රාත්‍රියක් පාසා ඇවැත් වේ. රාත්‍රියේ වරින් වර නැගිට නැවත නැවත ශයනය කළ හොත් ශයනය කරන වාරයක් පාසා ඇවැත් වේ. භික්ෂුව නිදා සිටියදී අනුපසම්පන්නයා වරින් වර නැගිට නැවත නැවත ශයනය කෙරේ නම් ඒ සෑම වාරයක් පාසා ම නිසා සිටින භික්ෂුවට පචිති ඇවැත් වේ.
යම් භික්ෂුවක් එක් ආවාසයක එක ම අනුපසම්පන්නයකු හා තුන් රැයක් ශයනය කොට සතරවන රාත්‍රියේ ද ඒ අනුපසම්පන්නයා සමඟ එහි ශයනය කෙරේ නම් පචිති ඇවැත් වේ. ඉන්පසු ඒ අනුපසම්පන්නයා හා එහි ශයනය කෙරේ නම් දිනපතා පචිති ඇවැත් වේ.
භික්ෂුවක් එක් ආවාසයක වෙන් වෙන්වූ අනුපසම්පන්නයන් සමඟ තුන් රැයක් ශයනය කොට සතරවන රැයෙහි අන් අනුපසම්පන්නයකු සමඟ එහි ශයනය කෙරේ නම් ඒ රාත්‍රියේ පචිති ඇවැත් වේ. ඉන්පසුත් නොකඩ කොට ශයනය කෙරේ නම් දිනපතා ඇවැත් වේ.
යමෙක් එක් අනුපසම්පන්නයකු හා තුන් රැයක් වෙන් වෙන් වූ ආවාසවල ශයනය කොට සතරවන රාත්‍රියේ අන් ආවාසයක ඒ අනුපසම්පන්නයා හා ශයනය කෙරේ නම් ඒ රාත්‍රියේ පචිති ඇවැත් වේ. ඉන්පසු නො නවත්වා ශයනය කෙරේ නම් දිනපතා ඇවැත් වේ.
යමෙක් නා නා ආවාසයන්හි නා නා අනුපසම්පන්නයන් හා ශයනය කොට සිවුවන රැයෙහි අන් ආවාසයක අන් අනුපසම්පන්නයකු හා ශයනය කෙරේ නම් ඒ රාත්‍රියේ පචිති ඇවැත් වේ. එතැන් පටන් කොහි ගොස් ශයනය කළ ද රාත්‍රියක් පාසා ඇවැත් වේ.
මනුෂ්‍ය අනුපසම්පන්නයන් නැති භික්ෂූන් පමණක් නිදන ආවාසයක දොර වසා භික්ෂූන් සැතපුණු පසු විවෘත වූ ඉස්තෝප්පුවට බල්ලන් බළලුන් පැමිණ නිදත් නම් ඔවුන් නිසා ද එහි වෙසෙන භික්ෂූන්ට ඇවැත් වේ. පරෙවියා ද පාරාජිකාවට වස්තු වන සතෙකි. ආවාසයේ සිදුරුවලින් පරෙවියන් ඇතුළුව නිදත් නම් ඔවුන් නිසා ද එහි වෙසෙන භික්ෂූන්ට ඇවැත් වේ. සීලිමක් ඇති ආවාසයක එහි සිදුරුවලින් පරෙවියන් පැමිණ වාසය කළ ද ඔවුන්ට ගෙතුළට පැමිණිය හැකි සිදුරු සීලිමෙහි නැති නම් ඔවුහු පිටතින් ම අවුත් පිටතින් ම යත් නම් ඔවුන් නිසා එහි වෙසෙන භික්ෂූන්ට ඇවැත් නො වේ.
බොහෝ අනුපසම්පන්නයන් නිදන ගෙයක නිදන භික්ෂුවට අනුපසම්පන්නයන්ගේ ගණනට ඇවැත් වේ. බොහෝ භික්ෂූන් වෙසෙන ගෙයක එක් අනුපසම්පන්නයෙක් ශයනය කෙරේ නම් ඔහු නිසා සියලු භික්ෂූන්ට ඇවැත් වේ. මැදින් බිත්තියකින් වෙන් කර ඇති එක පැත්තකින් අනික් පැත්තට මිදුලට බැස මිස යා නො හෙන එක් පියැස්සක් ඇති ගෙයි එක පැත්තක වෙසෙන අනුපසම්පන්නයන් නිසා අනික් පැත්තේ නිදන භික්ෂූන්ට ඇවැත් නො වේ. එක් වහලක් හා එක් ඉස්තෝප්පුවක් ඇති දිග කාමර පේළියක එක් කාමරයක නිදන භික්ෂුවට එහි ඉස්තෝප්පුවේ හෝ අන් කාමරයක නිදන අනුපසම්පන්නයන් නිසා ඇවැත් විය හැකිය.
අනුපසම්පන්නයන් හා නිදන භික්ෂුව තුන්වන රාත්‍රියේ අරුණට පෙර නැගිට ආවාසයෙන් බැහැරව සිට අරුණෝදයෙන් පසු ආවාසයට ඇතුළු වුව හොත් ඒ භික්ෂුවට තෙදිනක් ඉක්මෙන තුරු සහසෙය්‍යාපත්තිය නො වේ. තෙදිනකට වරක් අරුණට පෙර නැඟිට ගෙයින් පිටවී සිට නැවත එන භික්ෂුවට ඇවතින් මිදී සෑම රාත්‍රියක ම අනුපසම්පන්නයන් හා සයනය කළ හැකිය. හිරු උදාවන තෙක් ශයනය කිරීම පැවිද්දන්ට තබා ගිහියන්ට ද නුසුදුසු ක්‍රියාවෙකි. ශ්‍රමණ ධර්මය පුරන පැවිද්දන්ට රාත්‍රියේ පශ්චිමයාමයේ අවසාන භාගය ඉතා හොඳ වෙලාවකි. මෙය සමාධිය නො ලැබූ අයට සමාධිය ලැබෙන වෙලාවකි. භාවනය දියුණු වන වෙලාවකි. බොහෝ යෝගාවචරයෝ මේ වෙලාවේ දී මගපල ලබති. එබැවින් ශික්ෂාකාමී පැවිද්දෝ අරුණට පෙර නැගිට භාවනා කරති. වැඳුම් පිදුම් කරති. වත් පිළිවෙත් කරති. එසේ කරන භික්ෂූහු කිසි කලෙක සහසෙය්‍යාපත්තියට නො පැමිණෙති. අරුණට පෙර නැගිට එළිමහනෙහි විසීම ගිලන් වූ විට දුෂ්කරය. එළිමහනට යාම අපහසු ගිලන් භික්ෂූන් අරුණට පෙර නැගිට තමන් නිදන ආවාසය තුළ ම අරුණෝදය තෙක් වාඩි වී හෝ සිටිය යුතු ය. සක්මන් හෝ කළ යුතුය. නිදන ඉරියව්ව හැර අන් ඉරියව්වකින් විසීමෙන් ද ඇවතින් මිදේ. එසේ නො කළ හැකි ගිලන් භික්ෂුවක් වේ නම් තමා වෙසෙන ආවාසයේ නිදන අනුපසම්පන්නයන් අරුණට පෙර අවදි කරවා ගෙයින් බැහැර කළ යුතු ය. ඔවුන් ඒ ගෙය තුළ ම වුව ද නිදන ඉරියව්ව හැර අන් ඉරියව්වකින් විසුව ද ඇවැත් නො වේ. ගිලනුන්ට නිදහස ඇති ඇතැම් සිකපද ද ඇත. මේ සහසෙය්‍ය ශික්ෂාපදය ගිලන් නො ගිලන් සැමට ම සාධාරණ ය. ගිලන්බව මේ සිකපදයෙන් ඇවැත් නො වීමට කරුණක් නො වේ.
-
පාචි - 26 පි. ↑