බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ වෛශාලි නගරය සමීපයේ මහවනයෙහි කූටාගාරශාලාවෙහි දිවාවිහරණයට ගිය භික්ෂුවක් දොර නො වසා එහි ශයනය කෙළේ ය. තද නින්දට වැටුණා වූ ඒ භික්ෂුවගේ කුඩා මහත් ශරීරාංගයෝ වාතයෙන් තද වී ගියහ. විනෝදය පිණිස විහාර බලා ඇවිදින ගැහැණු කණ්ඩායමක් එහි පැමිණියහ. ඔවුහු කූටාගාර ශාලාවට පිවිසියාහු, හොත් භික්ෂුවගේ කර්මණ්ය ව තුබූ පුරුෂ නිමිත්ත දැක කාමරාගයෙන් අන්ධ වූවෝ ඒ භික්ෂුවගේ පුරුෂ නිමිත්තෙහි රිසි සේ ගටා තම තමන්ගේ කාමරාගයන් සන්සිඳවා ගත්හ. තද නින්දෙහි සිටි භික්ෂුවට ඔවුන්ගේ ක්‍රියාව නො දැනිණ. ඒ භික්ෂුව රහත් කෙනෙකි. රහතුන්ට ශුක්රමෝචනයක් නැති බැවින් නිදන භික්ෂුවගේ පුරුෂ නිමිත්ත වෙනසකට නො පැමිණ කර්මණ්යත්වයෙන් ම පැවතිණ. ස්ත්‍රීහු එය බලා මොහු එසේ මෙසේ කෙනකු නොව පුරුෂෝත්තමයෙකැයි කියා එහි සුවඳ හා මල් තබා ගියහ. භික්ෂූහු අපවිත්‍ර ශරීරයෙන් නිදන ඒ භික්ෂුව දැක කාරණය තේරුම් ගෙන ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පුරුෂනිමිත්ත කර්මණ්ය වීමේ හේතු පසක් දක්වා වදාරා “මහණෙනි, ඒ භික්ෂුව ක්ෂීණාශ්රවයෙක. ඔහුගේ පුරුෂනිමිත්ත රාගයෙන් කර්මණ්ය වීමට හේතුවක් නැත. අවකාශයක් නැතය” යි ද වදාළ සේක. ඉක්බිති “අනුජානාමි භික්ඛවෙ දිවා පතිසල්ලීයන්තෙන ද්වාරං සංවරිත්වා පතිසල්ලීයිතුං”[1] යනු වදාළ සේක. දවල් නිදන භික්ෂුව විසින් දොර වසාගෙන නිදන්නට අනුදනිමිය යනු එහි තේරුම ය.
“අනුජානාමි භික්ඛවෙ දිවා පතිසල්ලීයන්තෙන ද්වාරං සංවරිත්වා පතිසල්ලීයිතුං” යන මේ පාඨයෙන් දොර නො වනසා දවල් නිදන්නාහට මෙනම් ඇවතකැ යි කෙළින් ම ඇවතක් නො දැක්වේ. එහෙත් ඒ පාඨය වදාළේ දවල් දොර නො වසා නිදීම නිසා වූ වරදින් සිදු වූ තවත් වරදක් සම්බන්ධයෙනි. එබඳු කරුණුවලදී ඇවතක් පැනවීම භාග්‍යවතුන් වහන්සේගේ සිරිත ය. ඒ වරද ඇවතක් පැනවීමට සුදුසු වරදෙකි. මෙබඳු කරුණුවලදී භාග්‍යවතුන් වහන්සේ පනවන්නේ දුක්කටාපත්තියකි. දවාලෙහි දොර නො වසා ශයනය කිරීම ගැනත් දුකුළා ඇවතක් පැනවීම භාග්‍යවතුන් වහන්සේගේ අදහස විය හැකිය. එබැවින් බුද්ධමතය දැන ගැනීමට සමත් උපාල්යාදි මහරහත්හු බුද්ධමතය දැන එය අනුව “අනුජානාමි භික්ඛවෙ දිවා පතිසල්ලීයන්තෙන” යනාදි පාඨයට දොර නො වසා දවල් නිදන්නා වූ භික්ෂුවට ‘දුකුළා ඇවැත් වේ ය’යි අර්ථකථා තැබූහයි සමන්තපාසාදිකාවෙහි දක්වා ඇත. ඒ ඇවත සිදුවන නො වන ආකාරයන් දක්වන විස්තරයක් ද අටුවාවෙහි දක්වා ඇත. නො වසා නිදත හොත් ඇවැත් සිදු වන, නො වන දොරවල් පිළිබඳ විස්තරයක් ද අටුවාවෙහි දැක් වේ. අටුවාවෙහි දැක්වෙන පැරණි දොරවල් දැන් දක්නට නැත. ඒ විභාගයෙන් දැක්වෙන්නේ වැසීම ඇරීම පහසු දොරවල් නො වසා නිදා ගැනීමෙන් ඇවැත් වන බවත් වැසීම ඇරීම අපහසු දොරවල් නො වසා නිදා ගත ද ඇවැත් නො වන බවත් ය. මෙකල ඇති සරනේරු යෙදූ දොරවල් වැසීම ඇරීම පහසු දොරවල් වන බැවින් ඒවා නො වසා නිදා ගැනීමෙන් ඇවැත්වන බව කිය යුතුය. දවල් දොරවල් වැසීම රාත්‍රියෙහි වසන්නාක් මෙන් අගුල් ලා නො වැසුව ද වරද නැත. දොර පියන උලුවස්සට හොඳට ම හේත්තු වන පරිදි නො වැසුව ද වරද නැත. උලුවස්සටත් දොර පියනටත් අතර මිනිසකුගේ හිස ඇතුළු නො කළ හැකි තරමට වසා නිදා ගත ද ඇවැත් නො වන බව කියා ඇත. නිතර ම ජනයා එහා මෙහා යන නිසා දොර වසා තබා ගත නො හෙන තැනක නම් දොර නො වසා නිදාගත ද වරද නැත. දොර බලා ගන්නට කෙනකු ඇති තැන ඔහු දොර බලා ගන්නවා ඇතය යි සිතා නිදා ගත ද, දොර ගැන බලා ගන්නට සමීපයේ සිටින අයට කියා නිදා ගත ද, දොරක් නැති තැනක දොර නො වසා නිදා ගත ද, දොර වැසිය නො හෙන තත්ත්වයක් පැමිණ ඇති විටෙක නො වසා නිදා ගත ද ඇවැත් නො වන බව දක්ව ඇත්තේ ය. “අත්ථාපත්ති දිවා ආපජ්ජති නො රත්තිං”[2] යි පරිවාරපාළියෙහි දක්වා ඇත්තේ ද මේ ආපත්තිය ය. මෙය හැර රාත්‍රියෙහි නො පැමිණෙන දවාලෙහි පමණක් පැමිණෙන අන් ඇවැතක් නැත.
“න භික්ඛවෙ එකභාජනෙ භුඤ්ජිතබ්බං, න එකථාලකෙ පාතබ්බං, න එකමඤ්චෙ තුවට්ටිතබ්බං, න එකත්ථරණෙ තුවට්ටිතබ්බං, න එකපාපුරණෙ තුවට්ටිතබ්බං, න එකත්ථරණපාපුරණෙ තුවට්ටිතබ්බං, යො තුවට්ටටෙය්ය ආපත්ති දුක්කටස්ස.”[3]
මහණෙනි, එක බඳුනෙහි නො වැළඳිය යුතුය, එක් තලියක නො පිය යුතුය, එක ඇඳෙහි නො නිදිය යුතුය, එක් ඇතිරියෙහි නො නිදිය යුතුය. එක පොරෝණයකින් නො නිදිය යුතුය. එක් ඇතිරියක් අතුරා එය ම පොරොවා නො නිදිය යුතුය.
මුස්ලිම්කාරයෝ එක් භාජනයකට කෑම බෙදා කීපදෙනා වට වී හිඳ එකට අනුභව කරති. භික්ෂූන් දෙදෙනකු හෝ වැඩි දෙනකු එසේ එක් භාජනයක වැළඳුව හොත් සැමට ම දුකුළා ඇවැත් වේ. එක් භික්ෂුවක් වළඳා ඉතිරි කොටස ඒ භාජනයේ ම අනිකකු වැළඳුව ඇවැත් නො වේ. එක් භාජනයක ඇති කැවිලි ජාති පළතුරු ජාති භාජනයෙන් අතට ගෙන අතෙහි තබාගෙන කීපදෙනකුත් වැළඳුව ද ඇවැත් නො වේ.
එක් ඇඳක භික්ෂුවක් නිදා සිටින කල්හි අනිකකු නිදා ගත හොත් දුකුළා ඇවැත් වේ. එක් භික්ෂුවක් ඇඳෙහි නිදා සිටියදී අනිකකු වාඩි වී සිටීමෙන් ඇවැත් නො වේ. පළලැති ඇඳක මැදින් කොට්ටයක් හෝ එවැනි අනිකක් හෝ තබා වෙන් කරගෙන ශයනය කිරීමෙන් ඇවැත් නො වේ. යටත් පිරිසෙයින් සැරයටියක් පටියක් වුව ද මැද තබා වෙන් කර ශයනය කිරීමෙන් ඇවැත් නො වේ. එක් ඇතිරියක නිදීමෙහි ක්‍රමයත් එසේ ය. දෙදෙනකු එක් පොරෝනයක් පොරවා නිදා ගත ද දුකුළා ඇවැත් වේ. ඇතිරියක් එළා එහි කොටසක් ම පොරොවා දෙදෙනකු ශයනය කළ ද දුකුළා ඇවැත් වේ.