“අනුජානාමි භික්ඛවෙ නවකෙන භික්ඛුනා උද්දිසන්තෙන සමකෙ වා ආසනෙ නිසීදිතුං උච්චතරෙ වා ධම්මගාරවෙන. ථෙරෙන භික්ඛුනා උද්දිසාපෙන්තෙන සමකෙ වා ආසනෙ නිසීදිතුං නීවතරකෙ වා ධම්මගාරවෙන.”[1]
මහණෙනි, මහලු භික්ෂූන්ට ධර්මය හෝ විනය උගැන්වීම සඳහා උදෙසන නවක භික්ෂුව විසින් සමාන වූ අසුනෙහි හෝ උස් වූ අසුනෙහි හෝ ධර්මගෞරවයෙන් හිඳීම අනුදනිමි. ධර්මය හෝ විනය නවක භික්ෂුවගෙන් ගන්නා වූ ස්ථවිර භික්ෂුව විසින් සම වූ ආසනයේ හෝ නීචාසනයේ ධර්ම ගෞරවයෙන් හිඳීම අනුදනිමි.
පුද්ගලගෞරවය ධර්මගෞරවය යි ගෞරවය දෙයාකාර වේ. නවක භික්ෂූන් විසින් ස්ථවිර භික්ෂූන්ට කරන ගෞරවය පුද්ගලගෞරවය ය. ධර්මගෞරවය පුද්ගලගෞරවය මැඩ සිටින්නකි. ස්ථවිරභික්ෂුවක් නවක භික්ෂුවකගෙන් ධර්මවිනය පිළිබඳ පාඩමක් උගන්නා කල්හි නවක වූ පාඩම කියාදෙන භික්ෂුව හිඳිනා අසුනට උසසුනක ස්ථවිරභික්ෂුව නො හිඳිය යුතුය. සම වූ හෝ නීච වූ හෝ අසුනක හිඳිය යුතුය. නවක භික්ෂුව නිතර ම උච්චාසයනය ස්ථවිරභික්ෂුවට දී තමා නීචාසනය ගත යුතුය. එහෙත් ධර්මවිනය උගැන්වීමේ දී නවකභික්ෂුව නීචාසනයෙහි නො හිඳිය යුතුය. සම වූ හෝ උස් වූ හෝ අසුනෙහි හිඳිය යුතුය.
නවකභික්ෂූන්ට ස්ථවිරභික්ෂූන් හා ඒකාසනයෙහි වාඩිවීම නුසුදුසුය. “අනුජානාමි භික්ඛවෙ තිවස්සන්තරෙන සහ නිසීදිතුං”[2] යි වදාරා ඇති බැවින් තමාට වස් එකකින් හෝ දෙකකින් වැඩි භික්ෂූන් සමග ඒකාසනයෙහි හිඳිය යුතුය. වස් තුනේ පටන් වැඩිවස් ඇති භික්ෂූන් හා ඒකාසනයේ නො හිඳිය යුතුය. උපසම්පදා වී වසක් නො වූ භික්ෂුවට එක්වස් ඇත්තා වූ ද, දෙවස් ඇත්තා වූ ද භික්ෂුව හා ඒකාසනයේ වාඩි විය හැකිය. උපසම්පදාවෙන් වසක් ඇති භික්ෂුවට දෙවසක් ඇත්තා වූ ද තුන්වසක් ඇත්තා වූ ද භික්ෂුව හා ඒකාසනයේ හිඳිය හැකිය. පස්වස් භික්ෂුවට සවස් සත්වස් භික්ෂූන් හා හිඳිය හැකි ය.
“අනුජානාමි භික්ඛවෙ දුවග්ගස්ස මඤ්චං දුවග්ගස්ස පීඨං”[3] යනුවෙන් ඇඳ හා පීඨය එකවර දෙදෙනකුට පමණක් වාඩිවීමට අනුදැන වදාරා ඇති බැවින් ඇඳක එකවර සමානාසනික දෙනමක් පමණක් හිඳිය යුතුය. දෙනමකට හිඳීමට අනුදැන වදාළ පීඨය කෙබඳු අසුනක්දැ යි තේරුම් ගැනීම අපහසුය. සැතපීමට සාදා ඇති ඇඳ හා බොහෝ දෙනාට වාඩිවීමට සාදා ඇති දීර්ඝාසනයත් හැර දෙදෙනකුට හිඳීම සඳහා තනා ඇති අසුන් පීඨ සැටියට සැලකිය හැකිය. දැනට ඇති පුටුවල දෙදෙනකුට හිඳිය නො හෙන බැවින් දෙදෙනකුට අනුදැන වදාළ පීඨය දැනට භාවිතා කරන පුටුව නො විය හැකිය. ඇඳෙහි හා පීඨයෙහි අනුපසම්පන්නයන් හා හිඳීම ද භික්ෂූන්ට නුසුදුසු ය. එකට හිඳ ගැනීමට සුදුස්සෝ සමානාසනික නම් වෙති.
“අනුජානාමි භික්ඛවෙ ඨපෙත්වා පණ්ඩකං මාතුගාමං උභතොබ්‍යඤ්ජනකං අසමානාසනිකෙහි සහ දීඝාසනෙ නිසීදිතුං.”[4]
යනුවෙන් පණ්ඩකයාත් මාගමත් උභතෝබ්‍යඤ්ජනකයාත් හැර සමානාසනික නො වන අන් හැමදෙනා හා දීර්ඝාසනයේ හිඳීම අනුදැන ඇත්තේ ය. එකවර තිදෙනෙකුට හා වැඩි ගණනකට හිඳීමට සෑහෙන බංකු ආදිය දීර්ඝාසන ය.
“න ච භික්ඛවෙ අප්පටිවෙක්ඛිත්වා ආසනෙ නිසීදිතබ්බං, යො නිසීදෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[5]
මහණෙනි, නො විමසා අසුනෙහි නො හිඳිය යුතුය. යමෙක් හිඳගනී නම් ඔහුට දුකුළා ඇවැත් වේ.
යට ඇති දෑ නො දැනෙන පරිදි ඇතිරිල්ලෙන් වසා ඇති අසුනෙක නො විමසා හිඳ ගත ඇවැත් වේ. වැස්මක් නැති අසුනෙහි විමසීමට දෙයක් නැත. බලා සිටියදී ඇතිරිල්ලක් එලූ අසුනෙහි ද යට ඇති දෑ දැනෙන පමණට තුනී ඇතිරිල්ලක් එලා ඇසි අසුනෙහි ද අනිකකු අසුන අතින් පිරිමැද මෙහි වැඩ සිටින්නය යි කී අසුනෙහි ද නො විමසා හිඳීමෙන් ඇවැත් නැත. විමසීම යනු යමක් යට වී ඇතිදැයි අසුන් ඔබා පිරිමැද බැලීම ය.
න ථෙරෙ භික්ඛු අනුපඛජ්ජ නිසීදිතබ්බං.
න නවා භික්ඛු ආසනෙන පටිබාහිතබ්බං.
න සංගාටිං ඔත්ථරිත්වා අන්තරඝරෙ නිසීදිතබ්බං.[6]
ස්ථවිරභික්ෂූන්ට ඉතා ළං ව නො හිඳිය යුතුය. නවකභික්ෂූන්ට ආසන අවහිර නො කළ යුතුය. සංඝාටිය යට කොට නො හිඳිය යුතුය.
දාන ශාලාවක හිඳිනා කල්හි එහි පනවා ඇති ආසන සම ඒවා නම් සංඝස්ථවිරයන් වහන්සේ සමීපයෙන් ආසන එක දෙකක් ඉතිරි කොට සෙස්සන් හිඳිය යුතුය. ආසන පනවා ඇත්තේ පැමිණෙන භික්ෂූන්ගේ ගණනට ම නම් මහාස්ථවිරයන් වහන්සේ අවසන් දුන් කල්හි සමීප ආසනයේ හිඳිය යුතුය. ඉදින් මහාස්ථවිර තෙමේ හිඳින්නය යි නොකියා නම් “ස්වාමීනි” මේ අසුන අපට උසය” යි කිය යුතුය. එසේ කී කල්හි මහා ස්ථවිර හිඳින්නය යි නො කියා නම් බාල භික්ෂුවට ඇවැත් නො වේ. මහාස්ථවිරයන්ට ඇවැත් වේ. වැඩිමහලු පිළිවෙළින් වාඩිවීමේ දී නවක භික්ෂූන්ට ඉඩ නැතිවිය හැකි පරිදි පමණට වඩා ඉඩ ගෙන නො හිඳිය යුතුය. වාඩිවීමේදී පසුව එන භික්ෂූන් ගැන ද සලකා හිඳිය යුතුය. සංඝාටිය යට නො කොට හිඳීම මෙකල සිවුරු පොරෝනා සැටියට නම් පහසු නැත. එය ගැන කල්පනා කළ යුතුය.
“න භික්ඛවෙ සංඝාටිපල්ලත්ථිකාය නිසීදිතබ්බං, යො නිසීදෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[7]
සංඝාටිපල්ලත්ථිකයෙන් නො හිඳිය යුතුය, යමෙක් හිඳින්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.