“යො පන භික්ඛු මාතුගාමෙන සද්ධිං රහො පටිච්ඡන්නෙ ආසනෙ නිසජ්ජං කප්පෙය්ය පාචිත්තියං.”[1]
යම් මහණෙක් මාගමක සමඟ දකින අසන කෙනකු නැති වැසුණු තැනක හිඳීම කෙරේ නම් පචිති ඇවැත් වේ.
මෙහි මාගම යයි කියනුයේ මනුෂ්යස්ත්රියය. වැසුණු තැනය යි කියනුයේ බිත්තිවලින් හෝ තාප්පයකින් හෝ තිරයකින් හෝ ගස්වැල් ආදි අනිකකින් හෝ වැසී ඇති තැනය. පෙනෙන ප්රමාණයේ, කටහඬ ඇසෙන ප්රමාණයේ අන් පුරුෂයකු නැති එබඳු තැනක මාගමක හිඳිනා කල්හි භික්ෂුව ගොස් හිඳියේ හෝ නිදියේ හෝ වේ නම් පචිති ඇවැත් වේ. භික්ෂුව හෝ හිඳිනා කල්හි මාගම අවුත් හිඳියේ හෝ නිදියේ හෝ වේ නම් භික්ෂුවට පචිති ඇවැත් වේ. දෙදෙනා ම එකවර හිඳියේ හෝ නිදියේ හෝ වේ නම් භික්ෂුවට පචිති ඇවැත් වේ. භික්ෂුව හා මාගම හිඳින්නේ කාමරයක නම් එහි ඇස් පෙනෙන අන් පුරුෂයෙක් සිටියේ නම් ඇවැත් නො වේ. ස්ත්රීන්ගේ සිටීම ඇවැත් නො වීමට කරුණක් නොවේ. ගෙයක් නො වී ආවරණය ඇති තැනක නම් භික්ෂුවට හා මාගමට දොළොස් රියනකට සමීපයෙන් පුරුෂයකු සිටියේ නම් ඇවැත් නො වේ. භික්ෂුව හෝ මාගම සිටගෙන සිටියේ නම් ඇවැත් නො වේ. රහස් තැනක සිටීමේ අපේක්ෂාවෙන් තොරව විසුයේ ද ඇවැත් නො වේ.
“යො පන භික්ඛු මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙය්ය පාචිත්තියං.”[2]
යම් මහණෙක් එකලා වූයේ එකලා වූ මාගමක් සමඟ රහස් තැනක හිඳීම කෙරේ නම් පචිති වේ. හිඳීම පිළිබඳ සේඛියා සිකපද ශාසනාවතරණයේ[3] විස්තර කර ඇත්තේය.