රාජාගාර ශික්ෂාපදය.

“යා පන භික්ඛුනී රාජාගාරං වා චිත්තාගාරං වා ආරාමං වා උය්‍යානං වා පොක්ඛරණිං වා දස්සනාය ගච්ඡෙය්‍ය පාචිත්තියං.”[1]

යම් මෙහෙණක් රජුන් ක්‍රීඩා කරන ගෙයක් හෝ මිනිසුන්ට ක්‍රීඩා කිරීම පිණිස කළ චිත්‍ර‍වලින් යුක්ත ගෙයක් හෝ ආරාමයක් හෝ උයනක් හෝ පොකුණක් හෝ බැලීම පිණිස යේ නම් පචිති වේ. මෙහි ආරාමය යි කියනුයේ මිනිසුන් ක්‍රීඩා කරන නගරවල පිහිටි උයන් ය. උයනය යි කියනුයේ නගරයෙන් පිටත පිහිටි එබඳු උයන්ය. පොකුණය යි කියනුයේ මහජනයාට ජල ක්‍රීඩාව සඳහා කළ පොකුණ ය. මේ භික්ෂුණී විභංගයේ ශික්ෂාපදයෙකි. රාජාගාරාදිය දර්ශනය සඳහා යාමෙන් භික්ෂූන්ට දුකුළා ඇවැත් වේ. ඒ බව විනය විනිශ්චයෙහි “භික්ඛුස්ස පන සබ්බත්ථ හොති ආපත්ති දුක්කටං” යනුවෙන් දක්වා ඇත. විනෝදය පිණිස බලන්නට යාමෙන් ඇවැත් වේ. විශේෂ කාරණයක් සඳහා බැලීමෙන් ද ආරාමයෙහි ම කළ එබඳු ගෙයක් බැලීමෙන් ද විපතකදී එවැනි තැනකට ඇතුළුවීමෙන් ද ඇවැත් නොවේ.

“න භික්ඛවෙ අකායබන්ධනෙන ගාමො පවිසිතබ්බො, යො පවිසෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[2]

මහණෙනි, පටිය නො බැඳ ගමට නො පිවිසිය යුතුය. යමෙක් පිවිසෙන්නේ නම් දුකුළා ඇවැත් වේ. පටිය බැඳීම අමතක වී නික්ම ගිය කල්හි සිහි වූ තැනකදී බැඳිය යුතු ය. පටිය නැති නම් විහාරයට ආපසු පැමිණ බැඳ යා යුතුය. ගමන පිළිබඳ සේඛියා සික්ඛාපද ශාසනාවතරණයෙන්[3] දත යුතු ය.

  1. පාචි - 331 පි.

  2. චූල - 216 පි.

  3. ශාසන - 114 පි. (7 මුද්‍ර‍ණය - 90 පි.)