“න භික්ඛවෙ නච්චං වා ගීතං වා වාදිතං වා දස්සනාය ගන්තබ්බං, යො ගච්ඡෙය්ය ආපත්ති දුක්කටස්ස.”[1]
මහණෙනි, නැටුම් හෝ ගැයුම් හෝ වැයුම් හෝ දැකීමට නොයා යුතුය. යමෙක් යේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.
නළුවන්ගේ නැටුම් පමණක් නොව නයි රිළා මොනර ආදි සතුන්ගේ නැටුම් ද, වෙරිකායන්ගේ පිස්සන්ගේ නැටුම් ද නැටුම්වලට අයත් ය. එබැවින් රිලා නැටුමක් වුව ද බැලීමට යන භික්ෂුවට දුකුළා ඇවැත් වේ. තමා නටන්නාවූ ද නටවන්නාවූ ද භික්ෂුවට දුකුළා ඇවැත් වේ. නළුවන් ගයන ගී පමණක් නොව සාධුගීත නම් වූ තෙරුවන් ගුණ පිළිබඳ ගී ා අනිත්‍යාදිය පිළිබඳ ගී වුව ද ගැයුම ද, ගායනය කරවීම ද, ගයනු අසන්නට යාම ද යන මේ සියල්ලෙන් දුකුළා ඇවැත්වේ. ටින් එකකට ලෑල්ලකට තට්ටු කිරීමේ පටන් සියලු ම වැයුම් කිරීමෙන් ද කරවීමෙන් ද අසන්නට යාමෙන් ද දුකුළා ඇවැත් වේ.
නෘත්‍යාදිය ආරාමය තුළදී දැකීමෙන් ඇවැත් නො වේ. බලනු සඳහා අන් අරමකට යේ නම් ඇවැත් වේ. ආසන ශාලාවෙක්හි වාඩිවී සිටීමේදී දැකීමෙන් ඇවැත් නොවේ. බලනු කැමැත්තෙන් නැඟිට ගියේ නම් ඇවැත් වේ. මඟ යන කල්හි දුට ද ඇවැත් නො වේ. හිස හරවා බැලුයේ නම් ඇවැත් වේ. යම්කිසි ආපදාවක් නිසා සභාවකට පිවිසීමෙන් දුටුයේ ද ඇවැත් නො වේ. විහාරයට චෛත්‍යයට ගී නැටුම් වලින් පූජාවක් කරන්නය යි කීමට ද, ඔබ වහන්සේලාගේ චෛත්‍යයට ගීනැටුම්වලින් පූජාවක් කරමියි කියන කල්හි පිළිගන්නට ද භික්ෂුවට නො වටී. ඔබ වහන්සේලාගේ චෛත්‍යයට විහාරයට පූජාවක් කරමියි කී කල්හි පූජාවක් කිරීම නම් හොඳ වැඩෙකැයි කියන්නට වටී.
යොජාපෙතුං ච යොජෙතුං - පයුත්තානි ච පස්සිතුං,
න ලබ්භං ධම්මයුත්තම්පි - නච්චං ගීතඤ්ච වාදිතං,
උපහාරං කරොමාති - වුත්තෙ වා සම්පටිච්ඡිං.[2]