“පඤ්චිමෙ උපාලි! අවන්දියා, කතමෙ පඤ්ච? අන්තරඝරං පවිට්ඨො අවන්දියො, රච්ඡගතො අවන්දියො, ඔතමසිකෝ අවන්දියො, අසමන්නා හරන්තො අවන්දියො, සුත්තො අවන්දියො. ඉමෙ ඛො උපාලි පඤ්ච අවන්දියා.”[1]
උපාලිය, මේ පස්දෙනා නො වැඳිය යුත්තෝ ය. කවර පස්දෙනෙක් ද? ඇතුළුගමට පිවිසියේ නො වැඳිය යුතුය, මාර්ගයෙහි යන්නේ නො වැඳිය යුතුය, අඳුරෙහි සිටින්නේ නො වැඳිය යුතුය, අන් කටයුත්තක යෙදී සිටින්නේ නො වැඳිය යුතුය, ශයනය කරන්නේ නො වැඳිය යුතුය. උපාලිය, මේ පස්දෙනා නොවැඳිය යුත්තෝ ය.
“අපරෙපි උපාලි! පඤ්ච අවන්දියා: කතමෙ පඤ්ච? යාගුපානෙ අවන්දියො, භත්තග්ගෙ අවන්දියො, එකාවත්තො අවන්දියො, අඤ්ඤවිහිතො අවන්දියො, නග්ගො අවන්දියො, ඉමෙ ඛො උපාලි පඤ්ච අවන්දියා.”[2]
උපාලිය, තවත් නො වැඳිය යුත්තෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක් ද? පලතුරු ආදිය කන්නේ නො වැඳිය යුතුය, වළඳන්නේ නො වැඳිය යුතුය, මල පහ කරන්නේ නො වැඳිය යුතුය, මුත්‍ර කරන්නේ නො වැඳිය යුතුය, උත්ෂේපනීයකර්මය කළේ නො වැඳිය යුතුය, උපාලිය, මේ පස්දෙනා නො වැඳිය යුත්තෝ ය.
මේ පසළොස් දෙනාගෙන් නග්න පුද්ගලයාට හා උක්ඛිත්තකයාට වැඳීමෙන් දුකුළා ඇවැත් වේ. සෙස්සන්ට වැඳීමෙන් ඇවැත් නො වේ. වැඳීමට නුසුදුසු බැවින් ඒ අයට නො වැඳිය යුතුය. ආහාර වැළඳීම් ආදියෙහි යෙදී සිටින්නන්ට වැඳීම ඔවුනට කරදරයක් නිසා නො වැඳිය යුතුය. ඇඳ පුටු ආදියෙහි සැපී වඳින්නට යාමෙන් කරදර විය හැකි බැවින් අඳුරෙහි සිටින්නහුට නො වැඳිය යුතුය. සතුරන්ට වඳින කල්හි සමහරවිට පයින් පහර දෙන්නට ද පිළිවන. ඒ නිසා ඔවුනට නො වැඳිය යුතුය. නානාසංවාසකයෝ කම්මනානාසංවාසකයෝය, ලද්ධිනානා-සංවාසකයෝය යි දෙකොටසකි. ඇවැත් නො පිළිගැනීම, ඇවතට පිළියම් නො කිරීම, ලාමක දෘෂ්ටි ගැනීම යන කරුණු නිසා උත්ෂේපනීය කර්මය කරන ලද්දෝ කම්මනානාසංවාසකයෝ ය. ඔවුන්ගේ ලබ්ධිය ගත්තෝ ලද්ධිනානාසංවාසකයෝ ය.