“න භික්ඛවෙ, අනොකාසකතො ආපත්තියා චොදෙතබ්බො, යො චොදෙය්ය ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ, ඔකාසං කාරාපෙත්වා, ආපත්තියා චොදෙතුං, කරොතු මෙ ආයස්මා ඔකාසං අහං තං වත්තුකාමොති.”[1]
මහණෙනි, අවකාශ නො කළ භික්ෂුව ඇවතින් චෝදනා නො කළ යුතුය. යමෙක් චෝදනා කෙරේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, අවසර ගෙන චෝදනා කරන්නට අනුදනිමි. ඇවැත්නි, මම ඔබට කියනු කැමැත්තෙමි. ආයුෂ්මතා මට අවකාශ කෙරෙත්වා. මෙසේ අවසර ගත යුතුය.
චෝදනා කරන්නෝ නොයෙක් අදහස් වලින් චෝදනා කරති. ශ්රමණධර්මයෙන් පහකිරීමේ අදහසින් චෝදනා කරති. ආක්‍රෝශ කිරීමේ අදහසින් චෝදනා කරති. කර්ම කිරීමේ අදහසින් චෝදනා කරති. ආපත්තියෙන් නැගිටවීමේ අදහසින් චෝදනා කරති. උපෝසථ පවාරණ තැබීමේ අදහසින් චෝදනා කරති. විනිශ්චය කිරීමේ අදහසින් චෝදනා කරති. දහම් දෙසීමේ අදහසින් චෝදනා කරති. තවත් නොයෙක් අදහස්වලින් චෝදනා කරති. ඒ අදහස්වලින් මුලින් කී සතරෙන් අවසර නො ගෙන චෝදනා කරන්නහුට දුකුළා වේ. අවසර ගෙන ද සම්මුඛයෙහි අමූලකපාරාජිකාපත්තියෙන් චෝදනා කරන්නහුට සංඝාදිසේසාපත්ති වේ. අමූලක සංඝාදිසේසයෙන් චෝදනා කරන්නහුට පචිති වේ. අමූලක ආචාරවිපත්තියෙන් චෝදනා කරන්නහුට දුකුළා වේ. ආක්‍රෝශ කිරීම සඳහා චෝදනා කරන්නහුට පචිති වේ. අසම්මුඛයෙහි සප්තාපත්තිස්කන්ධයෙන් ම චෝදනා කරන්නහුට දුකුළා වේ.
ඇවැත්නි, ඔබ ඇවතකට පැමිණ ඇත, එයට පිළියම් කරගන්නය යි අවසර නො ගෙන ද කිය හැකිය. උපෝසථපවාරණ තැබීමේ අදහසින් චෝදනා කිරීම අවසර නො ගෙන කළ හැකිය. උපෝසථපවාරණ තැබීමය යනු නුසුදුසු භික්ෂුවක් සීමාවෙහි සිටීම නිසා පොහෝපවාරණ නැවැත්වීමය. පොහෝපවාරණ නැවැත්වීම කළ යුත්තේ සුදුසු තැනදීය. එය සැමතැනදීම නො කළ හැකිය. සංඝයා සීමාවට රැස්ව පොහෝ කිරීම සඳහා “සුණාතු මෙ භන්තෙ සංඝො, අජ්ජුපොසථො පණ්ණරසො යදි සංඝස්ස පත්තකල්ලං සංඝො උපොසථං කරෙය්ය” යි කියති. මේ වාක්‍යයෙහි “කරෙය්ය” යන වචනයේ “රෙ” කාරය කියා අවසන් කරන්නට පෙර පොහොය කිරීම නැවැත්විය හැකිය. “ය්ය” කාරය කීමෙන් පසු නො නැවැත්විය හැකිය. පවාරණය නැවැත්වීම ද එසේය. අධිකරණයක් විනිශ්චය කිරීමේදී යම්කිසිවක් විචාරීමට අවසර ගැනීම නුවුවමනාය. මේ මේ දේවල් කරන්නෝ අශ්රමණයෝය යනාදීන් පුද්ගලයකු නො ගෙන දහම් දෙසන්නහුට අවසර ගැනීම නුවුවමනාය. ධර්මාසනයෙහි හිඳ අසවල් අසවල් අය ශ්‍රමණයෝය යි පුද්ගලයන් ගෙන කියන ධර්මකථිකයාට ඇවැත් වේ. චෝදනා කරන්නට අවසර ඉල්ලුව ද සුදුසු පුද්ගලයකුට මිස සැමට ම අවසර නො දිය යුතු ය.
“පඤ්චහුපාලි, අංගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ඔකාසකම්මං කාරාපෙන්තස්ස නාලං ඔකාසකම්මං කාතුං. කතමෙහි පඤ්ච? අපරිසුද්ධකායසමාචාරො හොති, අපරිසුද්ධචීසමාචාරො හොති. අපරිසුද්ධාජීවො හොති. බාලො ච හොති අඛ්යත්තො, න පටිබලො අනුයුඤ්ජියමානො අනුයොගං දාතුං ඉමෙහි ඛො උපාලි පඤ්චහංගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ඔකාසකම්මං කරොන්තස්ස නාලං ඔකාසකම්මං කාතුං.”[2]
උපාලි, චෝදනාවට අවසර ඉල්ලන්නා වූ පඤ්චාංගයෙන් යුක්ත භික්ෂුවට අවසර දීම නුසුදුසුය. කවර පඤ්චාංගයකින් ද යත්? අපරිශුද්ධකායසමාචාර ඇත්තේ වේ ද, අපරිශුද්ධවාක්සමාචාර ඇත්තේ වේ ද, අපරිශුද්ධාජීවය ඇත්තේ වේ ද, අව්‍යක්ත බාලයෙක් වේ ද, විමසන කල්හි පිළිතුරු දීමට නො සමත් වේ ද: උපාලි, මේ පඤ්චාංගයෙන් යුක්ත භික්ෂුව අවකාශ ඉල්ලන්නේ ද දීමට නුසුදුසුය. චෝදනාවට අවසර දිය යුත්තේ පරිශුද්ධකායසමාචාර ඇති බව යනාදි පඤ්චාංගයෙන් යුක්ත භික්ෂුවට ය.
“චොදකෙනුපාලි, භික්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ්ච ධම්මේ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරො චොදෙතබ්බො, කතමෙ පඤ්ච? කාලෙන වක්ඛාමි නො අකාලෙන, භූතෙන වක්ඛාමි නො අභූතෙන, සණ්හෙන වක්ඛාමි නො ඵරුසෙන, අත්ථසංහිතෙන වක්ඛාමි නො අනත්ථසංහිතෙන, මෙත්තචිත්තො වක්ඛාමි නො දොසන්තරො, චොදකෙනුපාලි, භික්ඛුනා පරං චොදෙතුකාමෙන ඉමෙ පඤ්ච ධම්මේ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරො චොදෙතබ්බො.”[3]
උපාලි අනුන්ට චෝදනා කරනු කැමති භික්ෂුව තමා කෙරෙහි කරුණු පසක් තබාගෙන චෝදනා කළ යුතුය. කවර කරුණු පසක් ද? සුදුසු කාලයෙහි කියමිය - අකාලයෙහි නො කියමිය, ඇති දෙයක් කියමිය - නැති දෙයක් නොකියමිය, මෘදු ලෙස කියමිය - කර්කශ ලෙස නො කියමිය, යහපතක් වන දෙයක් කියමිය - නපුරක් වන දෙයක් නො කියමිය. මෛත්‍රියෙන් කියමිය -ද්වේෂයෙන් නො කියමිය, උපාලි අනුන්ට චෝදනා කරන භික්ෂුව මේ කරුණු පස තමා තුළ තබා ගෙන චෝදනා කළ යුතුය.
චෝදනාව ඉදිරිපත් කිරීමට සුදුසු කාලය චෝදනා කරනු ලබන භික්ෂුව තනිව සිටින කාලයය. පිරිසක් මැද සිටින කාලය චෝදනාවට නුසුදුසු කාලයය.
“චොදකෙනුපාලි, භික්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ්ච ධම්මේ අජ්ඣත්තං මනසිකරිත්වා පරො චොදෙතබ්බො. කතමෙ පඤ්ච? කාරුඤ්ඤතා, හිතෙසිකා, අනුකම්පතා, ආපත්ති වුට්ඨානතා, විනයපුරෙක්ඛාරතා, චොදකෙනුපාලි භික්ඛුනා පරං චොදෙතුකාමෙන ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං මනසිකරිත්වා පරො චොදෙතබ්බො.”[4]
උපාලි අනුන්ට චෝදනා කරන භික්ෂුව විසින් කරුණු පසක් තමාගේ සිතෙහි ඇති කරගෙන අනුන්ට චෝදනා කළ යුතුය. කවර පසක් ද? කරුණාව ඇති බවය, යහපත කරන බවය, යහපතෙහි යොදවන බවය, ආපත්තියෙන් නඟා සිටවන බවය, විනය පෙරටු කොට ඇති බවය යන මේ කරුණු පස සිතෙහි ඇති කරගෙන අනුන්ට චෝදනා කළ යුතුය.