අතින් පයින් පොලුවලින් කැතිවලින් පිහිවලින් කිණිසිවලින් කඩුවලින් පහරදීම වූ සාහත්ථික ප්‍රයෝගය: ගල් ගැසීම් ගල් පෙරළීම් පොලු දමා ගැසීම් බෝම්බ ගැසීම් වෙඩි තැබීම් ආදි වශයෙන් පවත්වන නිස්සග්ගිය ප්රයෝගයය යන මේ දෙකින් එකෙකක් උද්දිස්සකය අනුද්දිස්සකය යි දෙපරිදි වේ. උද්දිස්සක යනු පහර දෙන්නේ අසවලාටය කියා නියමයක් ඇතිව පහරදීම ය. අනුද්දිස්සක යනු කවරෙක් හෝ මැරේවායි නියමයක් නැතිව පහරදීම ය. නියමයක් ඇතිව පහර දීමේදී නියමිත පුද්ගලයාගේ මරණයෙන් ම පාරාජිකා වේ. අනියමින් පහර දීමේදී මනුෂ්‍ය වූ කවරෙක් මළ ද පාරාජිකා වේ. මැරීමට පහර දුන් කල්හි පහර කෑ පුද්ගලයා ඒ ආබාධයෙන් විසි තිස් වසරකට පසුව වුව ද මැරේ නම් පහර දුන් භික්ෂුව එකෙණෙහි ම පාරාජිකා වේ. පහර ලැබූ තැනැත්තා මැරෙන්නට පෙර පහර ලැබූ භික්ෂුව මළ ද ඔහු මැරෙන්නේ අශ්රමණයෙකු වශයෙනි. පහර කෑ අය ප්‍රතිකාර නො ලද හොත් මැරෙන්නා වූ ද ප්‍රතිකාර ලද හොත් නො මැරෙන්නා වූ ද පහරවල් ඇත්තේය. එබැවින් පහර දීමෙන් වන පාරාජිකාව විනිශ්චය කිරීම දුෂ්කරය. වනයේදී ගෝනකුට හෝ මුවකුට තැබූ වෙඩිපහර ඌට නො වැදී දුර සිටි මිනිසකුට වැදී ඔහු මළ ද වෙඩි තැබූ භික්ෂුව පාරාජිකා නො වේ. එක් මිනිසකු මරන්නට තැබූ වෙඩිල්ලෙන් අනිකකු මළ ද පාරාජිකා නො වේ. කවරෙක් හෝ මැරේවායි අනියමින් තැබූ වෙඩිල්ලෙන් කවර මිනිසකු මළ ද පාරාජිකා වේ. අටුවාවෙහි ඒළකචතුෂ්කාදියෙන් මේ කරුණ පැහැදිලි කර තිබේ.
ඒළකචතුෂ්කය මෙසේය. භික්ෂුවක් එළුවකු නිදන තැන දවල් කාලයේ බලාගෙන රාත්‍රිකාලයේ ඌ මැරීමට ගොස් පහර දුන් කල්හි එහි ඔහුගේ මව හෝ පියා හෝ නිදා සිට ඒ පහරින් මළේ නම් ඔහුට පාරාජිකාපත්තිය හා ආනන්තර්ය කර්මය ද වේ. එහි අන් මිනිසෙක් සිට පහර වැදී මළේ නම් පාරාජිකාපත්තිය පමණක් වේ. අමනුෂ්‍යයෙක් එහි සිට ඒ පහරින් මළේ නම් ථුලැසි ඇවැත් වේ. එහි බලාපොරොත්තු වන එළුවා ම සිට මළේ නම් පචිති ඇවැත් වේ. එළුවා මැරීමටය කියා යන තැනැත්තා එළුවකු මැරීමට අදහස් කරගෙන සිටියේ ද පහර දෙන අවස්ථාවෙහි ඔහුගේ වධක චේතනාවට අරමුණ වන්නේ, ඉලක්කය වන්නේ එතැන සිටි සත්ත්වයාගේ ශරීරය ය. ආපත්ති විනිශ්චය හා කර්ම විනිශ්චය කළ යුත්තේ පහර දීමේ චේතනාවට ලක්වූ වස්තුව අනුවය. රාත්‍රි කාලයේ දී එළුවාය කියා සිතා ගත ද මව මව ම ය. මේ සත්ත්වයාට පහර දෙමිය කියා පහර දෙන්නේ මවට ය. භික්ෂුවට පාරාජිකාව හා ආනන්තර්ය කර්මය යන දෙකම හිමි වන්නේ් ඒ නිසා ය.
මව හෝ පියා නිදන තැන බලා ගෙන රාත්‍රි කාලයේ දී මව හෝ පියා මරන්නට ගිය භික්ෂුවගේ පහරින් මව හෝ පියා මළේ නම් භික්ෂුවට පාරාජිකාපත්තිය හා ආනන්තරියකර්මය යන දෙක ම වේ. අන් මිනිසෙක් එි සිට මළේ නම් පාරාජිකාපත්තිය පමණක් වේ. අමනුෂ්‍යයෙක් එහි සිට මළේ නම් ථුලැසි ඇවැත් වේ. තිරිසනෙක් සිට මළේ නම් පචිති ඇවැත් වේ.