“වත්ථු කාලො ච ඔකාසො - ආවුධං ඉරියාපථං,
කිරියාවිසෙසොති ඉමෙ - ඡ ආණත්ති නියාමකා.”[1]
වස්තුවය, කාලයය, අවකාශයය, ආවුධයය, ඉරියාපථයය, ක්‍රියා විශේෂයය යන මේ කරුණු සය අනුව ආණත්තිකපයෝගයෙන් වන පාරාජිකාව විනිශ්චය කළ යුතුය.
වස්තුව යනු මරනු ලබන පුද්ගලයාය. අසවලා මරන්නය කියා භික්ෂුවක් භික්ෂුවකට අණ කළ කල්හි අණ ලත් භික්ෂුව නො වරදවා එය ඉටු කරන්නේ නම් ආණාපක භික්ෂුව එකෙණෙහි ම පාරාජිකාපත්තියට පැමිණේ. මැරීමෙන් පසු මරන භික්ෂුව පාරාජිකා වේ. අණ ලත් භික්ෂුව වරදවා අනිකකු මැරුව හොත් මරන භික්ෂුව පමණක් පාරාජිකා වේ. මූලිකයා පාරාජිකා නො වේ. අසවලා මරන ලෙස අසවලාට කියවයි අණ කළ කල්හි ද එය නො වැරදීම සිද්ධ වේ නම් මූලිකයා එකෙණෙහි ම පාරාජිකා වේ. පණිවිඩය කියන්නා කී කල්හි පාරාජිකා වේ. මරන්නා මැරූ කල්හි පාරාජිකා වේ.
“භික්ඛු භික්ඛුං ආණාපෙති, ඉත්ථන්නාමස්ස පාවද ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස පාවදතු ඉත්ථන්නාමො ඉත්ථන්නාමං ජීවිතා වොරොපෙතූති ආපත්ති දුක්කටස්ස. සො ඉතරස්ස ආරොචෙති ආපත්ති දුක්කටස්ස, වධකො පතිගණ්හාති මූලට්ඨස්ස ආපත්ති ථුල්ලච්චයස්ස. සො තං ජීවිතා වොරොපෙති ආපත්ති සබ්බෙසං පාරාජිකස්ස.”[2]
මේ පාරාජිකාපාළියේ එන පාඨයකි. එයින් දැක්වෙන සාමාන්‍ය අදහස නම් භික්ෂුවක් භික්ෂුවකට අසවලා මරන්නට අසවලාට කියව යයි අණ කළ හොත් දුකුළා ඇවැත් වේය; පණිවිඩය කීමෙන් දෙවැන්නාට දුකුළා ඇවැත් වේය, එය මරන භික්ෂුව පිළිගැනීමෙන් මූලිකයාට ථුලැසි ඇවැත් වේය, මැරීමෙන් සැමට ම පාරාජිකාපත්තිය වේය යනුයි.
මේ පාඨයෙන් දැක්වෙන නියම අදහස ආණාපක භික්ෂුවගේ අණ මරණය තෙක් ක්රියාවේ නො යෙදී අණ කිරීමෙන් ම නවතිත හොත් ඔහුට දුකුළා ඇවැත් වීමත්, පණිවිඩය කීමෙන් නවතිත හොත් පණිවිඩය කියන්නාට දුකුළා ඇවැත් වීමත් පණිවිඩය පිළිගැනීමෙන් නවතිත හොත් මූලිකයාට ථුලැසි ඇවැත් වීමත්ය. අණ පරිදි මරණය ඒකාන්තයෙන් සිදුවේ නම් මූලිකයාට දුකුළා ඇවැත් ථුලැසි ඇවැත් නො වී එකෙණෙහි ම පරිජි ඇවැත් වේ. දෙවැන්නාටත් දුකුළා ඇවැත් නො වී එකෙණෙහි ම පරිජි ඇවැත් වේ. එසේ වන්නේ අණ කිරීමෙන් හා පණිවිඩය කීමෙන් මරණය පිළිබඳ ඔවුන්ගේ කාර්ය්යය අවසන් වන බැවිනි. මරන්නාගේ කාර්ය්යය අවසන් නැති බැවින් ඔහු පාරාජිකා වන්නේ පසුව මැරූ දිනයකදී ය. මේ ගැඹුරු කරුණෙකි. නැවත නැවත කල්පනා කොට තේරුම් ගත යුතුය.
අසවලා මරන ලෙස සංඝරක්ඛිතට කියවයි බුද්ධරක්ඛිත ධම්මරක්ඛිතට අණ කළ කල්හි සංඝරක්ඛිත මිනීමැරීමට තරම් වීරයකු නො වෙතියි අනිකකුට කියා අනිකකු ලවා මැරවුවහොත් බුද්ධරක්ඛිතට ඇවැත් නො වේ. ධම්මරක්ඛිත හා මැරූ භික්ෂුව පාරාජිකා වෙති. පණිවිඩය වරද්දවා කී හෙයිනි.
කාලය යනු මරවන්නහුට එය සිදුකරවා ගැනීමට වුවමනා කාලයය. පෙරවරුකාල පස්වරුකාල දවල්කාල රාත්රිකාලාදි කාලයන්ගෙන් යම්කිසි කාලයකදී කෙනකු මරන්නට අණ කළ කල්හි මරන තැනැත්තා කාලය වරදවා අන් කාලයකදී මැරුව හොත් මැරූ භික්ෂුවට මිස අණ කළ භික්ෂුවට ඇවැත් නො වේ.
අවකාශය යනු මරන ස්ථානය ය. භික්ෂුවක් වනයේ දී අනිකකු මරන්නට අණ කළ කල්හි වනයෙහි දී ම මැරුව හොත් දෙදෙනා ම පාරාජිකා වෙති. ගමෙහිදී මැරුව හොත් අණ කළ භික්ෂුවට ඇවැත් නැත. ගෙයකදී මරන්නට අණ දුන් කල්හි මඟදී ද මගදී මරන්නට අණ දුන් කල්හි ගෙයිදී ද මැරුව හොත් අණ දුන් භික්ෂුව ඇවතින් මිදේ.
ආවුධය යනු මැරීමට යොදා ගන්නා ආවුධය ය. කඩු කිණිසි ආදි මැරීමට උපයෝගී කර ගන්නා ආයුධ අතුරෙන් යම්කිසි ආයුධයකින් මරන ලෙස අණ කළ කල්හි ඒ ආයුධයෙන් ම මැරුව හොත් දෙදෙනා ම පාරාජිකා වෙති. නියම කළ ආයුධය හැර අන් ආයුධයකින් හෝ අන් ක්‍රමයකින් හෝ මැරුව හොත් අණ කළ තැනැත්තේ ඇවතින් මිදේ.
ඉරියාපථය යනු මරවන්නහුට මැරවීමට වුවමනා ඉරියව්ව ය. භික්ෂුවක් යම්කිසිවකු නිදන විට ම මරන්නට වුවමනා වී අසවලා නිදන විට මරන්නය යි භික්ෂුවකට අණ කළ කල්හි අණ ලත් භික්ෂුව එසේ ම මැරුයේ නම් දෙදෙනා ම පරිජි වෙති. අන් ඉරියව්වකදී මැරුව හොත් මූලිකයා මිදී මැරූ භික්ෂුව පමණක් පාරාජිකා වේ.
ක්රියාවිශේෂය යනු කැපීම හැණීම හිස පොඩි කිරීම බෙල්ල මිරිකීම යනාදි මැරීම සඳහා කරන ක්‍රියාව ය. බෙල්ල මිරිකා මරන්නට අණ කළ කල්හි එසේ ම කළ හොත් දෙදෙනා ම පරිජි ඇවතට පැමිණෙති. බෙල්ල කපා මැරුව හොත් මූලිකයා ඇවතින් මිදේ.
ගිහියකු පියා හෝ මව මරන්නට අනිකකුට නියම කළ කල්හි එය නො වරදවා අණ ලත් තැනැත්තා අතින් සිදු වේ නම් ඔහුට එකෙණෙහි ම ආනන්තර්‍ය්‍ය කර්මය වේ. අණ ලත් තැනැත්තා එය සිදුකරන්නට කලින් ඔහු පැවිදි උපසම්පදා වුව ද ඔහුට පැවිද්ද හා උපසම්පදාව නො පිහිටයි. කෙනකු මරන්නට අණ කළ කල්හි අණ ලත් තැනැත්තා ඔහු රහත් වීමෙන් පසු මැරුව හොත් දෙදෙනාට ම ආනන්තර්ය්යකර්මය වේ.