තැබූ තැන ම තිබෙන එහා මෙහා නො යන උපකරණයක් මැරීම සඳහා යෙදීම ථාවරපයෝග නමි. වළ කැණීමය, පරිභෝග භාණ්ඩවල ආයුධ යෙදීමය, ආයුධ සමීපයෙහි තැබීමය, අහිත බෙහෙත් සමීපයෙහි තැබීමය යන සතර ආකාරයෙන් පාළියෙහි ථාවරපයෝගය දක්වා ඇත්තේ ය.
වළ කැණීම.
භික්ෂුවක් යම් කිසිවකු මරනු පිණිස වළක් කණී නම් දුකුළා ඇවැත් වේ. පඨවිකණන සිකපදයෙන් පචිති ඇවැත් නො වී දුකුළා ඇවැත් වන්නේ එය පාරාජිකාවේ පූර්වප්රයෝගය නිසාය. ඒ වළෙහි බලාපොරොත්තු වන මිනිසා ඒකාන්තයෙන් වැටී මැරෙන්නේ නම් වළ කපා අවසන් කරනු සමඟ ම පරිජි ඇවතට පැමිණේ. අනිකකු එහි වැටී මළ ද පරිජි ඇවත නො වේ. කවරෙක් හෝ වැටී මැරේවායි කැපූ වළෙහි කවර මිනිසකු වුව වැටී මැරේ නම් පරිජි වේ. මව හෝ පියා වැටී මැරේ නම් ආනන්තර්ය්යකර්මය වේ. වළක් කැණීම සිදුවන්නේ චේතනා බොහෝ ගණනකිනි. වළ කපන භික්ෂුව පාරාජිකා වන්නේ කවර චේතනාවෙන් ද යන මෙය විනිශ්චය කිරීමට දුෂ්කර ගැඹුරු පැනයකි. සමන්තපාසාදිකාව කළ බුදුගොස් හිමියෝ මේ පැනය නො විසඳූහ. උන් වහන්සේ විසින් මහා අට්ඨකථාවාදය, මහාපච්චරිය අට්ඨකථාවාදය යි මේ කරුණ පිළිබඳ ආචාර්‍ය්‍යවාද දෙකක් සමන්තපාසාදිකාවෙහි[1] දක්වා ඇත්තේ ය. වළ කැණ මට්ටම් කොට අන්තිම පස්කූඩය ඉවත් කරන අවසාන චේතනාවෙන් ඇවතට පැමිණේ ය යනු මහාඅට්ඨකථාවාදය ය. මේ වළෙහි වැටී මැරෙතැ යි එක් උදලු පහරක් දුන් කල්හි එහි පය පැකිළී වැටී කවරකු හෝ මැරේ නම් පාරාජිකා වේය යනු මහාපච්චරිය අටුවා වාදය ය. සංඛේපට්ඨකථා වාදයත් එය ම බව කියා ඇත. බුදුගොස්හිමියන් විසිනුදු විනිශ්චය නො කළ මේ කරුණ අපි විනිශ්චය කරන්නට නො යමු.
බැඳී මැරෙන උගුල් ඇටවීම, යට වී මැරෙනු පිණිස හබක ඇටවීම, හැණී මැරෙනු පිණිස උල් සිටවීම යන මේවා වළ කැණීමට අනුලෝම වශයෙන් අටුවාවෙහි දක්වා ඇත්තේ ය. ඒවායින් දුක්කට ථුල්ලච්චය පාරාජිකා ආපත්තීන් වන අයුරු කී කරුණු අනුව තේරුම් ගත යුතු ය.
මරනු පිණිස හේත්තු වන හිඳින නිදන තැන්වල ආයුධ තැබීම, විෂ ගල්වා තැබීම, ගෙන දිවි නසා ගනු සඳහා සමීපයෙහි ආයුධ තැබීම, වළඳා රෝගය උත්සන්න වී මැරෙනු පිණිස රෝගියකු සමීපයේ ගිතෙල් ආදි අපථ්‍ය බෙහෙත් අපථ්යහාර තැබීම යන මේවාද ථාවරප්පයෝගයට ම අයත් ය.
-
සා. පා. – 325 පි. ↑