“යො පන භික්ඛු සංචිච්ච මනුස්සවිග්ගහං ජීවිතා වොරොපෙය්ය සත්ථහාරකං වාස්ස පරියෙසෙය්ය මරණවණ්ණං වා සංවණ්ණෙය්ය මරණාය වා සමාදපෙය්ය, අම්හො පුරිස කිං තුය්හිමිනා පාපකෙන දුජ්ජීවිතෙන මතන්තෙ ජීවිතා සෙය්යොති. ඉති චිත්තමනො චිත්තසංකප්පො අනෙකපරියායෙන මරණවණ්ණං වා සංවණ්ණෙය්ය මරණාය වා සමාදපෙය්ය අයම්පි පාරාජිකො හොති අසංවාසො.”[1]
යම් මහණෙක් මොහු මරමියි සිතා මනුෂ්‍ය ශරීරයක් ජීවිතයෙන් තොර කෙරේ ද මේවා ගෙන දිවි නසා ගනීවායි සමීපයෙහි ආවුධ හෝ තබා ද, මරණයේ ගුණ හෝ වර්ණනා කෙරේ ද, මෙසේ මැරෙන්නයයි මැරෙන ක්‍රම කියා ද, “එම්බා පුරුෂය, නුඹට ලාමක වූ මේ දුක් ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක් ද? නුඹට ජීවත් වීමට වඩා මරණය ම උතුම් ය. එබඳු සිත් ඇත්තේ එබඳු අදහස් ඇත්තේ නොයෙක් ආකාරයෙන් මරණයේ ගුණ හෝ වර්ණනා කෙරේ ද, දිවි නසා ගැනීමේ උපාය හෝ කියා දේ ද මේ මහණ තෙමේ ද පාරාජිකා වූයේ වේ. සිල්වත් භික්ෂූන් හා සංවාස නැත්තේ වේ.
මේ සිකපදයෙහි මනුෂ්‍ය ශරීරය යනුවෙන් අදහස් කරන්නේ මවුකුස පළමුවෙන් ම පහළ වන කළල රූපයේ පටන් මරණය තෙක් පවත්නා ශරීරය ය. ඔසප්වීමට බෙහෙත් යෙදීම් ආදියෙන් කලලරූපය නැසුව ද පාරාජිකා වේ. මේ සිකපද හොඳින් තේරුම් ගත හැකි වීමට ප්‍රාණඝාතය සිදු කිරීමේ ක්‍රම දත යුතුය. ඒවා විනය ග්රන්ථයන්හි “පයෝග” යන නාමයෙන් දක්වා ඇත.
සාහත්ථිකො ආණත්තිකො - නිස්සග්ගියො ච ඡාවරො,
විජ්ජාමයො ඉද්ධිමයො - පයොගා ඡබ්බිධා මතා[2]
සාහත්තිකපයෝගය, ආණත්තිකපයෝගය, නිස්සග්ගියපයෝගය, ථාවරපයෝගය, විජ්ජාමයපයෝගය, ඉද්ධිමයපයෝගය යි ප්‍රයෝග සයෙකි.
සාහත්ථිකපයෝග යනු තමාගේ අතින් පයින් හෝ අතට ගත් දඬු මුගුරු කඩු ආදියකින් හෝ පහර දීමය. මරණයේ ගුණ වර්ණනා කිරීම ද එයට අයත් වේ.
ආණත්තිකපයෝගය යනු ගසා හෝ කපා කොටා හෝ මරව” යි අනිකකුට අණ කිරීමය.
නිස්සග්ගියපයෝගය යනු දුර සිටින්නවුන් මැරීම සඳහා ගල් හී වෙඩි උණ්ඩ බෝම්බ ආදිය අතින් මුදා යැවීමය.
ථාවරපයෝගය යනු මරණු පිණිස වළ කැණීම් උගුල් ඇටවීම් ආදියය.
විජ්ජාමයපයෝගය යනු සූනියම් ආදි ගුරුකම් කිරීම ය.
ඉද්ධිමයපයෝගය යනු උපතින් ම පිහිටා ඇති සෘද්ධි බල සත්ත්වයන් මැරීම සඳහා යෙදවීම ය. ඇතැම් සත්ත්වයන්ට සත්ත්වයන් මැරීමට යොදා ගත හැකි සෘද්ධි, කර්ම බලයෙන් උපතින් ම පිහිටා ඇත්තේ ය. ඒවා බෙහෙවින් ඇත්තේ අමනුෂ්‍යයන්ට ය. සමහර මිනිසුන්ට ද ඇත්තේ ය. මැරීම සඳහා සෘද්ධිය යෙදවීම ඉද්ධිමය පයෝගය ය. විජ්ජාමය ඉද්ධිමය පයෝග දෙක අටුවාවල මිස විනය පාළියෙහි දක්වා නැත.