ආයුධාදියෙන් පමණක් නොව මරණයෙහි ගුණ වර්ණනා කිරීමෙන් ද මැරීම කළ හැකි ය. ඇතැම්හු පක්ෂාඝාතරෝග පිළිකා රෝගාදි සුව කළ නො හෙන බෝකල් දුක් විඳින රෝගීන් දුටු කල්හි ද අන්ධ වී අත් පා සුන් වී දුක් විඳින්නන් ද මහලු වී කිසිවක් කර ගත නො හැකිව දුක් විඳින පුද්ගලයන් ද දුටු කල්හි මොවුනට මෙසේ බෝකල් දුක්විඳිනවාට වඩා මරණය සැපයයි සිතති. එසේ සිතා ඔවුනට මරණයේ ගුණ වර්ණනා කරති. එය අසා යමකු යම්කිසි උපක්‍රමයක් කොට දිවි නසා ගත හොත් මරණය වර්ණනා කළ භික්ෂුව පරිජි ඇවතට පත් වේ. එසේ වර්ණනා කිරීමෙන් මව හෝ පියා දිවි නසා ගත හොත් ආනන්තර්‍ය්‍ය අකුශලය වේ. මැරෙන්නට සිතන කෙනකුට මෙසේ කළ හොත් පහසුවෙන් මැරෙත හැකි යයි ක්‍රම කියා දී එසේ දිවි නසා ගත හොත් භික්ෂුව පරිජි වේ.
භික්ෂූන්ට නොයෙක් විට රෝගීන්ට දහම් දෙසන්නට ද සිදු වේ. දහම් දෙසීමේදී ඔබ බොහෝ පින් කළ කෙනෙක, ඔබ මළ හොත් යන්නේ ස්වර්ගයට ය, මේ දුක් විඳිනවාට වඩා ඔබට මේ ලාමක ජීවිතය හැර ස්වර්ගයට යාම ඉතා යහපත් ය, යනාදීන් දහම් දෙසා, එය අසා රෝගියා දිවි තොර කර ගත ද භික්ෂුව පාරාජිකා වේ. රෝගීන්ට දහම් දෙසීමේදී භික්ෂූන් පරෙස්සම් විය යුතුය. මැරෙතැයි බියෙන් පෙළෙන කෙනකුට බිය දුරු වනු පිණිස මරණයේ ගුණ කීමෙන් ඇවැත් නො වේ. මරණයේ ගුණ අනුන් ලවා කියවුව ද එය අසා කෙනකු දිවි නසා ගතහොත් භික්ෂුව පාරාජිකා වේ. ලියා දැක්වුව ද එසේ ම වේ. අනුන් විසින් ලියන ලද්දක් දැක්වුව ද එය බලා අනිකා දිවි නසා ගත භික්ෂුව පාරාජිකා වේ.